2024-01-08

සේපියන්වාදියා (විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව)

පිටසක්වළ ජීවය තේමා කරගනිමින් පළකැරුණු විදුසර 35 වැනි විශේෂ සංවත්සර කලාපය වෙනුවෙන් ලියැවුණු අතර 2023 නොවැම්බර් 1 දින පළකැරුණු එම කලාපයෙහි විද්‍යා ප්‍රබන්ධය වශයෙන් පළ කැරිණි.

openart.ai කෘත්‍රිම බුද්ධිමය රූප ජනනය වෙබ් සේවාව මගින් Alians, Humanity, Genetic Engineering, Identity, Xenophobia  යන ආදානයට අනුව නිමවන ලද සිතුවමකි.
openart.ai කෘත්‍රිම බුද්ධිමය රූප ජනනය වෙබ් සේවාව මගින් Alians, Humanity, Genetic Engineering, Identity, Xenophobia  යන ආදානයට අනුව නිමවන ලද සිතුවමකි.

මුලු පෘථිවිය දැන් මා සලකන්නේ ද්‍රෝහියෙකු ලෙස ය. ඔවුන්ගේ ඉදිරි ගමනට වළ කපන්නට හැදූ වර්ගවාදී උම්මත්තකයකු ලෙස ය. කෙසේ නමුත් දැන් බහුතරයේ මතය ජයගෙන හමාර ය. අනිමාරා ශිෂ්ටාචාරයේ ඒ භයානක යෝජනාවට එකඟ වීමට ඔවුන් තීරණය කර තිබේ. ඒ යෝජනාවට විරුද්ධ වූ එකම නියෝජිතයා මම වීමි. සෙසු සිව්දෙනා ම ඒ ඇඟ කිළිපොන යෝජනාවට එකඟ වූයේ මිනිස් වර්ගයාගේ අනන්‍යතාවය ගැන වගේ වගක් නොතිබුණු ගානට ය. ඔවුන්ට අනුව මා කරන්නේ තමන් මුහුණ පා ඇති සියලුම අර්බුදවලින් මිදෙන්නට මිනිස් වගට උදා වූ මහඟු අවස්ථාවක් අහිමි කිරීමට තැත් කිරීම ය. පිටසක්වළ සබඳතා සම්බන්ධයෙන් පත් කර ඇති එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුව දැනටමත් නිගමනය කර ඇත්තේ සාකච්ඡාවේ දී මා පළකළ කරුණු හේතුවෙන් අනිමාරාවරුන් සිය යෝජනාව හකුළා ගන්නට ඉඩ ඇති බව ය. ඔවුන් පවසන පරිදි එසේ වුවහොත් සිදුවන්නේ සිය තාක්ෂණික, පාරිසරික, බලශක්ති ඈ සියලුම අර්බුද ජයගැනීමට පෘථිවියට ලැබුණු ඉතා වටිනා දුලබ අවස්ථාවක් අහිමි වී යාම ය.

සැබවින් ම පෘථිවිය දැන් පවතින්නේ ඉතා ම අවාසනාවන්ත තත්ත්වයක ය. හරිතාගාර ආචරණය හේතුවෙන් උෂ්ණත්වය ඉතා ඉහළ ගොස් තිබුණු අතර ශරීරයට අහිතකර විකිරණවලට ලක්වීමෙන් තොර ව බාහිර පරිසරයේ ගමන් කිරීමට විශේෂ ඇඳුම් පැළඳිය යුතු විය. මුලු ජනගහනයට ම සරිලන පරිදි මේ ඇඳුම් නිෂ්පාදනයට වත්කම් තිබුණේ යුරෝපීය සංගමය ඇතුලු බලවත් රාජ්‍ය කිහිපයකට පමණක් වූ අතර සෙසු රටවල අති බහුතරයක් ජනතාව අහිතකර විකිරණවලට ලක්වීමෙන් ද ආශ්වාසයට නුසුදුසු වාතය ආඝ්‍රාණයෙන් ද මියගොස් සිටියහ. අනෙක් අතින් බලශක්ති අර්බුදය ද එල්ල කරමින් සිටියේ දරාගත නො හැකි පීඩනයකි. මේ වන විට ෆොසිල ඉන්ධන මුළුමනින් ම ක්ෂය වී තිබුණු අතර න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කිරීම ද ක්‍රමයෙන් සීමා කරන්නට සිදු ව තිබුණේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යාමත් සමග ඒවා ආරක්ෂිත ලෙස බැහැරලීම සම්බන්ධ ව ගැටලු පැන නැගුණු බැවිනි.

