මාර් ටින් වික්‍රමසිංහගේ විචාරාත්මක ක්‍රියාවලියේ වැදගත් ම දායාදය වුණේ බුදුදහම ගැන ඔහුගේ කියවීම. බුදුදහම ගැන වික්‍රමසිංහගේ කියවීම යන්නෙන් අදහස් කළේ බෞද්ධ දර්ශනය ගැන ඔහු කළ විග්‍රහ, කළ පැසසුම් ආදිය නොවෙයි. බෞද්ධ ජීවන පිළිවෙත කුමක් ද යන්නට ඔහු දුන් පිළිතුරයි. ඒ පිළිතුර හමුවන්නේ විරාගය නවකතාව තුළ. අරවින්දගේ චරිතයෙන්. නමුත් වික්ටෝරියානුවාදය තුළ සිරවුණු බැවින් දෝ බොහෝ දෙනෙක් ඒ පිළිතුර වටහා ගන්නට සමත් වුණේ නැහැ. බොහෝ අයට අරවින්ද ව පෙනුණේ කුහක/ප්‍රතිපත්තියක් නැති චරිතයක් ලෙස. ලංකාවේ සාහිත්‍යයේ වැඩියෙන් ම වැරදි වැටහීම්වලට ලක්වුණු චරිතය විරාගයේ අරවින්ද කිව්වාට වරදක් නැහැ.
අන්තිමේ දී තමන්ගේ නවකතාව ගැන තමන්ට ම විචාරයක් ලියන්නට ඔහුට සිදුවුණා. එය නමින් නවකතාංග හා විරාගය.
විරාගයේ කථාව ඉදිරිපත් වන්නේ අරවින්ද ලියා තැබූ ජීවිත කථාව, අරවින්දගේ මරණයෙන් පසු සැම විසින් නවකතාවක් ලෙස ගලපා ඉදිරිපත් කිරිමක් ලෙස. සැමී පවසන්නේ අරවින්ද එතරම් ප්‍රසිද්ධ අයෙකු නොවූවත් ලොකු සෙනගක් ඔහුගේ මලගමට පැමිණි බව යි. අරවින්ද මිනිසුන්ට කළ අතහිත දීම් ඊට හේතු වන්නට ඇති බව යි.
අරවින්ද යොවුන් වියේ ම සරෝජනීගේ ප්‍රේමය ලැබුවත් ඇය වෙනකකුට අයත් වනවා. ඇය එයින් වැළකෙන්නට පැන යන්නට යෝජනා කළත් ඔහු අදිමදි කරනවා. ඇය වෙනකකුට අත් වන තුරු ඔහු ඔහේ බලා සිටිනවා. එසේ ප්‍රේමය අත් හැර අවිවාහක ව විසුවත් ඔහු තම මෙහෙකාරිය වන බතී සමග මෙන් ම ඇගේ දුව සමග ද සබදතාවයක් ගෙන යනවා. එක් අයෙකු සමග ගෙන යන්නේ කායික සබදතාවයක්. ඔහුගේ වැඩිමල් සොයුරිය වන මේනකා ඔහුට හිමි දේපල ද කඩා වඩා ගන්නා තුරු ඔහු බලාසිටිනවා. නමුත් එසේ දේපල තණ්හාවක් නැති ලෙස සිටියත් ඔහු රසදිය උණුකර රත්තරං නිපදවන්නටත් වෑයම් කරනවා.
මෙවැනි පරස්පර හැසිරීම්වලින් යුතු අරවින්ද ව විචාරකයන්ට සහ සෙසු අයට කුහක හෝ අමුතු චරිතයක් වුණා. නමුත් එලෙස හදුනාගන්නට නොහැකි වීම පිටුපස තියෙන්නේ කනගාටුදායක යථාර්ථයක්. එනම් බුදුදහම පිලිබද අපේ නොදැනුම යි. අරවින්ද යනු රුසියානු නවකතාවක එන ඔබ්ලිමෝච් චරිතය අනුකරණය කරමින් තැනූ නිෂ්ක්‍රීය චරිතයක් යැයි කෙනෙක් කීවා. තවකකුට ඔහු කුහක/සල්ලාල චරිතයක් වුණා. නමුත් වික්‍රමසිංහට අනුව ඔහු සෝවාන් තත්ත්වයට පත්වුණු අයෙක්!
සෝවාන් වූ අයෙක් යනු සියලු කෙලෙසුන් නැසූ කෙනෙක් නෙවෙයි. ඔහු තුළ නැතිවන්නේ කිසියම් සීලයක් විශුද්ධ ලෙස ගැනීම (සීලබ්බතපරාමාස), ධර්මය ගැන ඇති සැකය (විචිකිච්ඡාව), මේ මාගේ ශරීරය ය යන දෘෂ්ටිය (සත්කායදිට්ඨි) යන සංයෝජන තුන පමණ යි. ඒ අනුව රාගය වැනි කෙලෙසුන් එවැන්නකු තුළ තිබීමට නොහැකියාවක් නැහැ. වික්‍රමසිංහ කියන්නේ අරවින්ද සිය බොහෝ ආශාවන් නැතිකරගන්නට සමත් වූ බව යි. ඔහුට නැකිකරගැනීමට දුෂ්කර වුණේ ගැහැනුන් ගැන පැවති ආශාව පමණක් බව යි. අරවින්ද යනු සෝවාන් ඵලයට පිවිසුණු පමණක් නොව සකෘදාගාමී ඵලයේ ද රස විදින්ට තැත් කළ අයෙකු බව යි වික්‍රමසිංහ ලියන්නේ. ඒ ඔහු මේනකාගේ කඩා වඩා ගැනීම් ඉවසමින් ව්‍යාපාදය ද නැතිකරගන්නට තැත් කළ බැවින්.
වික්‍රමසිංහට අනුව අරවින්ද සරෝජිනී සමග පැන නොයන්නේ ඇතැම් විචාරකයන් කියූ පරිදි රුසියානු නවකතාවක එන ඔබ්ලිමෝච් චරිතයේ මෙන් නිෂ්ක්‍රීයත්වයක් නිසා නොව සමාජ සම්මතයට අනුව සිටීමට ඇති කැමැත්ත නිසයි. මේනකාගේ කඩා වඩා ගැනීම් ඉවසන, එනම් දේපල තණ්හාවෙන් තොර වන ඔහු රත්තරං නිපදවන්නට යන්නේ ඇයි ද යන්න අපට ගැටලුවක් වන්නේත් රත්තරං නිපදවීමට ඔහු තැත් කළේ එහි උපයෝගීතා වටිනාකම නිසා යැයි අප සිතන බැවින්. නමුත් වික්‍රමසිංහට අනුව නම් ඔහු රසදිය උණුකර රත්තරං නිපදවීමට තැත් කළේ අලුත් අලුත් දේ කිරීමට ඇති කුතුහලය නිසා.
No comments:
Post a Comment