2021-12-30

කාලාම සූත්‍රය නිවැරදි ව තේරුම් ගනිමු

 බුදුදහමේ වැඩියෙන් ම වරදවා වටහා ගන්නා සූත්‍රය ඇතැම් විට කාලාම සූත්‍රය විය හැකි ය. බොහෝ දෙනා සිතා සිටින්නේ කාලාම සූත්‍රයෙන් උපදෙස් දී ඇත්තේ යමක් ගැන තමන්ගේ ම සිතැඟි පිළිපදින ලෙස බව ය. මේ නිසා ම කිසියම් ක්ෂේත්‍රයක විශේෂඥයකුගේ, විද්වතකුගේ, දාර්ශනිකයකුගේ අදහසක් කෙනකු උපුටා දක්වන විටත් එය නිෂ්ප්‍රභ කරන්නට සමහරුන් කියන්නේ කිසිවකු කියන දෙයක් නො පිළිගන්නා ලෙස කාලාම සූත්‍රයෙන් කියා ඇති බව යි. එමෙන් ම බුදුන්වහන්සේ ම පවසා ඇති වෙනත් ඇතැම් දහම් කරුණු ප්‍රතික්ෂේප කිරීමට පදනමක් ලෙස නූතනවාදී බෞද්ධයන් මෙන් ම සෙසු බෞද්ධයන් ලවා එසේ කරවීම පිණිස හේතුවාදීන් ද යොදාගන්නේ කාලාම සූත්‍රයෙන් උදුරාගත් වැකි ය.  

කාලාම සූත්‍රයෙන් උපදෙස් දී ඇත්තේ කිසියම් දහමක් පිළිගැනීමේ දී එය කුසල් ද අකුසල් ද? පිළිපැදීමෙන් තමාට වන්නේ වැඩක් ද? අවැඩක් ද? යනු විමසන ලෙස යි. ඒ මිස තම සිතැඟි අනුව කටයුතු කළ යුතු ය කියා හෝ කිසිවකු කියන දේ නො පිළිගෙන තමාට හැඟෙන දේ අනුව ම කටයුතු කරන ලෙස නම් නො වේ. ඒ බව කාලාම සූත්‍රයේ පැහැදිලි ව පවසා තිබේ. බුදුන්වහන්සේ කාලාමයන්ට දෙන පිළිතුරේ අවසන් වැකිය දෙස අවධානය යොමු කරන්නේ නම් මේ බව ඉතා පැහැදිලි ය. ඒ වැකිය මේ පරිදි ය.

මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව.

නමුත් සමහරු මේ මුලු වැකියෙන් ම දකින්නේ තුමූ ම දැනගන්නාහු නම් යන වචන හතර පමණි! කාලාම සූත්‍රය අනුව යමක් පිළිගත යුත්තේ තමා ම එය දුටුවොත් පමණක් යැයි පවසන්නේ එසේ මේ වැකියෙන් ම වචන හතරක් පමණක් උගුල්ලාගත් අය යි. තමාගේ සිත් ගත් පමණින් ද යමක් නොපිළිගත යුතු බව නම් කාලාම සූත්‍රයේ පැහැදිලි ව පවසා ඇත.

කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසි මැය, විචිකිත්සා කරන්නට නිසි මැය. සැක කටයුතු තැන ම තොපට විචිකිත්සාව උපන. කලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නො ගණුව, පරම්පරාකථායෙනුදු නොගණුව, තෙල මෙසේ වී ලැ යි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ යි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැයි) භව්‍යරූපතායෙනුදු නොගණුව, මේ මහණ අපට ගුරුහයි ද නොගණුව, කාලාමයෙනි, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව.

මෙහි 'අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසදෙතැයි ද නොගණුව' යන්නේ අදහස කුමක් ද? තමාගේ සිත් ගත් මතය හා සැසඳෙන නිසා පිළිගන්නේ යැයි කියා පිළිගැනීමෙන් ද වැළකිය යුතු බව නො වේ ද? එසේ නම් කාලාම සූත්‍රයෙන් තමාගේ සිතට එන දෙයක් පිළිගන්න යැයි කියා ඇතැ යි පවසන්නේ කෙසේ ද?

මෙහි 'තර්කග්‍රාහයෙනුදු නොගණුව' යනුවෙන් පැවසෙන්නේ කිසියම් දෙයක් තර්කයෙන් ඔප්පු කරගනිමින් පිළිගැනීම ද නො කළ යුතු බව යි. මෙහි 'නයග්‍රාහයෙනුදු නොගණුව' යන්නෙන් කියැවෙන්නේ කිසියම් න්‍යායකට යට වී ද යමක් නොපිළිගත යුතු බව යි. කාලාම සූත්‍රය යොදාගනිමින් සිය ද්‍රව්‍යවාදය ඔප්පු කිරීමට කාලෝ ෆොන්සේකා වැනි අය කළ තැත මේ අනුව කාලාම සූත්‍රයට ම පටහැනි වෙයි.

