2026-02-22

සිත් කුසුම් පිපෙන තුරු....

  2024 අගෝස්තු 7 වැනි දිනැති විදුසර පුවත්පතෙහි විද්‍යා ප්‍රබන්ධය වසයෙන් පළ කැරිණි. 

 

හැකර්වරයා මා කතාකරන දෙස බලා සිටියේ අවිශ්වාසය සහ නුරුස්නාව මුසු බැල්මකිනි. ධනුෂ්ගේ චිත්ත ගිණුම ඇත්තේ එහි ශේෂය අවසන් වීමට ඔන්න මෙන්න බවත් එය එසේ වුවහොත් එය අප දෙදෙනාට දරාගැනීම කෙතරම් දුෂ්කර සමයක් වනු ඇත් ද යන්නත් ඔහුට තේරුම් කරන්නට මම තැත් කළෙමි.


"ඕක හරිම අවදානම් වැඩක්. නීතිවිරෝධී හින්ද විතරක්ම නෙවි. ඔයාලා දෙන්නට ම මනස අවුල් වෙලා ඔයිට වඩා විඳවන්න වෙන්න පුලුවන් පොඩ්ඩක් හරි අවුල් ගියොත්." ඔහු පැවසුවේ ය.


එය එසේ සිදුවිය හැක්කේ කෙසේ දැයි කුතුහලයක් හටගත්තත් මම ඔහුගෙන් ඒ නො විමසුවෙමි. මටත් ධනුෂ්ටත් තව එක මොහොතක් හෝ සතුටින් සිටින්නට, අපේ ආදරය බෙදාගන්නට හැකි නම් ඉන් පසු යමක් වැරදී ගොස් අප දෙදෙනාට ම මොන කෙංගෙඩියක් වුණත් මට නම් කමක් නැත. අපට අපේ ආදරය විඳින්නට හැකි නම් එය අප දෙදෙනාගේ ම අවසන් මොහොත වුවත් කිම? නමුත් අවාසනාවකට ඔහුගේ චිත්ත ගිණුමේ ශේෂය අද රාත්‍රියේ දී ම අවසන් වනු ඇත. මගේ ගිණුම ද තව දින දෙකකින් අවසන් වනු ඇත.


"හ්ම්. ඒක නම් ඇත්ත. ඔය සොච්චම නම් විනාඩියක් ලව් කරන්නත් මදි." හැකර්වරයා පැවසුවේ මගේ අර්බුදය තේරුම් ගත්තාක් මෙන් හිස වනමිනි. නමුත් ඔහුගේ ස්වරයේ කිසිම සංවේදීබවක් නම් නො තිබුණි. "ඇයි ඉතිං ඔහෙලට බැරි ඔය මඟුල් ආදර හිතුවිලි ඇතිකරගන්න ගිහිං අකවුන්ට් එක හිස් කරගන්නේ නැතුව වෙන මොකක් හරි ලාබෙට හිතන්න පුලුවන් දෙයක් ගැන හිතන්න?" ඔහු මා දෙස බැලුවේ ඉතා වටිනා සම්පතක් කාබාසිනියා කර දමන නාස්තිකාරයකු දෙස බලන ආකාරයේ ගර්හාත්මක බැල්මකි. ඇත්තෙන් ම, හැඟීම් වියපැහැදම් කිරීමේ දී කිසිම අරපරෙස්සමක් නැතිව එය කරන මා සහ ධනුෂ් වැනි අය දෙස අපේ සමාජයේ බොහෝ දෙනා බලන්නේ ම මෙවැනි වපර ඇසකිනි. අප දෙදෙනා ම මෙතෙක් කල් ආදරවන්තයන් ලෙස ජීවත් වූයේ එලෙස බව, එනම් ආදරයක් තිබුණත් ආදරයක් පෙන්වන්නට නොදන්නා පිටසක්වළ ජීවී විශේෂයක් අතර ප්‍රේමයක් වැනි සබඳතාවයක් පවත්වා ගනිමින් බව පිළිතුරු ලෙස ඔහුට කියන්නට වුවමනා වුවත් මා ඒ නො පැවසුවෙමි. මන්ද යත් ඒ ගැන කියන්නට ගොස් යම් විධියකින් මා සංවේදී වුවහොත් මගේ චිත්ත ගිණුමේ මේ තිබෙන ස්වල්ප ශේෂය ද තවත් නාස්ති විය හැකි බව දන්නා නිසා ය.


"ඔයා කවදහරි කෙල්ලෙක්ට ආදරය කරලා තියෙනව ද?" යි ඒ වෙනුවට මම ඔහුගෙන් විමසුවෙමි.