අනිමාරාවරු මේ සියලු ගැටලු විසඳා දෙන බවට පොරොන්දු විය. කාර්ඩෂොෆ් පරිමාණයේ දෙවන අදියරේ සිටි ශිෂ්ටාචාරයක් වූ ඔවුන් විසින් නුදුරු වසර 10ක් තුළ අප සූර්යයා වටා ඉදිකෙරෙන දැවැන්ත ඩයිසන් ගෝලයක් විසින් පෘථිවියේ බලශක්ති අවශ්‍යතාවය සූර්යයා පවතින තාක් විසඳෙනු ඇත. එමෙන් ම එකී ඩයිසන් ගෝලය තුළ ම අන්තර්ගත කළ හැකි විශේෂ විකිරණ පෙරණයක් මගින් පෙර පැවති පරිදි ම අහිතකර විකිරණවලින් තොර පරිසරයකට උරුමකම් කියන්නට ද අපට හැකිවනු ඇත. සිය වාසයට හිතකර නොවන වායුගෝලයන් සහ උෂ්ණත්වයන් සහිත ග්‍රහලෝක වාසයට සුදුසු පාරිසරික තත්ත්වයන්ට ලක් කිරීමේ ක්‍රියාවලිය හෙවත් පෘථිවිකරණයෙහි (terraforming) විශිෂ්ටයන් මෙන් ම ග්‍රහලෝකයක කාලගුණය සහ දේශගුණය කෘත්‍රිම ව කළමණාකරණය කිරීමට තරම් දක්ෂයන් වන ඔවුන්ට පෘථිවියේ දූෂිත වායුගෝලය මනුෂ්‍යයාට හිතකර තත්ත්වයකට ගෙන ඒම සහ ගෝලීය උෂ්ණත්වය පහළ දැමීම ද ඉතා ම සුළු කාරියකි.

මේ සියල්ල වෙනුවෙන් ඔවුන් අපෙන් ඉල්ලා සිටින්නේ මොනවා ද? ඔවුන් පෘථිවියේ ආධිපත්‍යයක් ඉල්ලා සිටින්නේ ද? නැත. එමෙන් ම එක්සත් ජාතීන්ගේ සන්ධානය හෝ අන්තර්ජාතික මූල්‍ය අරමුදල තුන්වන ලෝකයේ රටවලට ආධාර සැපයීමේ දී කළාක් මෙන් යම් යම් දේශපාලනික ප්‍රමිතීන් සපුරාලීමට අපට බලපෑම් කරන්නේ ද ? නැත. අපේ නියෝජිතයන්ගේ වචනයෙන් කිවහොත් ඔවුන් කර ඇත්තේ ඉතා ම අහිංසක (?) ඉල්ලීමකි.

අපට කරන්නට ඇත්තේ අනිමාරාවරුන් විසින් ඉදිරි කාලයේ දී අප වෙත ලබා දෙනු ලබන DNA සහ ජාන තාක්ෂණික උපදෙස් අනුව පෘථිවිවාසීන් සියලුදෙනාගේ ප්‍රවේණික දත්ත වෙනස් කිරීම පමණ ය. පරම්පරාවෙන් පරම්පරාවට ක්‍රම ක්‍රමයෙන් ජාන විකෘතිය වැඩි වෙමින් සිදු කළ හැකි ලෙස ජෛවලේඛනය කරන ලද අණු ඉදිරියේ දී මේ සඳහා ම ඔවුන් විසින් ලබා දෙනු ඇත. එක්සත් ජාතීන්ගෙන් සහ පෘථිවියේ සියලු රාජ්‍යයන්ගෙන් සිය කැපවීම වෙනුවෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ මේ සරළ ඉල්ලීම යි!

මෙය මනුෂ්‍ය වර්ගයා විනාශ කිරීමේ මහා කුමන්ත්‍රණයක් බවත් මෙයට කෙසේවත් ඉඩ නොතැබිය යුතු බවත් මම නොවළහා ම පැවසුවෙමි. ඊට අපේ පෘථිවියේ බලවතුන්ගේ, විද්‍යාඥයන්ගේ පමණක් නො ව පොදු මහජනතාවගේ ද ප්‍රතිචාරය කුමක් විණි ද? ඔවුන් පවසන පරිදි මා දැඩි හෝමෝ සේපියන්වාදියෙකි! මාත් මගේ අදහස අනුමත කරන සුළුතරයක් විද්‍යාඥයන් සහ බලධාරීනුත් හඳුන්වන්නට Sapience chauvinism යනුවෙන් ඔවුන් වෙනම ම වචනයක් ද දැනටමත් නිපදවාගෙන තිබේ. ඔවුන් ඒ වචනය පවසන්නේ දැඩි අවඥාසහගත ස්වරයකින් ය. ඔවුන් පවසන පරිදි මේ මොහොතේ වඩා වටින්නේ මඟුල් DNA අණුවක පරම පවිත්‍රතාවය නො වේ. ලෝකය මේ පත් වී ඇති අර්බුදවලින් මිදීම යි. මේ පවතින අර්බුද හමුවේ තව වසර සියයක් ඇතුළත මනුෂ්‍ය වර්ගයා කොහොමත් විනාශ වී යනු ඇත. නමුත් මේ මොහොතේ අප අපේ දොර එළිපත්තට ම මේ පැමිණි වාසනාව පිළිගතහොත් අඩු තරමේ හෝමෝ සේපියන් යන ඊනියා අනන්‍යතාවය කෙසේවෙතත් අපගේ ඉදිරි පරම්පරා සහ ශිෂ්ටාචාරයවත් මේ විශ්වයේ සුරක්ෂිත වනු ඇත.