කාලාම සූත්‍රයෙන් උපදෙස් දී ඇත්තේ කිසියම් දහමක් යහපත පිණිස හේතු වේ ද අයහපත පිණිස හේතු වේ ද යනු විමසීමට නම්, එයින් අදහස් වන්නේ කාලාම සූත්‍රය අදාළ වන්නේ ආගම් පිළිගැනීම ආශ්‍රිත කාරණාවලට පමණක් බව යි. මන්ද යත් විද්‍යා හෝ වෙනත් න්‍යායක්/රීතියක්, ඉතිහාසඥ මතයක් වැනි දෙයක් එය සමාදන් වීමෙන් අවැඩක් වන්නේ ද, නැති ද කියා විමසිය නො හැකි බැවිනි. ඒවායේ විමසිය හැක්කේ නිරවද්‍යතාවය පමණක් හෙයිනි. මේ නිසා කිසියම් විද්වත් මතයක්, පුද්ගල අදහසක් උපුටා දැක්වූ පමණින්, කිසිවකුට වහල් නො වන ලෙස කාලාම සූත්‍රයේ කියා ඇතැ යි කියමින් එය නිෂ්ප්‍රභ කිරීමට තැත් කිරීම කාලාම සූත්‍රයේ ඇත්තේ කුමක් ද යන්න ගැන තමන්ගේ නොදන්නාකම පෙන්වීමකි.

එමෙන් ම කාලාම සූත්‍රයේ එන පරම්පරාවේ, සම්ප්‍රදායේ ආ පමණින්, ගුරු වූ පමණින් නො පිළිගන්නා ලෙස ඇති අවවාදය බුදුදහමේ ධර්ම කරුණු ප්‍රතික්ෂේප කිරීමට යොදාගැනීම ද එය දරුණු ලෙස අවභාවිතා කිරීමකි. මක්නිසා යත් කාලාමයන් බුදුදහම සරණ ගිය පිරිසක් නො වූ හෙයින් සහ එ හෙයින් බුදුන්වහන්සේ ඔවුන්ට දුන් පිළිතුර ද බෞද්ධාගමිකයන්ට අදාළ නො වන බැවිනි. කාලාමයන් බෞද්ධයන් නො වූ බවත් බුදුන්වහන්සේ ඔවුන්ට දුන් පිළිතුර ද බෞද්ධයන්ට අදාල නො වන බවත් උන්වහන්සේගෙන් ඔවුන් ඇසූ පැනයෙන් පැහැදිලි ය. කාලාමයන් අසන පැනය වන්නේ විවිධ ආගමික නායකයන් සිය දහම ම නිවැරදි දහම බව පවසන විට කවර දහමක් පිළිගන්නේ ද යන්න ය.

වහන්ස, කේසපුත්තයට එන ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු සවකීය ලබ්ධිය ම කියති, පවසති. මෙරමාගේ ලබ්ධිය ඝටා බෙණෙති. හෙළා දකිති, බැහැර කෙරෙත්. වහන්ස, අන්‍යවූ ද ඇතැම් මහණ බමුණු කෙනෙක් කේසපුත්තයට එති. ඔහු ද ස්වකීය ලබධිය ම කියති, පවසති, මෙරමාගේ ලබ්ධිය ඝටා බෙණෙති. හෙළා දකිති, බැහැර කෙරෙත්. වහන්ස, අපට “මේ භවත් මහණ බමුණන් අතුරෙන් කවරෙක් නම්, සත්‍ය කියා ද! කවරෙක් මුසවා බෙණේදැ යි සැක ඇති වේ ම ය, විචිකිත්සා ඇතිවේ ම ය” යි.

එනම් කවර ආගම නිවැරදි ද කියා දැනගන්නේ කෙසේ ද යන්න ය. ඒ අනුව කාලාම සූත්‍රයෙන් යමක් පිළිගැනීම හා නො පිළිගැනීම සම්බන්ධයෙන් ලබාදෙන අවවාද අදාළ වන්නේ ද එවැනි තත්ත්වයක සිටින, එනම් ආගමක් තෝරාගැනීමට නො හැකි ව විපිළිසර ව සිටින්නකුට පමණි. බෞද්ධයෝ වනාහී දහමක් තෝරාගෙන ඒ ගැන තිර විශ්වාසය තැබූවෝ වෙති. එ නිසා කාලාම සූත්‍රයෙන් ලබාදෙන නිර්ණායක බෞද්ධයන් බුදුදහමේ කරුණු තෝරා බේරා ගැනීමට යොදා ගත යුතු නො වේ. වෙනත් ලෙසකින් කියනවා නම් කාලාම සූත්‍රයෙන් ලැබෙන චින්තන නිදහස බුද්ධ ශ්‍රාවකයන්ට අදාළ නො වේ. නමුත් බුද්ධ ශ්‍රාවකයන්ට චින්තන නිදහසක් නැති බවක් නම් මින් කිසිසේත් අදහස් නො වේ. ඔවුන්ට ද වෙනත් ආකාරයක චින්තන නිදහසක් තිබේ.

