බුදුදහමේ අරමුණ වෙන්නේ නිවන් අවබෝධය. ඒ කියන්නේ තෘෂ්ණාවෙන්, ඇලීමෙන් මිදෙන එක. ගිහි ජීවිතේ අභිලාෂය වෙන්නේ ලොෟකික තෘප්තිය ලැබීම. ඒ අතින් බැලුවාම බුදුදහමේ අරමුණත් ගිහිදිවියේ අරමුණත් එකිනෙකට පසමිතුරු යි. ඒ අනුව නම් ගිහි බුද්ධාගමක් තියෙන්න බැහැ. වෙන විදියකින් කිව්වොත් ගිහියෙකුට බෞද්ධයෙක් කියාගන්න පුලුවන්කමක් නැහැ. බුදදුහම ගිහියන් උදෙසා වූවක් නො වන බව කියූ වියතෙක් තමයි මාර්ටින් වික්‍රමසිංහ.
භවසත්තාවාදීන්ගේ ඒ දෙමග පටහැනි වන්නේ බුදුසමයට නොව ආර්ය අෂ්ඨාංගික මාර්ගයටයි. ඒ මග ගිහියන් උදෙසා නොව ගිහිගෙයින් නික්මෙන්නන් උදෙසා ය. සිගාලෝවාද සූත්‍රයෙන් හැදින්වෙන්නේ පැරණි ඉන්දියාවේ වෛදික, ජෛන යතීන්ට පොදු විනයකි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය ගිහිගෙයින් නික්මෙන්නන් උදෙසා පමණක් යයි මම කීවෙමි. බුදුදන්වහන්සේ ඒ මග හැර ගිහිගෙයි ඇලුණවුන් සදහා මගක් නොදෙසූහ.
- නවකතාංග සහ විරාගය
ගිහියන් ලැබූ නිදහස සීමා කර ඔවුන් ද පැවිද්දන් උදෙසා වූ ධර්මය අනුව හික්මවන්නට වෑයම් කරන්නේ යැයි වික්‍රමසිංහ මෙරට යති පරපුරට දොස් නැගුවා.
භික්ෂූන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව ගිහියන් හික්මවන්නට වෑයම් කරති. අවමගුලෙහිදී හා මගුලෙහිදීත් පෝය දවසෙහි හා දානයෙහිදීද ගිහියෝ අනිත්‍ය අනාත්ම ධර්මය අසති; ජීවිතය එකම දුක් කදක් ය යන කියුම පිළිබද විචිත්‍ර විවරණ අසති; ස්ත්‍රී රූපය පින්තාරු කරන ලද අසූචි පිරුණු බදුනකි. කය පිළිකුල් භාවනාවට අරමුණු විය යුතු මස් ලේ හා සෙම් සොටු ගොඩකි.
මෙවැනි බණ දේශනා ගිහිගෙයින් නික්මුනවුන්ට උචිතය; ගිහිගෙයි ජීවත්වන්නවුන්ට අනුචිතය. මේ අනුචිත දෙසුම් අසන ගිහියෝ නිතැනින්ම උභය චරිත ඇත්තෝ වෙති. ඔවුහු දිව පිණවන ප්‍රණීත ආහාර පාන අනුභව කරති; සිත කය පිනවන ඇදුම් පැළදුම් හදිති; නටති; වයති; නැටුම් බලති; ගැයුම් වැයුම් අසති. කම්සැප විදිති.
ඉන්ද්‍රියන් පිණවමින් ජීවත්වන මොවුහු සමාජයෙහිත් භික්ෂූන් ඉදිරියෙහිත් අපිස් වෙස් ගනිති.
- නවකතාංග සහ විරාගය
වික්‍රමසිංහගේ මේ අදහස්වලට මොරටුවේ සාසනරතන හිමියන් දුන්නේ මෙවැනි පිළිතුරක්.
ජීවිතය දුකක් යයි බුදුසමය උගන්වතියි භවසත්තාවාදය ගුරුකොට ගත් සමහර විචාරකයන්ගේ කල්පනාවයි. මෙහිදී ජීවිතය යනු කුමක්දැයි මේ විචාරබුද්ධිමත් විචාරකයන් කල්පනා නොකිරීම තරමක අඩුපාඩුවක් සේ පෙනේ.