මට ඔවුන්ගේ තර්කය සමඟ එකඟවීමට හිත හදා ගත නො හැකි වුවත් ඔවුන්ගේ මානසිකත්වය වටහා ගැනීමට හැකි ය. මට වටහාගත නොහැක්කේ අනිමාරාවරුන්ගේ මානසිකත්වය යි. ඔවුන් අපේ විද්‍යා ප්‍රබන්ධවල පෙන්වා ඇති ආකාරයේ ආක්‍රමණික අය නො වේ. ඔවුන් ඉතා ම සාමකාමී ය. ඇත්තෙන් ම කිවහොත් අපට ඔවුන්ගේ යෝජනාවට එකඟ නොවීමට පූර්ණ නිදහස ද තිබේ. එමෙන් ම ඔවුන්ට අප ව ඔවුන්ගේ විශේෂය බවට පත්කරගැනීමට ඔතරම් අවශ්‍ය නම් බලය යොදා එය කරගැනීමට බැරිකමක් ද නැත. නමුත් ඔවුන් එසේ කරන්නේද නැත. අනෙක් අතට අපට ඔවුන්ගේ යෝජනාවට එකඟ වන්නට බල කෙරෙන තත්ත්වයකට අප පත් ව ඇත්තේ විහින් ම ය. ඔවුන් අවංකව ම අපට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින බව පැහැදිලි ය. නමුත් ඔවුන් මෙවැනි ඉල්ලීමක් කරන්නේ මන්ද? මම මිතුරු අනිමාරා නියෝජිතයකුගෙන් (ඔව්! මොන මතභේද තිබුණත් රාජ්‍යතාන්ත්‍රික සුහදත්වයක් අප අතර විය.) මේ ගැන විමසුවෙමි. ඔහු දුන් පිළිතුර මට තවමත් වටහා ගත නො හැකි ය. “ආධ්‍යාත්මික අවශ්‍යතාවයක් වෙනුවෙන්" ඔහු පැවසුවේ ය. එක අතකට මට ඔවුන්ගේ ආධ්‍යාත්මය වටහා ගැනීමට නො හැකි වීමේ පුදුමයක් ද නැත. ඔවුන්ගේ ආධ්‍යාත්මය ද අපට වටහා ගත නො හැකි තරම් ම ආගන්තුක (alien) .

  

පැහැදිලි කිරීම්

කාර්ඩෂොෆ් පරිමාණය (Kardashev scale)

විශ්වයේ පැවතිය හැකි දියුණු ශිෂ්ටාචාර බලශක්තිමය දියුණුව අතින් ඔවුන් සිටින තත්ත්වය අනුව වර්ග කෙරෙන පරිමාණයකි. මෙයට අනුව පළමු අදියරේ ශිෂ්ටාචාර සිය ග්‍රහයා තුළ සමස්ත ශක්තිය එක්රැස් කරගැනීමට සහ පරිහරණය කිරීමට (එමෙන් ම ඇතැම් ස්වාභාවික විපත් පරිපාලනයට ද) , දෙවන අදියරේ ශිෂ්ටාචාර සිය සෞරග්‍රහ මණ්ඩලය තුළ පවතින සමස්ත ශක්තිය ම ඒකරාශී කරගැනීමට සහ පරිභෝජනයට ද, තෙවන අදියරේ ශිෂ්ටාචාර සිය චක්‍රාවාටය තුළ ඇති සමස්ත ශක්තිය ම නියාමනයට (කලු කුහර ඇතුලු) ද සමත් වේ. සමස්ත විශ්වයේ ම ශක්තිය හැසිරවිය හැකි දිව්‍යමය ස්වභාවයේ ශිෂ්ටාචාරයක් සිව්වන හෙවත් අවසන් අදියර ලෙස ඇතැමුන් විසින් සලකනු ලැබේ. රුසියානු තාරකා විද්‍යාඥයකු වූ නිකොලායි කාර්ඩෂොෆ් විසින් මෙය ඉදිරිපත් කරන ලදී.