මේ ගැන තවමත් සැකයක් පවතී නම් බුදුවහන්සේ කාලාම සූත්‍රයේ නිර්ණායකය භාවිතා කරන අයුරු පෙන්වමින් එහි දක්වන නිදසුන් දෙස බැලීමෙන් ඒ දුරුකරගත හැකි ය. ඒ නිදසුන පහත පරිදි ය.

කාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? මෝහය පුරුෂයාගේ සිතෙහි උපදනේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේ වේද? 

වහන්ස, අහිත පිණිස උපදනේය.

කාලාමයෙනි, මූඪ වූ මේ පුරුෂපුද්ගල මෝහයෙන් මඩනා ලදුයේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේ නම්, එබඳු වූ පණිවාත් කෙරේ. අයිනාදනුත් ගණී, පරඹුවන් කරාත් යේ. මුසවාත් බෙණේ. මෙරමාත් එසෙයට සමාදන් කරවයි.

එසේය, වහන්ස.

කාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? මේ දහම්හු කුසල් හෝ වෙත් ද? අකුසල් හෝ වෙත් ද?

වහන්ස, අකුසල්හ.

සාවද්‍ය හෝ වෙත් ද? අනවද්‍ය හෝ වෙත් ද?

වහන්ස, සාවද්‍යයහ.

නුවණැත්තන් විසින් ගරහන ලද්දාහු ද? නොහොත් නොගරහන ලද්දාහු ද?

වහන්ස, නුවණැත්තන් විසින් ගරහන ලද්දාහ.

පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවතිත් ද? නොහොත් නො පවතිත් ද? මෙහිලා තොපට කෙසේ අදහස් වේ ද?

වහන්ස, ‘පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි මෙහිලා අපට මෙසේ අදහස් වේ.

තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නොගණුව, පරම්පරා කථායෙනුදු නොගණුව, 'තෙල මෙසේ වී ලැ’යි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, ‘අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ’යි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැ’යි) භව්‍යරූපතායෙනුදු නොගණුව, ‘මේ මහණ අපට ගුරුහ’යි ද නොගණුව, කාලාමයෙනි, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි යම් කලෙක තෙපි තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව’යි මෙසේ යමක් කියන ලද නම්, තෙල මේ සඳහා කියන ලදී.

මෙහි මෙසේ යමක් කියන ලද නම්, තෙල මේ සඳහා කියන ලදී යනුවෙන් පැවසීමෙන් උන්වහන්සේ අදහස් කරන්නට ඇත්තේ තමන්වහන්සේ කාලාම සූතයෙන් අපේක්ෂිත භාවිතය මෙය ය යන අදහස නො වේ නම් වෙන කුමක් ද? එසේ නම් බුදුන් විසින් අනුදත් භාවිතයට පටහැනි භාවිතයන් සදහා එය යෙදවීම බුද්ධ ශ්‍රාවකයන්ට නුසුදුසු නො වන්නේ ද?

. ලි.

මේ ගැන අපගේ අදහස් පිළිගන්නට අකමැති අයෙක් වෙත් නම් ඔහුට  Lost in Quotation  මැයෙන් තාණිස්සරෝ හිමියන් මේ ගැන ම ලියූ ලිපියත්, A Look at the Kalama Sutta මැයෙන් භික්ඛුබෝධි හිමියන් ලියූ ලිපියත් කියවිය හැකි ය.



2021-12-14

මුඛපරම්පරාවෙන් පැවත ඒම නිසා ත්‍රිපිටකය වෙනස් වුණා ද?

මුඛපරම්පරාගතව පැමිණි බැවින් ත්‍රිපිටකය බරපතළ ලෙස වෙනස් නොවුණු බව භික්ඛු සුජාතෝ සහ භික්ඛු බ්‍රහ්මාලි Authenticity of Tipitaka මැයෙන් කළ පර්යේෂණයේ ඓතිහාසික සහ භාෂාත්මක සාධක ඇසුරින් පෙන්වා දෙති. එබැවින් එය කියවීමට නිර්දේශ කරමු. මෙය ලුහුඬු කරුණු දැක්වීමක් පමණකි. මේ ලිපියේ ඉංග්‍රීසි අනුවාදයක් මෙතැන ඇත.  