"හ්ම්. කෙනෙක් හිටියා. ඒත් මට ලැබෙන සොච්චම් හැඟීම්වලින් ආදරේ කරන්න පුලුවන්යැ.... මේ ටවුන් එකේ අඩු ම ෆීඩ් ලැබෙන කීප දෙනාගෙන් කෙනෙක් මම!"


"ඉතිං ඔයා හැකර් කෙනෙක්නේ! ඔය මඟුල හැක් කරලා හිත පුරෝගෙන සතුටින් ඉන්න පුලුවන්නේ?"


"ඒක තමයි මමත් කරන්න ගියේ. ඒක වැරදුණ හන්ද තමයි මෙහෙම වෙලා තියෙන්නේ. සදහට ම මට දැං මෙහෙම තමයි." ඔහු එය පැවසිය යුතු ව තිබුණේ ඉතා දුක්මුසු ව ය. හැඬුම්බර ව ය. නමුත් ඔහු එය පැවසුවේ රළු නීරස ස්වරයකිනි. ඔහුට එතරම් තදින් දුක්වන්නට තරම් හැඟීම් ගිණුමේ නැති විය හැකි බව මට කල්පනා වූයේ තරමක වේදනාවකිනි.


"ඔයා දන්නව ද ආයෙත් පාරක් අහුවුණොත් මට මොකද වෙන්නේ කියලා?" ඔහු ඇසුවේ ය. මම එය දැන සිටියෙමි. ඔහු සදහට ම හැඟීම්වලින් අත්හිටවනු ඇත. "ඒ කියන්නේ ඔයාට මට උදවු කරන්න වෙන්නේ නෑ කියන එකනේ... නේද?" මා පැවසුවේ අයැදුමකටත් වඩා මම ම නිගමනයකට පැමිණි අන්දමේ ස්වරයකිනි. එතරම් අඩු හැඟුම් ශේෂයක් සහිත මනසකට කොයිතරම් ඇවිටිලි කරත් ඇති ඵලක් නැති බව මම දැන සිටියෙමි. ආයාචනා කිරීම් ඵල දරන්නේ හැඟුම්බර මනස්වලට ය. සොච්චම් හැඟුම්බරබවකට වරම් ලබන මෙවැනි මනසකට ඇවිටිලි කිරීම මල් නොපිපෙන ගසකට පොහොර දමමින් මල් බලාපොරොත්තු වීමක් වැන්න. කෙතරම් උත්සහ කළත් එහි මල් නොපිපෙනු ඇත්තේ ය. මක්නිසාද යත් එයට මල් උපදවනු නො හැකි බැවිනි. මම මගේ මනසට ඔහු ගැන සියුම් සංවේගයක් ඇතිකරගන්නට ඉඩ හළෙමි. ඒ සුළු වැය වීමෙන් මට ලොකු පාඩුවක් සිදු නොවනු ඇත. මට එය නිසැක ය.


"ඉතිං ඇයි එයා ඔයා ව දාලා ගියේ? එයාට ආදරේ කරන්න තරම් හැඟීම් ඔයාට නැති හන්ද ද?" මම විමසුවෙමි.


"එයා මාව දාලා ගියේ නැහැ."


"එහෙනං? ... එයා නැතිවුණාවත් ද?"


"නෑ"


"එහෙනං මොන මගුලක් ද දෙයියනේ ඒකිට වුණේ?" මම තරමක උස් හඬින් විමසුවෙමි. මම වුවමනාවට වඩා හැඟුම්බර වී ඇති බවත් මගේ හැඟුම් ශේෂයෙන් දැවැන්ත ප්‍රමාණයක් මා නැති නාස්ති කරගෙන අවසන් බවත් මට වැටහුණේ තත්පර කිහිපයක් ගත වූ පසු ය. නමුත් දැන් ඒ ගැන කරන්නට දෙයක් නැත.


"ඒක දිග කතාවක්." ඔහු පැවසුවේ එකී සංවේදී සිදුවීමට නොගැළපෙන තරමේ දයා විරහිත ස්වරයකින් ය. අනුද්යෝගී හඬකින් ය. තමාගේ ම ජීවිතය හා බැඳුණු එවන් සංවේදී මතකයක් සම්බන්ධයෙන් කෙනෙකුට එතරම් ම රළු සහ අනුකම්පා විරහිත විය හැකි දැයි මම මවිත වුණෙමි. සිය හැඟුම් ශේෂය රැකගැනීම පිණිස ම අනුන්ගේ හැඟීම් ගැන කිසිම සංවේදීකමක් නැති මිනිසුන් මම ඕනෑතරම් දැක සිටියෙමි. හැඟීම් වෙනුවෙන් මිලක් ගෙවිය යුතු සමාජයක එය අරුමයක් නො වේ. නමුත් මෙලෙස තමාගේ ම හැඟීම් ගැන අසංවේදී වන අයෙකු නම් මට කිසිදා මුණගැසී නො තිබුණි. මට ලැබෙන පෝෂයෙන් සියයට එකක් තරම් සොච්චම් චිත්තාවේග පෝෂයකින් ජීවත් වන ඔහුගේ ලෝකය කෙසේ විය හැකි ද යන්න මේ වනතෙක් ම මා කල්පනා කර තිබුණේ නැත. මට නම් එවැනි ජීවිතයක් ගතකිරීම ගැන සිතාගැනීමටවත් නො හැකි ය.