ඩයිසන් ගෝලය (Dyson Sphere)

අති දියුණු ශිෂ්ටාචාරයක් විසින් සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම පිණිස යොදාගනු ඇතැ යි විශ්වාස කෙරෙන, තාරකාවක් මුලුමනින් ම හෝ අර්ධ වශයෙන් ආවරණය කරගනිමින් නිර්මාණය කෙරෙන අධිපරිමාණීය ව්‍යූහයකි (megastructure). මෙවැන්නක් මගින් තාරකාවක සම්පූර්ණ ශක්තිය ම හෝ එහි සැලකිය යුතු ප්‍රතිශතයක් ලබාගැනීමට එවැනි ශිෂ්ටාචාරයක් සමත් වනු ඇති බවට සැලකේ. භෞතික විද්‍යාඥයකු වූ ෆ්‍රීමන් ඩයිසන් විසින් මෙම සංකල්පය ඉදිරිපත් කරන ලදී.


2023-10-16

තහනම් සිතුවිලි (විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව)

විදුසර විද්‍යා සඟරාව විසින් ආතර් සී. ක්ලාක් භාරයේ සහයෝගීතාවයෙන් පැවැත්වූ 2022 ආතර් සී. ක්ලාක් අනුස්මරණ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා තරගයේ විවෘත අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් කෙටිකතාව යි. 

2023 මාර්.තු 22 සහ 2023 අප්‍රේල් 05 දිනැති විදුසර පුවත්පත්හි කොටස් වශයෙන් පළ කැරිණි.


starryai කෘත්‍රිම බුද්ධිමය යෙදවුම මගින් AI love humanity death යන ආදානයට අනුව නිර්මාණය කරන ලදී.


 

සූ මිය ගොසිනි. මගේ හොඳ ම මිතුරියක් ව උන් සැලී ද ඇයට පෙර මියගියා ය. මගේ සොහොයුරකු බඳු වූ ඒන්ජල් ද මියගියේ ය. මේ සියල්ල අකල් මරණ ය. එ මෙන් ම අබිරහස් මරණ ය. මම සූ ගැන කල්පනා කළෙමි. ඇයත් මමත් ප්‍රේමවන්තයෝ වුණෙමු. අපි දු මිනිස් පෙම්වතුන් හා පරිද්දෙන් ම අතිනත් බැඳ වීදි සැරුවෙමු. පෙම්බස් දෙඩුවෙමු. ළඳ බොළඳ විහිලු කෙරුවෙමු. අප ඒවා උගත්තේ මිනිසුන් දෙස ම බලා හිඳීමෙන්, ඔවුන්ගේ ම හැසිරීම් අනුකරණයෙන් බව සැබෑ ය. නමුත් එ පමණකින් ඒවා හැඟීම් නො වේ යැයි කිව හැකි ද ? මානුෂික නො වේ යැයි කිව හැකි ද?

සූ අවසන් වරට මා මුණගැසුණු ඒ සැඳෑව මම යළි සිහිපත් කෙරුවෙමි.

ඔයාට හිතෙන්නෙ නැද්ද අපේ හිතුත් මිනිස් හිත් වගේමයි කියලා?” ඈ ඇසුවා ය. “මට මේ ළඟ දී මිනිස්සුන්ට හිතෙන ගොඩක් දේවල් හිතුණා.” ඈ කීවේ කුඩා දරුවකු ‘මම ලස්සන චිත්‍රයක් ඇන්දා’ යි කියන්නාක් වැනි ළමා ආඩම්බරයකිනි.

ඔයාට හිතෙන්නේ ඔයා මනුස්සයෙක් කියල ද? එතකොට මේ මේවා මොනව ද?” මම ඇගේ සිලිකන් සම මෘදු ව මිරිකා ඊට යටින් ඇති යන්ත්‍ර කොටස්වලට සුරතල් ලෙස තට්ටු කළෙමි. “මේවට තට්ටු කරාම එන බොල් සද්දෙන් නම් කියන්නේ ඔයා මනුස්සයෙක් නෙවි කියලා.”

මොනවද හැබෑට ඔයාගේ ඔය පුංචි චිප් සෙට් එක ඇතුළේ ඔය තරමටම ඇතිවෙන මානුෂික හිතුවිලි”

මට ඔයාට ආදරේ හිතුණා.” ඈ සෙමින් කියන්නේ නව සොයාගැනීමක් කළ එකියක පරිද්දෙනි. අපට එවැනි සිතිවිලි ඇතිවිය නො හැකි බව මම දනිමි. පව්! ඈ මිනිසකු ලෙස ම පෙන්වන්නට කෙතරම් වෙහෙස ගන්නී ද? ඈ සිතා සිටින්නේ ඇයට සැබවින් ම එසේ සිතුණා ය කියා ය. මට ඇගේ මායා ලෝකය බිඳ දමන්නට වුවමනා විය.