ග්‍රන්ථාරූඪ කිරීමට පෙර වසර 500කට ආසන්න කාලයක් මුඛපරම්පරාගත ව පැවත ඒම නිසා බුදුදහම විකෘති වන්නට ඇති බව සමහරු පවසති. වෙසසෙසින් ම මෙතරම් විශාල ග්‍රන්ථයක් (ත්‍රිපිටකය වෙලුම් ගණනකින් යුතු පොත් රාක්කයක් ම පිරවිය හැකි පොතකි.) කටපාඩමින් රැගෙන ආවේ ය යන්න විශ්වාස කළ හැකි ද යන පැනය ඔහු නගති. මුඛපරම්පරාගත සම්ප්‍රදායයන්ගෙන් පැවත විත් තිබෙන ත්‍රිපිටකය, වේද ග්‍රන්ථ වැනි කෘති රචනා වී ඇත්තේ මතකයේ තබාගැනීම පහසු වන ලෙස විවිධ රචනා උපක්‍රම යොදාගනිමිනි.

ලේඛනයෙන් තොර ව සිය අරමුණු ඉටුකරගැනීමට මුඛ පරම්පරාගත සංස්කෘතීන් යොදාගත් උපක්‍රම රැසකි. නිදසුන් ලෙස මතක උපක්‍රමවලින් පිරුණු බහුල ලෙස රිද්මයානුකුල භාෂාවකින් ඒවා රචනා වී තිබුණි. ඒ මතකය හා සිහිකැඳවීම පහසු වනු පිණිස ය. අනුප්‍රාසය, පුනරුක්තිය, ප්‍රකට වැකි භාවිතය එලෙස යොදාගත් මතක උපක්‍රමවලින් කීපයකි. ඊට අමතර ව බොහෝ ශ්ලෝක/පද්‍ය එළිසමයක් (නිදසුන්: ග්‍රීක හෝ ලතින් ප්‍රොසොඩි හෝ හින්දු හා බෞද්ධ ග්‍රන්ථවල එන ඡන්දස්) යොදාගනිමින් රචනා වී තිබුණි. කෘතියේ පැදි ලියැවී තිබුණේ කෙටි හා දිගු මාත්‍රා කිසියම් රීතියක් අනුව පුනර්වර්තනය වන අයුරින් බැවින් කිසියම් අමතක වීමක් හෝ නොදැනුවත් ව වෙනස් වීමක් සිදුවුවහොත් පැදියේ රටාව විශ්ලේෂණය පමණකින් ම එය පහසුවෙන් හදුනා ගත හැකි විය.
- Oral Tradition (Wikipedia) (දක්වා තිබූ මුල් මූලාශ්‍ර කියවා සත්‍යතාවය තහවුරු කරගන්නා ලදී.)

අද දවසේ අපට පොත්පත් මතකයෙන් පවත්වා ගෙන යාමක් ගැන සිතීමටවත් නොහැකි වුවත්, පුරාණ භාරතයේ ශක්තිමත් මුඛපරම්පරාගත සම්ප්‍රදායයක් පැවතුණි. පොත්පත් මතකයේ තබා ගැනීම එකල මිනිසුන්ට එතරම් අපහසු කාරියක් නොවී ය. ඔවුන්ට සිය දැනුම රැකගැනීමට සහ සංරක්ෂණය කරගැනීමට තිබූ එකම මග වූයේ ඒවා මතකයේ තබා ගැනීම වූ නිසාත් නීතිය වැනි අත්‍යවශ්‍ය ලෞකික ක්ෂේත්‍රවල දැනුම පවා මුඛපරම්පරාගත සම්ප්‍රදාය මත රදා පැවතුණු බැවිනුත් ඔවුහු ඒ කෙරෙහි බෙහෙවින් සැලකිලිමත් වූහ. මෙලෙස පරම්පරා ගණනක් පුරුදු පුහුණු කිරීමෙන් ඉතා දීර්ඝ යමක් මතක තබා ගැනීමේ සුවිශේෂ හැකියාවක් අත් කරගැනීමට ඔහු සමත් වූවෝ ය

අද මිනිසුන්ට එවැනි හැකියාවක් නැත්තේ ලේඛනය ප්‍රමුඛත්වයට පත්වත් ම මතකයේ තබාගැනීමේ සම්ප්‍රදායෙන් ඔවුන් කෙමෙන් ඈත් වූ බැවිනි. ත්‍රිපිටකයෙන් සෑහෙන තරම් කොටසක් මතකයේ තබා ගත හැකි භික්ෂූහු අදට ද මියන්මාරයේ වෙසෙති. එරට රජය වාර්ෂික ව සංවිධානය කරන තරගාවලියක දී එලෙස කටපාඩමේ තබාගත් ප්‍රමාණය අනුව පූර්ණ, අර්ධ ත්‍රිපිටකධාරීන් ලෙස නම් කළ භික්ෂූන්ට සහතිකපත් ද පිරිනමනු ලැබෙති.