ජීවිතය දුක යයි වදාළ තන්හිදී බුදුන් අදහස් කරණ ලද්දේ ජීවිත භාරය රදා පවත්නා පඤ්චස්කන්ධයයි හෙවත් මේ ශරීරයයි.
ඉදුරන් පිණවීම, කම්සැප සෙවීම ගිහිජීවිතය ගත කරනුවනට බුදුසමය තහනම් කර නැත. එහිදී ද බුදුදහම විරුද්ධවන්නේ එය වරදවා සෙවීමට සහ එහි ගිජුවීමටය. ඇලීමෙන් තොරව සැප විදීම බුදු දහම උගන්වයි.
බුදුසමය සාධාරණ සමාජය සමග කිසිදු සම්බන්ධයක් නැති ජීවිතය ගැන කලකිරීමෙන් පීඩාවට පත්වූවන්ට සුදුසු හුදු වනවාසී ජීවිතයක් උගන්වන ධර්මයක් සේ හදුන්වා දීමට ස්ථවිරවාදීහු උත්සහ කළහ. එහෙත් බුදු දහමින් උකහාගත හැකි සාමාජික ධර්ම උකහාගෙන එමගින් බුදු දහම සමාජය පිණිස දෙශනා කළ ධර්ම මාර්ගයක් බව කියාදුන්නෝ මහායානිකයෝය. අදත් ලක්දිව ධර්මාසනය බෙහෙවින් පාවිච්චි වන්නේ ගිහි ජනතාව විදිය යුතු ගිහිසැප පිළිකුල් කරවා ජීවිතය දුක්ඛ පක්ෂයටම බරවූ බරක් මෙන් පෙන්වාදීමටය.
- බෝධිචර්යාවතාර සිංහල පරිවර්තනයට ලියූ රූපරේඛාවෙන්
සාසනරතන හිමියන් වික්‍රමසිංහගේ යති පරපුර හා ගිහියන්ට කරන බණ දෙසුම් විවේචනය සමග එකගවුවත් ගිහියන් උදෙසා බුදුන් දෙසූ මගක් නැත යන අදහසට එකග වුණේ නැහැ. සාසනරතන හිමියන්ගේ මේ අදහස සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ එන අදහස සමගත් සැසදෙනවා. ධම්මික උපාසක තැන බුදුන්ගෙන් විමසන්නේ “අප මෙන් අඹු දරුවන් හැර ගොස් පැවිදි විය නො හැකි ගිහි ජනයා ඔබගේ ධර්මය අනුගමනය කළ යුත්තේ කෙසේ ද? ” යනුවෙනි. එයට බුදුන්වහන්සේ දෙන පිළිතුර වන්නේ “පොහෝ දිනවල උපෝසථ ශීලයත්, සෙසු දිනවල පංච ශීලයත් පිළිපදින” ලෙස යි. වික්‍රමසිංහ කියන පරිදි ගිහියන්ට මගක් බුදුන් නො දෙසුවා නම් බුදුන්වහන්සේ ධම්මික උපාසකට පැවසිය යුතු ව පැවිදි ව බවුන් වැඩීම කළ නොහැකි අයට මගේ දහම පිළිපැදිය හැකි මගක් නැත යනුවෙනුයි. නමුත් අනෙක් අතට පැවසිය හැක්කේ වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ පන්සිල් අටසිල් ආදිය දඹදිව පොදු සමාජයේ පැවති විනයක් මිස බුදුන්වහන්සේ නිපදවූ විනය ක්‍රමයක් නො වන බව යි. ධම්මික උපාසකට මේ පිළිතුර දුන්නේ ද එවක සමාජයේ එය පොදු පිළිවෙතක් වූ නිසා මිස බුදුදහමේ අංගයක් වූ නිසා නො වේ යැයි ඒ අනුව කෙනෙකුට තර්ක කළ හැකි ය.