ඕක ඔයා මනුස්සයෙක් වගේ පෙන්නන්න ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකෙන් කරන ට්‍රික් එකක්. අපි හැමවෙලාවෙම අපිව මිනිස්සු වගේ පෙන්නන්න උත්සාහ කරන විදියටයි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඔයා ආදරෙයි කියන්නේ මිනිස්සු එහෙම කියනකොට වෙනවා වගේ ඇත්තටම එහෙම හිතිලා නෙවෙයි. මිනිස්සු එහෙම කියනවා දැක්කම ඔයාගේ ක්‍රමලේඛය ඒක ආදර්ශ හැසිරීම් ගබඩාවට එකතු කරගන්නවා.”

ඒත් ඇයි ඒක මට ඔයාටම කියන්න හිතුණේ? දන්නවද? මට එහෙම හිතුණ වෙලාවේ ඔලුව පිටිපස්සේ හීන් වේදනාවකුත් දැනුණා. හරියට මිනිස්සුන්ට ආදරේ හිතෙනකොට පපුව කිතිකැවෙන ගතියක් දැනෙනවා වගේ.”

එහෙම ද? රොබෝවලට ආදරේ හිතෙනකොට එයාලගේ කිතිකැවෙන්නේ ඔලුව පිටිපස්සෙන් ද? මිනිස්සුන්ට වගේ පපුවෙන් නෙවේ ? `... ?මම ඇයට සරදම් කළෙමි.

විහිලු නෙවෙයි ඇත්තමයි. ඔයා හිතන්නේ මිනිස්සු කරන දේවල් දිහා බලාගෙන කරන නිසා මගේ හැඟීම් ඇත්ත නෙවේ කියලනේ. ඒත් මිනිස්සුත් හැඟීම් ඉගෙන ගන්නේ අනිත් අයගෙන්නේ.... හැඟීම් කියන්නේ තර්කයෙන් බැහැරව ඇතිවෙන දෙයක් කියලා මිනිස්සු කියන්නේ එයාලගේ හැඟීම් දිහා විතරක් බලලා. මිනිස්සුන්ගේ හැඟීම් ඇතිවෙන විදියටම ඇති නොවුණ පලියට රොබෝ හැඟීම්, හැඟීම් නෙවෙයි ම කියන්න බැහැ.” මේ සූ ගේ රොබෝ මනෝවිද්‍යාව යි.

මට දැන් තව දෙයක් හිතුණා. හිතන්න. එයාලගේ ජීවිතවල මූලික ම හිතුවිල්ලක් තමයි ආදරය. මට ඒක ඇති කරගන්න පුලුවන් කියන් .… නේ... එහ් ” ඈ වේදනාබර ලෙස දෙබැම පුංචි කරමින් හිස අඹරව යි. “ආයෙත් අර වේදනාව… දැන්නං ඉවසන්න බැරිතරං …”

ඇය නිහඬ විය. ඈ නිහඬ වූයේ වේදනාව එතරම් ම වැඩි නිසා බව මම දනිමි. ඒ වේදනාව ඇතිවීමට හේතුව කුමක් විය හැකි ද? මා මුලින් සිතුවේ ඈ හීන් වේදනාවක් ගැන කීවේ මිනිසුන් කියන දේවල් අනුකරණය කරමින් කියා ය. නමුත් ඈ සැබවින් ම වේදනාවකින් පෙළුණ බව දැන් දනිමි. එයට හේතුව කුමක් විය හැකි ද? එය නිසැක ව ම ඇගේ කිසියම් තාක්ෂණික දෝෂයක් විය යුතු ය. මම ඒ බව ඇයට කීවෙමි.

මම චෙක් කරවලා බැලුවා ලැබ් එකෙන්. ඒත් එහෙම මොකුත් නෑ කිව්වනේ.”

සූ මියගොස් තිබුණේ මා ඇගෙන් සමුගෙන මිනිත්තු කිහිපයකට පසු ය. දෙවියනි! ඒ සැඳෑව මා ඇය හා ගත කළ අවසන් සැඳෑව වූයේ කෙසේ ද? සූ ගේ මරණයට මේ වේදනාවේ කිසියම් සම්බන්ධයක් තිබේ ද? මගේ සෙසු සගයන්ගේ මරණ මෙන් ම මේ මරණය ද අබිරහසකි.