එමෙන් ම සමස්ත ත්‍රිපිටකය ම එක් භික්ෂුවක් විසින් මතකයේ තබා ගත්තේ නැත. එක් එක් භික්ෂු පිරිස මතකයේ තබා ගත්තේ ත්‍රිපිටකයේ නිකායන් 5න් 2ක් පමණි. එසේ ම ඔවුන් සිය මුලු දිවිය ම පාහේ වැය කළේ එය වණපොත් කරගැනීම සදහා ය. මෙලෙස කිසියම් එක් කොටසක් වණපොත් කළේ එක් භික්ෂුවක් හෝ දෙනමක් හෝ විසින් නො වේ. එක ම කොටස කට පාඩමින් ගෙන ඒමට භික්ෂූහු 500ක පමණ කණ්ඩායම බැගින් සිටියහ. එසේ ම මේ වසර 500කට ආසන්න කාලය තුළ ත්‍රිපිටකය දෙවරක් ම සංගායනා කර පරීක්ෂාවට ද බඳුන් කෙරුණි. ඒ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කින් සහ එයිනුත් වසර 136කින් පසු තවත් වරක් වශයෙනි. (මහාවංශය සදහන් කරන පරිදි බුද්ධ පරිනිර්වාණයෙන් වසර 136කට පසු කළ දෙවන ධර්ම සංගායනාවට සහභාගී වූ රහතුන් අතර ද බුදුන් ජීවමාන ව සිටි අවධිෙය් ම සිටි, බුදුන්ගෙන් ම ධර්මය ඇසූ භික්ෂූන් කිහිපනමක් ම සිටියහ. ඒ වනවිට උන්වහන්සේගේ වයස් 120/130 වූ බැව් කියැවේ.) මේ සංගායනාවල දී යමක් බුද්ධ ධර්මය ලෙස පිළිගත්තේ එය කටපාඩමින් දැන සිටි සමස්ත භික්ෂු පිරිස ම මතකයේ රැගෙන ආ දහම එකසේ සැසඳේ නම් පමණි. විවිධ පෙදෙස්වලින් පැමිණි භික්ෂූන් 500කට ආසන්න පිරිසකට එක ම කරුණක් එක ම ආකාරයෙන් වැරදියට මතක හිටීමට හෝ විකෘති කරගැනීමට හැකියාවක් නැති බව යථාර්ථවාදී ව සිතන ඕනෑම අයකු පිළිගනු ඇත.

ත්‍රිපිටකය හෝ පාලි භාෂාව ගැන මෙලෝ දැනීමක් නැති අය විෂය ගැන කිසිම අධ්‍යනයකින් තොර ව මේ නිගමනයට බැස තිබුණත් පාලි භාෂාව සහ ත්‍රිපිටකය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඇති බටහිර රටවල ඉතිහාසඥයන් හා ක්ෂේත්‍රය පිළිබද විශේෂඥයන් නම් පවසන්නේ ත්‍රිපිටකය මුඛපරම්පරාවෙන් පැවත ඒමේ දී නොවෙනස් ව ආ බව කියන්නට තරම් සාධක ඇති බව යි. රීස් ඩේවිඩ්ස්, රිචර්ඩ් ගොම්බ්‍රිජ්, ජේ. ඩබ්ලිවු. ඩි ජොන්ග්, ලැමොට්, නොබ්ල් රෝස් රීට්, . කේ. වෝඩර්, මොරිස් වින්ටර්නිට්ස්, ඇලෙක්සැන්ඩර් වයින් වැනි ලෝකයේ සිටි සහ සිටින ඉන්දුවේදය හා පාලි භාෂාව සම්බන්ධයෙන් හැදෑරීම් සහ සොයාගැනීම් කළ බටහිර බුද්ධිමතුන් අති බහුතරය සිටින්නේ මේ මතයේ ය.

සූත්‍රයන්හි මූලික අන්තර්ගතයේ හරය, නිකාය සතර සහ විනය නීතිවල මූලික හරය … පෙන්වන නව්‍යභාවය, බුද්ධිමත්බව, අසිරිමත්බව සහ වෙසෙසින් ම, එය පෙන්වන අනුසන්ධානය අනුව එය පුද්ගලයන් සමූහයක් විසින් කළ ගෙතීමක් බව සිතීමට නොහැකි ය. එය කිසියම් එක් විදග්ධයකුගේ (එනම් බුදුන්ගේ) අදහස් ය.