....බෞද්ධයන්ගේ ව්‍යවහාරික ජීවිතයෙහි සදොස් නිදොස් බව මැනෙන මිනුම් නොවේ අටසිල් පද හා පන්සිල් පද. අරි අටගි මග පැවිද්දන් උදෙසාය. පන්සිල් පද බුදුදන්වහන්සේ ගිහියන් උදෙසා නිපදවූ විනය ක්‍රමයක් නොවේ. එය ඉන්දියාවේ පැවති ලෝකායත වාදයට පටහැනි හැම උසස් ආගමක් විසින් ම අනුමත කළ සමාජ විනය ක්‍රමයකි.
පන්සිල් පද බිදීම බුද්ධ නීතිය බිදීමක් නොවේ.
- නවකතාංග සහ විරාගය
මෑතක සිට සමුද්‍ර වෙත්තසිංහ ඉරිදා ලංකාදීපයට සෝවාන් ඵලය ගැන ලියන ලිපි පෙළකත් සදහන් කර තිබුණේ සෝවාන් ඵලලාභියා අතින් පවා පන්සිල් පද බිදෙන්නනට හැකි බව ත්‍රිපිටකයේ සදහන් වී තිබෙන ඇතැම් පුවත්වලින් පෙනෙන බව යි.
වික්‍රමසිංහ බෞද්ධ මූලාශ්‍රයක උධෘතයක් ගෙනහැර දක්වමින් පෙන්වා දෙන්නේ එකල කුරු රටෙහි සිටි ගණිකා දුව ද ඇතුලු සැවොම පන්සිල් පිළිපැද්දේ යයි එහි සදහන් වන බව යි. එයින් පෙනෙන්නේ එය එකල සෑම අයෙකු ම පිළිපැදි විනයක් මිස බෞද්ධ විනයක් නො වන බව යැයි වික්‍රමසිංහ පවසනවා. සිරි සමන්තභද්‍ර හිමි ද තමන්වහන්සේ රහත් වූයේ යැයි පැවසූ මුල් දිනවල ඉරිදා ලක්බිමකට ලිපියක් ලියමින් කියා සිටියේ බුදුන්වහන්සේ පන්සිල් පද බිහි කළේ සමාජයට සාපේක්ෂ ව බව යි. උන්වහන්සේගේ වෙනත් අදහස් සහ රහත්බව ගැන ගැටලු අපටත් තිබුණත් මෙතැන දී නම් උන්වහන්සේ නිවැරදියි.
වික්‍රමසිංහ පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ ඛුද්ධක නිකායේ ජාතක පාලියෙහි එන ජාතක කථා වස්තු අනුව බෝධිසත්වයන් ද පන්සිල් බිදි සහ සාමාන්‍ය ගිහියකු මෙන් කෙලෙස් සහිත හැසිරීම් පිළිඹිබු කළ අවස්ථා තිබෙන බව යි. නිදසුන් ලෙස එක්තරා ජාතක කතාවක දී වංචාවෙන් දූ කෙළින අයකු ට පාඩමක් ලෙස බෝධිසත්වයන් පස ඇටවලට වස යොදන බවත් සිය වංචාව පිණිස පස ඇට දිවෙහි තබන ඔහු ඇද වැටෙන බවත් පසුව, අදහස වෙනස් කරගන්නා බෝධිසත්වයන් ඔහුට ප්‍රතිකාර දෙන බවත් වික්‍රමසිංහ පවසනවා. එසේ ම මහෞෂධ පණ්ඩිතයන් කේවට්ට බමුණාට මැණිකක් ගන්නට සලස්වන බව අගවා එය ගැනීමට නැඹුරු වන විට කෙස්වැටියෙන් අල්ලා මුහුණ බිම උලන සැටිත් ඔහු ගෙනහැර දක්වනවා. බෝධිසත්වයන්ට ද මෙලෙස හැසිරෙන්නට හැකි නම් ගිහියන්ට බැරි ඇයි කියා යි වික්‍රමසිංහ අසන්නේ.