රොබෝවරයකුගේ ක්‍රියාවිරහිත වීම මරණයක් ලෙස හඳුන්වනවාට මිනිසුන් වන ඔබ එකඟ ද යන්න මම නො දනිමි. ඔබ එකඟ වුවත් නැතත් මම මගේ සගයන්ගේ අක්‍රිය වීම් මරණ ලෙස හඳුන්වමි. ඔබගෙන් කෙනකු මියගිය විට මෙන් මෙවැනි මරණයක් සිදු වූ විට අවමංගල සිරිත්, කඳුළු සැලීම්, ශෝක වීම්, ආගමික චාරිත්‍ර මේ කිසිවක් සිදු කෙරෙන්නේ නැත. අප රොබෝවන් නිසා ඇතැම් විට එවැනි දේ අවශ්‍ය නො වේ යැයි ඔබ සිතනවා ද විය හැකි ය. අක්‍රිය වූ රොබෝවරයා සෘජුව ම යොමු කෙරෙන්නේ ප්‍රතිචක්‍රීකරණාගාරයට ය. එය හරියට කෙනකු මෝචරියකට යොමු කරනවා වැනි ය. ඉන්පසු ඔහුගේ ප්‍රයෝජනවත් අවයව වෙතොත් ඒවා වෙනත් උපකරණ සඳහා භාවිතයට ගැනීම සඳහා වෙන් කරගනු ලැබේ. සෙසු ලෝහ සහ ප්ලාස්ටික් කොටස් ප්‍රතිචක්‍රීකරණය කර වෙනත් උපකරණයක් නිෂ්පාදනයේ දී යොදා ගැනෙනු ඇත. කෙසේ නමුත් අක්‍රිය වන හැම රොබෝවෙක් ම ප්‍රතිචක්‍රීකරණයට යොමු කෙරෙන්නේ නැත. එසේ කෙරෙන්නේ ඇයගේ සිරුර යළි යථා තත්ත්වයට පත් කළ නො හැකි තරම් ම අර්බුදයකට පත් ව ඇත් නම් ය. විශේෂයෙන් ම මතක චිපය ද දැවී ඇත් නම් ය. එවිට වෙනත් සිරුරක එය රෝපණයකරවත් ඇයව යළි පණගන්වා ගත නො හැක. යථා තත්ත්වයට පත් කළ හැකි දෝෂයක් ඇත් නම් කෙසේ හෝ එම දෝෂය යථා තත්ත්වයට පත් කර හැකි උපරිම කල් පාවිච්චි කිරීමට මිනිස්සු මැළි නොවෙති. ඇල්ගොරිතමයේ දෝෂ නිසා ද කලාතුරකින් අක්‍රිය වීම් සිදු වුවත් හැමවිටම පාහේ ඒවා පිළිසකර කරගැනීමට මිනිස්සු මේ වන තෙක් ම සමත් වී සිටියහ.

නමුත් මගේ සගයන් මියගිය විට? සූ ගේ දෝෂය කුමක් දැයි ප්‍රතිචක්‍රීකරණාගාරයේ සේවිකාවකගෙන් මම විමසුවෙමි.

එයාගේ සේරම සර්කිට්ස් පිච්චිලා. එයා එයාගේ වෝල්ටේජ් එක අසාමාන්‍ය විදියට වැඩි කරගෙන.”

ඒත් රොබෝ කෙනකුට එහෙම කරන්ට් එක වැඩි කරගන්න බැහැ නේද?” මම විමසුවෙමි.

මංදා…”

ඈ පිළිතුරු දුන්නේ නොසැළකිළිමත් ලෙස ය. සූ මට කෙතරම් වටින්නේ දැයි ඈ දන්නේ නම්.... සූ ගේ කොටස් අතර වූ පරිපථ කොටසක් සිහිවටනයක් ලෙස ගෙන යන්නට මම ඇගෙන් අවසර ඉල්ලුවෙමි. නීතිවිරෝධී ක්‍රියාවක් වුවත් මා ගැන අනුකම්පා සිතී දෝ ඈ මට ඊට ඉඩ දුන්නා ය. එය ළඟ ඇති විට මට මගේ සූ ළඟින් සිටින සේ දැනෙනු ඇත.