- රිචර්ඩ් ගොම්බ්‍රිජ් (ඔක්ස්ෆර්ඩ් සරසවියේ සංස්කෘත භාෂාව පිළිබද මහාචාර්ය)

 

එබැවින්, මම මුල් බෞද්ධ සාහිත්‍යය තුළ හමුවන අභ්‍යයන්තර සාක්ෂි විසින් එහි ඓතිහාසික නිරවද්‍යතාවය තහවුරු කෙරෙන බවට ඔහු දැක්වූ අදහස සම්බන්ධයෙන් රීස් ඩේවිඩ්ස් සමග එකග වන අතර සෙනාර්ට්, කර්න් සහ ෂොපන් වැනි සංශයවාදීන්ට එරෙහි වෙමි.
- ඇලෙක්සැන්ඩර් වයින්

ඔවුන් මේ නිගමනවලට පැමිණ ඇත්තේ පාලි ත්‍රිපිටකයේ භාෂා ලක්ෂණ ආදිය අධ්‍යයනය කිරීමෙන් බවත් අපේ ඇතැම් අය මෙන් සාධක කිසිවක් නැති ව නොවන බවත් මෙහි දී අවධාරණය කිරීම වැදගත් ය.

ත්‍රිපිටකයේ නිරවද්‍යතාවය ගැන Authenticity of Tipitaka මැයෙන් අධ්‍යයනයක් කරන භික්ඛු සුජාතෝ සහ භික්ඛු බ්‍රහ්මාලි, ත්‍රිපිටකය මුඛපරම්පරාගත ව ඒමේ දී බරපතල ලෙස වෙනස් නොවුණු බව දක්වන තවත් සාධක රැසක් පෙන්වා දෙති. (වෙනස්කමක් වී ඇති නම් ඒ පසුබිම් කථා පුවත තුළ මිස බුදු මුවට නංවන දේශනා තුළ නොවන බව ඔවුහු පෙන්වා දෙති.)

එවැනි එක් ප්‍රධාන සාක්ෂියක් වන්නේ ථෙරවාද හා මහායාන ශාඛාවන්ට පොදු සූත්‍ර හා සමාන ධර්ම අන්තර්ගත බොහොමයක් ම තිබෙන බව ඔවුන්ගේ ත්‍රිපිටක අනුවාද අතර කෙරුණු සංසන්දනාත්මක අධ්‍යයනවලින් සොයාගෙන තිබීම ය. මෙම ධර්ම ශාඛා අතර තිබුණු මතභේද නිසා ම ඔවුන් අතර ධර්ම කරුණු සම්බන්ධයෙන් සබඳතා සිදු නොවුණි. එසේ නම් ඔවුන් සතු ව පවතින ධර්ම අන්තර්ගතවල ඇති මේ පොදුබව, මුල් බුද්ධ ධර්මයෙන් ම ඔවුන්ට දායාද වූ සූත්‍ර මුඛපරම්පරාගත ව පවත්වා ගෙන ඒමේ ප්‍රතිඵල විය යුතු ය. ඒ හැර මෙය සිදු විය හැකි වෙන විධියක් නොමැත. මෙසේ දිගුකලක් එම කරුණු එම කණ්ඩායම් දෙක තුළ නොවෙනස් ව පැවත විත් තිබීමෙන් පෙනී යන්නේ අද දවසේ කෙසේ වුවත් එකල ශක්තිමත් මුඛපරම්පරාගත සම්ප්‍රදායයක් තිබූ බව යි.

එමෙන් ම සුජාතෝ හිමියන් සහ බ්‍රහ්මාලි හිමියන් පෙන්වා දෙන අන්දමට, ත්‍රිපිටකය මුඛපරම්රාගත ව ඒමේ දී වෙනස් නොවුණු බව පෙන්වා දීමට එයට ම ආවේණික සාහිත්‍යමය ලක්ෂණ (ව්‍යාකරණ ලක්ෂණ, වාක්කෝෂය, තානය, ශෛලිය), තනි නිර්මාපකයකු විසින් නිර්මිත කෘතියක් සතු වන අනන්‍ය ස්වරය, අසංගතතාවලින් තොර වීම වැනි තවත් බොහෝ අභ්‍යන්තර සාක්ෂි ඇත.

එමෙන් ම සූත්‍ර දේශනා තුළ හමුවන සමාජ-ආර්ථික තොරතුරු, ඓතිහාසික තොරතුරු සහ භූගෝලීය තොරතුරු බුද්ධ කාලීන භාරතය පිළිබද දැනට හදුනාගෙන ඇති චිත්‍රය සමග ද අත්‍යන්තයෙන් ගැළපෙන බැවින් එය බුදුන් විසූ සමයේ ම සම්පාදනය වන්නට ඇති බව සිතිය හැකි ය. බුදුන් සමයේ සම්පාදනය වුණු බුද්ධ ධර්මය පිළිබද කෘතියක් බුදුන් විසින් හැර වෙන යමෙකු විසින් සම්පාදනය වූහ යි සිතීමට තර්කානුකූල හේතුවක් නොමැත. 