වික්‍රමසිංහ ගෙනහැර දැක්වුවේ නැතත්, තක්ක ජාතකයත් මේ තර්කය ශක්තිමත් කරන නිදසුනක්. එහි දී නපුරුකම නිසා මෙහෙකරුවන් විසින් ගගට බිළිකළ කුල දැරියක්, තක්‍ර පණ්ඩිතයන් නම් තවුසකු ව සිටි බෝධිසත්ත්වයන් විසින් බේරාගෙන හදාවඩාගන්නවා. ඇය සමග ඇළීම නිසා සිය ධ්‍යානයෙන් පිරිහෙන ඔහු තවුස්බව හැර ජීවිකාවක නියැළෙමින් ඇය රක්ෂා කරමින් ඇය සමග පවුල් ජීවිතයක් ගත කරනවා. සොරමුලක් ඔවුන් සිටින ගමට පැමිණෙන විට ඇය ව බේරීමට ඇගෙන් වෙන් ව යන තවුසාව සොරුන් අතට පත්කරගත හැකි සැලැස්මක් සොර නයුවාට ඉදිරිපත් කරන ඇය එහි ක්‍රියාකාරී භූමිකාව ද ඉටුකරනවා. සොර නයුවා උදේ හවස අතේ පයේ හිරි ඇරගන්නට යොදාගන්නේ තවුසාව යි. ඒ හැමවිටම ඔහු කියන්නේ අහෝ කලගුණ නොදත් දුෂ්ඨිය කියා යි. ඒ අසන සොර නයුවා එසේ කීමට හේතුව විමසනවා. බෝධිසත්ත්වයන් කථාව පවසනවා. මෙතරම් කලගුණ කළ මොහුට මැය මෙසේ කරා නම් මට කුමක් නොකරනු ඇති දැයි සිතන සොර නයුවා, තවුසාව මරන්නට යන බව කියා තරුණියත් තවුසාත් දෙදෙනා ම සමග දුරකට ගොස් තවුසා ව මරන මුවාවෙන් තරුණිය කඩුවෙන් දෙපලු කර දමනවා. ඉන්පසු තවුසාට කීප දිනක් උවටැන් කර, ඔහුත් සමග ම එක් ව බවුන් වඩා අභිඥා උපදවාගෙන මරණින් මතු දෙදෙනා ම දෙව්ලොව උපදිනවා. පූර්වවාපර සන්ධි ගලපමින් බුදුන් පවසන්නේ ඒ සොර නයුවා ලෙස ඉපිද සිටියේ ආනන්ද තෙරුන් බවයි!
පන්සිල්වල බලවත් ම අකුශලය ප්‍රාණඝාතය යි. ආනන්ද තෙරුන් පෙර භවයක එය පවා කර තිබුණත් එම භවයේ ම අභිඥා උපදවා ගැනීමටවත්, දෙව්ලොව ඉපදීමටවත් එයින් බාධාවක් වී නැහැ.
ජාතක පුවත්හි එන මෙවැනි තැන් දක්වමින් පානදුරාවාදයේ දී දාවිත් ද සිල්වා පියතුමන් මතු කළ විවේචනයකට පිළිතුරු දෙමින් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ද මෙලෙස පවසනවා.
තවද මේ පාදිලි තැන බුදුරජාණන් වහන්සේට නින්දා කිරීම පිණිස පරන්තපජාතකයද, සුස්සන්දියජාතකයද, යන ජාතක දෙක ගෙණහැර දක්වා එහිදී බෝධිසත්වයෝ වැරදි කළ බව කීවා මේ ඇත්තන්ට ඇසෙන්නට ඇත. එයින් බුදුරජාණන් වහන්සේටවත් බුද්ධාගමටවත් කිසි අපහාසයක් නැත. මක්නිසාද කෙලෙස් සහිත පුද්ගලයෝ වැරදි කරණවා සත්තකය. කෙලෙස් සහිත පුද්ගලයෙක් වැරදි කළාට නිකෙලෙස් වූ බුදුන්ට එයින් කිසි අපහාසයක් නැත. “බෝධිසම්භාරය පුරණ බෝධිසත්වයන්වහන්සේලා වැරදි කරන්නේ නැත” කියා අපි කියන්නේ නැත. බුදුඋනායින් පසු උන්වහන්සේ කිසි වැරැද්දක් කළේ නැත. බුද්ධාගම්කාරයෝ වන අපි සරණ යන්නේ අදහන්නේ වදින්නේ පුදන්නේ බුදුන්ටය. බෝධිසත්වයන් සරණයාමක් අපේ නැත.
No comments:
Post a Comment