"එයාත් ඒ වෙලාවේ හිටියේ ඔයාගේ කොල්ලා හිටි තත්ත්වෙමයි. අපි දෙන්නට ම ලැබුණේ සොච්චම් ෆීඩ් එකක්. අපිට ලොකු ලොකු හැඟීම්වලට ගෙවන්න තරම් සල්ලියක් තිබ්බෙ නැති නිසා. ඒ මදිවට එයා එයාගේ හැඟීම් සේරම සතියෙං නාස්ති කරගෙන තිබ්බා. ඊළඟ එක එනකං එයාට මාසයක් ම ඉන්න වෙලා තිබ්බා. ෆ්‍රීස් එකේ. මාසයක්! ෆ්‍රීස් එකේ මාසයක්! හැඟීම් මුකුත් නැතුව මාසයක්!" ඔහු සිය වදන්වලට හැඟුම්බරබව එකතුකිරීමට තැත් කළත් ඔහුට කළ හැකි වූයේ හඬ උස්කරගැනීම පමණ ය.


"මට එයා ඒ විඳින විඳවිල්ල බලං ඉන්න බැරි වුණා. එයාට ඒ ගැන මොකවත් ම නොදැණුනාට මට දැනෙනවනේ..." ඔහු එවදන් පැවසිය යුතු ව තිබුණේ දෙනෙතහි කඳුළු පුරවාගෙන වුවත් ඔහු එසේ නො කළේ ඔහුට එසේ කිරීමට හැකිකමක් නොතිබුණු බැවිනි.


"බැරිම තැන මං තීරණේ කරා, ඔයා ඔයාගේ ආදරවන්තයා වෙනුවෙන් කරන්න කියලා මගෙන් දැං ඉල්ලන දේම එයා වෙනුවෙනුත් කරන්න." ඔහු මොහොතකට නතර විය. "ඒත්.... ඒත්..... ඒත් ඒක වැරදුණා."


"ඉතිං ඔයාට කිසිම දුකක් නැද්ද?" ඔහුගේ ඒ නරුම හැඟීම්විරහිත උදාසීනත්වය දරා ගත නො හැකි ව වැළපෙමින් සිටි මම විමසුවෙමි.


"මට දුකයි තමයි." නමුත් ඔහු එද පැවසුවේ එකී අකම්පිත හැඟීම්විරහිත ස්වරයෙන් ම ය

 

මට මගේ හදවත පුපුරා ගිය සෙයක් දැනුණි. "...ඔයාට... ඒක විඳින්න ඕන නැද්ද? ...මට පුලුවන් ඔයාට ඔයාට උදවු කරන්න. මට මගේ ෆීඩ් එක ඔයාට ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්. මට හොඳට ම විශ්වාසයි ඔයාට එයා ගැන කැමති දෙයක් හිතන්න තරම් ඒක සෑහෙයි කියලා." මම කඳුළුබර දෙනෙතින් පැවසුවෙමි. මා අමතර හැඟුම් උපයාගැනීම කෙසේවෙතත් මගේ ඉතිරි ව තිබෙන ශේෂය ද වැය කරගනිමින් සිටින බව මට ඒ වනවිටත් වැටහී තිබුණි. නමුත් මට ඒ ගැන කිසිදු කනගාටුවක් නොවිණි. මා සතු ව ඉතිරි ව තිබෙන චිත්ත ශේෂය මටත් වඩා අසරණ ව සිටින මේ මිනිසාට පූජා කිරීමට මට හිත හදාගෙන සිටියෙමි. හැඟුම් සියල්ල අහිමි වුවත් මා එවිට සතුටු වන මම දැන සිටියෙමි. සතුට යනු ද හැඟුමක් වුවත් ඒ හැඟුම විඳින්නට මට මගේ හැඟුම්-පෝෂය පුරවා ගන්නට ම ඇවැසි නොවන බව මම වටහා ගනිමින් සිටියෙමි.