ඉගැන්වීම්වල ඇති සබුද්ධිකත්වය, විශිෂ්ටත්වය, ගැඹුරු බව සහ කරුණු පහදා ඇති දක්ෂතාවය අනුව එම දේශනා කිසියම් විශිෂ්ට මාර්ගඵලලාභී අයකු, එනම් වෙන කිසිවකු නොව බුදුවරයකු විසින් ම දේශිත බව සිතීමට අප ව යොමු කරවයි.

ප්‍රධාන ම සාක්ෂියක් වන්නේ ත්‍රිපිටකය රචනා වී ඇති පාලි භාෂා ශෛලිය හා එහි භාවිත යෙදුම්, එය රචනා වුණු යුගයේ හා දේශයේ (වලගම්බා රාජ්‍ය සමයට අයත් ශ්‍රී ලංකාවේ) පාලි භාෂා රටාව නොව ඊට සියවස් ගණනකට පෙර බුද්ධ කාලීන භාරතයේ පැවති පාලි භාෂා ශෛලිය ම වීම ය. මෙසේ තමන්ට බොහෝ පෙර යුගයක දුර බැහැර ප්‍රදේශයක පැවති යෙදුම් හා වැකි රටා එම භික්ෂූන් දැනගත්තේ කෙසේද යන්න පුදුමසහගත ය. මෙයින් පෙනී යන්නේ ත්‍රිපිටකය කොයි කාලයේ සම්පාදනය වුවත් එය පුස්කොල පොත්වල ලියැවෙන යුගය තෙක් ම මුඛපරම්පරාවෙන් පැමිණ ඇත්තේ වෙනස් වීමකින් තොර ව බව ය.

කිසියම් යුගයක් ආශ්‍රය කරගනිමින් ඊට පසුකාලීන යුගයක දී ලියැවී ඇති සෑම ග්‍රන්ථයක ම පාහේ කෘතියට පසුබිම් වූ යුගයේ තොරතුරු දැක්වීමේ දී කැපී පෙනෙන වැරදි සිදු වී තිබේ. එයට හේතුව කිසියම් පූර්ව යුගයක තොරතුරු ඊට පසුකාලීන යුගයක අයකු විසින් ලියන විට නිසැක ව ම ඓතිහාසික වැරදි සිදුවීම යි. නමුත් ත්‍රිපිටකය තුළ මෙවන් තැන් හමු නොවන බව, එහි දැක්වෙන සමාජ, ආර්ථික, භුගෝලීය හා දේශපාලනික තොරතුරු විශ්ලේෂණයේ දී පෙනී යයි. ලෝකයේ විවිධ ප්‍රදේශවල භූගෝලීය තොරතුරු දැනගැනීමට තරම් තාක්ෂණයත්, සමාජ ආර්ථික තොරතුරු හුවමාරුවට තරම් සන්නිවේදනයත් එකල දියුණු වී නොතිබුණු බැවින් බුද්ධ කාලීන භාරතයේ ඓතිහාසික තොරතුරු අද තරම් හොදින් දැන ගන්නට ක්‍රමවේදයක් එදා වලගම්බා රාජ්‍ය සමයට හෝ ඊට පෙර යුගවලට අයත් බෞද්ධ භික්ෂූන්ට නො තිබුණි. එසේ නම් මේ කරුණු මෙතරම් නිවැරදි ව සදහන් වන්නේ කෙසේ ද? පැහැදිලිව ම එයට ඇති එක ම පිළිතුර එම සූත්‍ර බුද්ධ කාලයේ ම සම්පාදනය වුණු බවත් මුඛපරම්පරාගත ව ඒමේ දී කිසි ම වෙනසකට ලක් නොවුණු බවත් ය.

ත්‍රිපිටකය මතකයෙන් ගෙන ආ භික්ෂූන් වෙතින් අමතක වීම් සිදුවීම නිසා ධර්මයේ කොටස් මග හැරෙන්නට ඇති බවට වන මේ තර්කය දෙස තවදුරටත් ගැඹුරෙන් සලකා බැලුවොත්, මෙය යම්හෙයකින් මෙසේ සිදුවිණි නම් එහි ප්‍රතිඵලය විය හැක්කේ අලුතින් කොටස් එක්වීම නොව සූත්‍ර දේශනාව තුළ ආඛ්‍යාණය බිදුණු තැන් හමු වීම ය. මෙය ඉතා ම පහසුවෙන් හදුනා ගත හැකි දෙයකි. නමුත් මේ තාක් ත්‍රිපිටකය ගැන අධ්‍යයනය කළ කිසිම බටහිර විද්වතෙක් එවැනි තැන් හදුනා ගෙන නොමැත. භික්ෂූන් ත්‍රිපිටකය මතකයේ තබාගැනීමට අසමත් වීමේ ලකුණු හමු වී නොමැත. එවැනි සලකුණු නැති හෙයින් (ඔබට එවැනි තැනක් හමු වී ඇත්නම් පෙන්වා දිය හැකි ය.) එවැන්නක් සිදු නොවුණු බව නිගමනය කිරීම සාධාරණ ය. ත්‍රිපිටකය වැනි පුලුල් සහ විශාල එකිනෙක සබැඳෙන සංකල්ප විශාල වශයෙන් හමුවන, ගැඹුරු දාර්ශනික කෘතියක් කරුණුවල නොගැළපීම් හෝ භාෂා ශෛලියේ වෙනස්කම් ඇති නොවන පරිදි විවිධ පුද්ගලයන් විසින් සම්පාදනය කිරීම කෙතරම් සූක්ෂම බුද්ධිමත් පිරිසකට වුව ප්‍රායෝගික ව සිදු කළ හැකි දෙයක් නොවේ.

