ඒ පිස්සෙක්. වෙනස් කෙනෙක්ව දුටු විට බොහෝදෙනා කියන්නෙ එහෙමයි. වෙනස් විදියට ලෝකය දැකීමේ පව හින්දම සමහරුන්ට ලෝකෙන් ගැහැට විදින්න සිදුවුණා. ඒත් තමන් ස්වාභාවිකයි සාමාන්‍යයයි කියන අය නොදන්න දෙයක් තියෙනව. ඒ තමයි මිනිහ දඩයම නවත්තල එඩේර වුණෙත්, එඩේර ගොවිය වුණෙත්, පිස්සෙක් කියල බැනුම් අහ අහ ම වෙනස් විදියට හිතපු අය නිසා බව. හුගක් අය කියන්නෙ අපිට ඒ දණ්ඩෙ යන්න බෑ කියල. එහෙම කියන අය නොදන්න දේ තමයි ඒ යන්න අමාරු ඒ දන්ඩ වෙනුවට පාලම හැදුවෙ ඔය වෙනස් අය ම බව. මෙහෙම වෙනස් විදියට හිතීමෙ ආදීනව මෙනෙහි කර කර ඉද්දි තමයි එයාල ආවෙ.එයාල තමයි හර්මන් හෙසගෙ ඩේමියන් පොතේ ඉන්න ඩේමියනුයි සිංක්ලෙයාරුයි.
සිංක්ලෙයා එහෙම කියපු වෙලාවෙ ඉඳන් මම මේ පිළිගත්තයි සම්මතයි කියල කියන දේවල් බිඳල දාල නිදහස් වෙන්න බැලුව. ඒත් එක පැත්තකින් පන්සලේ හාමුදුරුවොයි, අනිත් පැත්තෙන් ඉස්කෝලෙ සර්රුයි, අනිත් පැත්තෙන් ගමේ මිනිස්සුයි ඉද්දි මම කොහොමද සහෝදරය නිදහසේ හිතන්නෙ? ආගම, අධ්‍යාපනය, සංස්කෘතිය කියන දම්වැල් තුනකිම්ම ගැටගහල ඉන්නෙ මම විතරක් නෙවේ කියල දැනගත්තෙ හෙසගෙන්.කුරුල්ලා බිජුවටින් එළිබැසිමට සටන් කරයි.බිජුව නම් ලෝකය වන්නේ ය. අලුතින් ඉපදීමට අවශ්‍ය තැනැත්තේ පලමුව ලෝකයක් විනාශ කල යුත්තේ ය.
මටත් ඔය දේ වුණා. මුලු ලෝකෙම තරාදියෙ තියල මනින, නැත්නම් සංඛ්‍යාත්මකව හරි රසායනිකව හරි දකින, විෂයක වටිනාකම වැඩිම වෙන්දේසි මිලට හරි වෘත්තීමය වටිනාකමට හරි සාපේක්ෂව මනින සමාජයක, තාමත් ජුදාස්ලට බ්රූටස්ලට දේවදත්තලට අංගුලිමාලලට වෛර කරන, තස්ලිමාගෙ රුශ්ඩිගෙ හිස ඉල්ලල කෑ ගහන සමාජෙක දාර්ශනිකව කලාත්මකව තර්කානුකූලව නව්‍ය විදියට ලෝකෙ දිහා බලන අයට හිමිවෙන්නෙ පිස්සන්ගෙ තැන වුනත් අනාගත ඉතිහාසය ඒ වැරැද්ද නිවැරදි කරන බව හීනෙන් මතුවෙච්ච අන්ධ ගැලීලියෝල පණ පිටින් පිච්චිච්ච බ්රූනෝල කියල දුන්න. ඒ ඔක්කොම දරාගන්න පිස්සන්ගෙ හදවතට හයිය තියෙනව කියල සල්මන් රුශ්ඩිල, තස්ලිමා නස්රීන්ල, සොක්‍රටීස්ල කියල දුන්න.කිසියම් මෝඩ සිරිතක් වැරදි බව පෙන්වා දුනහොත් කිසිවකු ඔහුට ගරු නොකරනු ඇත. ආදර්ශයට නොගනු ඇත. ඒ වෙනුවට ගුරුවරයාගේ අසීමිත අධිකාරී බලය මගින් දඬුවම් කෙරෙනු ඇත.පාසලේ දී කියා දුන් කිසියම් වීර චරිතයක් මෙන් ක්‍රියා කිරීමට ගියහොත් ඔහු අමුතු හෝ පිස්සු කෙනෙකු සේ හංවඩු ගසා අපහාසයට ම ලක් කෙරෙනු ඇත.
අපේ බුද්ධියෙන් ඔබට වැඩක් නැතිවේවි, අපි විකිණෙන්නෙ නැති නිසා. ඒ වගේ ම අපේ හදවතිනුත් ඔබට වැඩක් නැති වේවි, අපි ඔබේ ලෝකයට අමුත්තන් නිසා. නමුත් අපි විශ්වාස කරනවා හුදකලාව තුළ ලැගුම් ගත්, නිහඬ බව අරක් ගත් නාසිසස් කෙනෙක් ළඟට කවදහරි දවසක වීනස් ළංවෙලා දෙවියන් වෙනුවෙන් මම ඔබට සාධාරණය ඉටු කරමි කියල දිවුරාවි කියාත්, ඔවුන්ගේ කඳුළු වලින් පිස්සන්ගේ හදවතේ සිරවුණ ලේ කැටිත්, උගුරේ සිරවුණ බරැති ගුලිත් දියවෙලා යාවි කියාත්.
අප ලෝකය හමුවේ අමුතු හෝ උමතු ලෙස පෙනෙනු ඇත. අපි පිබිදුණෝ වන්නෙමු. නැතිනම් පිබිදෙමින් සිටිනවුන් වන්නෙමු. අන් අයගේ තැත තම අදහස් සිය රැළේ වුන්ට සම කිරීමයි. නමුත් අප උත්සාහ කරනුයේ සොබාදහමේ කැමැත්ත කිසියම් නව මානයකට නවස්ථරයකට හා අනාගතයකට යොමු කිරීමටයි. සෙස්සෝ පවතින තත්ත්වයේ ම දිවි ගෙවීමට වෙර දරති.
(තද කලු අකුරින් ඇති තැන් උපුටා ගත්තේ හර්මන් හෙසගේ ඩේමියන් පොතට මහින්ද පතිරණ එනමින් ම කළ සිංහල පරිවර්තනයෙනි.) ්‍ය
පන්නරය, තක්සලාව, ලංකාදීප (ඉරිදා), 2012 ජුලි 15
No comments:
Post a Comment