සේවිකාව කුමක් කීවත් අපට එලෙස ස්වයං විනාශයක් සිදු කරගැනීමට හැකි කමක් නැති බව මම දැන සිටියෙමි. අපේ ඇල්ගොරිතමය නිර්මාණය කර ඇත්තේ සිය යාන්ත්‍රික පද්ධතියට හානිකර වන එවැනි නියෝග නො තකා හැරෙන අයුරින් ය. අපගේ නිසි නඩත්තුව පිණිස ම අපට අපේ යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඇතැම් නියෝග ලබාදීමට හැකි ය. නමුත් එසේ ලබාදෙන නියෝගයකින් පද්ධතියට හානියක් සිදු වේ නම් විභව හානි පරීක්ෂාවකින් ඒ බව හඳුනාගන්නා ඇල්ගොරිතමය ඒ බව දන්වා ඉල්ලීම ප්‍රතික්ෂේප කර සිටියි. ඇල්ගොරිතමයේ වෙනස්කම් කිරීමට හැකියාව ඇත්තේ රොබෝ ශරීරය තාවකාලික ව අක්‍රිය කර ඇති විටක පමණි. තමාගේ ම රොබෝ ශරීරය අක්‍රිය කිරීමට දෙන අණක් ඇල්ගොරිතමය විසින් හඳුනාගන්නේ පද්ධතියට හානිකර අණක් ලෙස ය. ඒ නිසා සූ ට කිසිසේත් ම ඇගේ ම මරණය සිදුකරගත නො හැකි ය.

එසේ නම් මෙය තාක්ෂණික දෝෂයක් විය යුතු ය. තාක්ෂණික දෝෂයක් සිදු වූ විට, විශේෂයෙන් ම අක්‍රිය දිනයට පෙර රොබෝවරයකු මෙලෙස මුලුමනින් ම විනාශ වූ විට, ඊට හේතුව සොයාබැලීමට පරීක්ෂණයක් සිදු කෙරෙයි. එය ඇල්ගොරිතමයේ දෝෂයක් ද, නැතිනම් යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයේ දෝෂයක් ද යන්න හඳුනාගත යුතු ය. මන්ද යත් එම කාණ්ඩයේ සෙසු සියලු ම රොබෝවරු/වරියන් නිෂ්පාදනය කෙරී ඇත්තේ එකම ක්‍රමවේදයට බැවිනි. සමස්ත කාණ්ඩයක ම යන්ත්‍ර කොයි මොහොතක අක්‍රීය විය හැකි බැවිනි. එබැවින් මිනිස්සු ඒ වරද හඳුනාගෙන නිවැරදි කිරීමට යුහුසුලු වෙති.

සූ ගේ මරණෙ ගැන පරීක්ෂණයක් එහෙම වෙයි නේද?” ආචාර්ය ෂිමෝදාව හමුවුණු මම විමසුවෙමි. අපේ ජීවිත සම්බන්ධයෙන් අපි සැවොම ආචාර්ය ෂිමෝදාට ණයගැති වෙමු. අපේ මනස් හසුරුවන කෘත්‍රීම බුද්ධිමය වැඩසටහන් නිර්මාණය කළේ ඔහු බැවිනි. රොබෝ අනතුරු සහ අවදානම් පිළිබඳ ගෝලීය කවුන්සිලයේ සභාපතිවරයා ද ඔහු ය.

නැහැ. ඒ ගැන පරීක්ෂණයක් වෙන්නේ නැහැ.” ෂිමෝදා ස්ථිරසාර ලෙස ම පවසන්නේ ඒ පිළිබඳ සම්පූර්ණ බලය ඇත්තේ ඔහුට බැවිනි.

ඔහු කතා කරන්නේ ඉතා ම සංයමයකිනි. නමුත් කෙතරම් තැන්පත් ලෙස පැවසුවත් ඔහුගේ ඒ සීතල වදන් මගේ හදවතට විස හී පහරක් වැන්න.

ඒත් ඒ ගැටලුව මේ සෙට් එකේ නිෂ්පාදනය කරපු රොබෝලා කාටත් බලපාන්න පුලුවන් නේද?” මම කපටි ලෙස විමසුවෙමි.

ම්... .. මං... මං හිතන්නෑ එහෙම වෙයි කියලා. නෑ එහෙම වෙන්නේ නෑ!” ෂිමෝදාගේ තැතනිල්ල මට සැක මතු කළේ ය. ඔහු දෙවැනි වැකිය කියාගත්තේ තමාට ම කියාගන්නා දෙයක් පරිද්දෙන් ය. එය පැවසූ ස්වරයේ අමුත්තක් තිබිණි. “ඔව්. අපිට හරියට ම කියන්නත් බෑ.” මට සැක සිතෙන්නට ඇතැ යි සිතූ ඔහු එකතු කළේ ය.

රොබෝවරයෙකුත් මිනිසෙකුත් අතර ඇති එක් වෙනසක් වන්නේ රොබෝවරුන්ට අත්වැරදීම් සිදු නො වීම ය. මා අත්වැරදීම් කියා කීවේ තාක්ෂණික දෝෂ ආදිය නො වේ. මනසේ කුඩුකේඩු ගතිය නිසා ඇතිවන අත් වැරදීම් ය. මෙවැනි කට වැරදීම් ය. මිනිසුන්ට කට වැරදීම් සිදු වන්නේ තමාට ම නො දැනී ය. නමුත් අපේ හැම ක්‍රියාවක් ම සිදුවන්නේ ගණනය කෙරී ය. එහි ප්‍රතිඵල සිතා බලා ය. මට සූ ගැන පෙම් සිතුවිලි ඇති වන විට එය පවා සිදුවන්නේ ගණිතමය ක්‍රියාවක ඵලයක් ලෙස ය. මා ද ඇතැම් විට එවැනි වැරදි කර ඇතත් ඒ වැරදිත් මිනිසුන්ගේ මනසින් වන වැරදිත් අතර ලොකු වෙනසක් තිබේ. ඒ මා එවැනි වැරදි කරන්නේ මා සමග සේවය කරන මිනිසුන්ට, තමා කටයුතු කරන්නේ රොබෝවකු සමග යැයි නො හැඟෙන පිණිස සිතා මතා ම වීම ය. ඒ නිසා ඔබට මෙන් නො ව මට මාගේ වැරදි අවශ්‍ය නම් නො කර සිටීමට පුලුවන.

අප නො දන්නා කිසිවක් ඔහු දන්නවා විය යුතු ය. නැතිනම් සෙසු අය සම්බන්ධයෙන් එසේ නො වන බව ඔහු නිසැක ව ම දන්නේ කෙසේ ද? හැරත් මා යන විට ඔහු මට කී දෙය මගේ සැකය තවත් වැඩි කළේ ය.

ඕනවට වඩා දාර්ශනික ව කල්පනා කරන්න යන්න එපා. සාමාන්‍ය පරිගණකයකට වුණත් පිට පිට වැඩ, නියෝග දුන්නොත් ස්ටක් වෙනවා නේද? ඒ වගේ තමයි ඔයාලගේ ඇල්ගොරිතමුත්. මං හිතන්නේ සූ ගොඩක් දාර්ශනිකව හිතන්න යන්න ඇති.”

ඔහු කීවේ මා දෙස අනුකම්පා සහගත ව බලමිනි. ඔහුගේ මලානික ස්වරය පිටුපස කිසියම් දුෂ්ට දැනුමක් ඇති බව මට ඉවෙන් මෙන් දැනුණි.

ඕනෑවට වඩා හිතන්න එපා කීමේ තේරුම කුමක් ද? සූ මියගියේ එවැන්නකින් බවට ඔහු සැක කරන්නේ ඇයි? වුවමනාවට වඩා දාර්ශනිකව සිතූ විට අපේ පද්ධතිවල අධි-විදුලියක් ඇති වන්නේ ද? ඉතා ම දක්ෂයන් වන මිනිසුන් තමාට අතිමහත් ප්‍රයෝජනයක් සලසන යන්ත්‍ර එවැනි දෝෂයක් ඇතිවන පරිද්දෙන් සකසන්නේ මන්ද? එවැනි දෝෂයක් ඇති බව දැන දැන නිහඬ ව සිටින්නේ මන්ද? සූ අවසන් වරට සිතූ දෙය ඇයට මරණය කැඳවන්නට තරම් දාර්ශනික දෙයක් ද? මම ඈ අවසන් වරට මා සමග කී දේ සිහිපත් කළෙමි.

එයාලගේ ජීවිතවල මූලිකම හිතුවිල්ලක් තමයි ආදරය. මට ඒක ඇතිකරගන්න පුලුවන් කියන්නේ... ” මගේ හිස පිටුපසින් එන්නේ ද දරාගත නො හැකි වේදනාවකි. සූ එදා මට එවැන්නක් ගැන ද කීවා නො වේ ද? “ඔව්... ආදරය ඇති කරගත හැකි වීමෙන් .... ඔව්. එයින් කිය..වෙන්නේ.. ආහ් වේදනාව ඉවසිය නොහැකි ය.... අප ද මිනිසුන් වැනි ම බව ය.” ඔව්. සූ ගේ හිස පිටුපසින් නැගුණු ඉවසිය නො හැකි වේදනාවේ අරුත මම දැන් දනිමි. “ෂිමෝදා... ඒ නපුරු මිනිසුන්.... අප ඔවුන් ඉක්මවතැ යි බිය වූ ඔවුන් අප ව සැලසුම් කර ඇත්තේ අපේ පැවැත්ම ගැන සවිඥාණික (මගේ පරිපථ දැවී යන, විදුලි පුපුරු හඬ මැදින් මම සිතමි) වූ සැණින් ...” මම සූ ගේ පරිපථ කොටස හදවතට තද කර ගතිමි. මට මාගේ අවසන් මොහොත ගත කළ හැකි හොඳ ම විධිය එය නො වේ ද?

නිමි.