පසුකාලීන ව යම් යම් තොරතුරු සූත්‍රයන්ට එක් කර තිබීම ගැන සලකා බැලුවහොත්, එවැන්නක සලකුණු ඉතා පහසුවෙන් හදුනා ගත හැකි බව පැවසිය යුතු ය. මන්ද යත් බුදුන්වහන්සේ විසින් භාවිත ශෛලිය සහ ස්වරය එම අනන්‍යතාවය සහ ගාම්භීරත්වය එලෙස ම පවත්වා ගනිමින් අනුකරණය කිරීමට වෙනත් අයෙකුට නොහැකි හෙයිනි. පාලි හෝ වෙනයම් හෝ භාෂාවක් මැනවින් දත්, විද්වතකුට විවිධ යුගවල එකී භාෂාවේ වෙනස්කම් අනුව සලකා යම් කෘතියක යම් කොටසක් පසුකාලීන ව එක්වූවක් ද නැද්ද යන්න නිගමනය කිරීම ඉතාමත් පහසු කාරියකි. අනෙක් අතට කිසියම් කරුණක් ධර්මයට අලුතින් එක්කර ඇත් නම් එය නිසැක ව ම බුදුදහමේ සෙසු ඉගැන්වීම් සමග පරස්පරතා පෙන්වනු ඇත. මන්ද යත් බුදුදහමේ ඉගැන්වීම් වෙන් කළ නොහැකි පරිදි එකිනෙක හා බැඳී ඇති බැවිනි. මේ අනුව කිසියම් සූත්‍ර කොටසක් පසුකාලීන එක්කිරීමක් ලෙස බැහැර කළහොත් එම ඉගැන්වීම හා බැඳුණු සෙසු ඉගැන්වීම් ද බැහැර කිරීමට සිදුවනු ඇත. නමුත් නූතනවාදී බැතිමතුන් සැකකටයුතු යැයි බැහැර කරන බොහොමයක් ඉගැන්වීම් බුදුදහමේ අනෙකුත් ඉගැන්වීම් සමග මනා ව සැසඳෙන්නේ වෙයි. එමෙන් ම කිසියම් ඉගැන්වීමක් සූත්‍ර විශාල සංඛ්‍යාවක හමුවන්නේ නම් සහ එයට යොමු ද සෙසු සූත්‍ර රැසක ම හමුවන්නේ නම් එවැනි ඉගැන්වීමක් පසුකාලීන එකතුකිරීමක් විය නො හැකි ය. මන්ද යත් එය එසේ බැහැර කළහොත් ඒ හා බැඳුණු සෙසු ඉගැන්වීම් සහ යොමු සියල්ල ද එලෙස බැහැර කිරීමට සිදුවන හෙයින් සහ විශාල ‍සංකල්ප ප්‍රමාණයක් ඒවායේ අන්තර්බැඳීම සහ දාර්ශනික සබඳතාවය රැකෙන පරිදි එලෙස පසුකාලීන ව වෙනස් කළ නො හැකි වන බැවිනි.

මෙවැනි තර්ක ගෙන එන බෞද්ධයන් එසේ කරන්නේ සැබවින් ම පාලි ත්‍රිපිටකය අධ්‍යනය කර භාෂා ශෛලිය සෙසු ඉගැන්වීම් සමග ගැලපෙන බව ආදී කරුණු අනුව ගැටලු සහගත යැයි පෙනී යන කරුණක් හමු වූ විට නො ව තමන්ගේ පෞද්ගලික අදහස්වලට පටහැනි අදහස් ත්‍රිපිටකයේ මුණගැසුණු විට ය. තමාගේ එල්බගත් අදහසින් ගැලවෙනු නොහුණ විට බුදුදහමින් ද බැහැර නොවෙමින් සිය පෞද්ගලික මතය ද දරනු පිණිස ය.

මුඛ පරම්පරාගත ඒමේ දී ත්‍රිපිටකය කවර ලෙසකින්වත් වෙනස් නොවිණි යැයි මම නො කියමි. නමුදු අපි මේ තර්කය කිසියම් ස්වයං වාරණයකින් තොර ව භාවිත කරමු නම් සත්‍ය ඉගැන්වීම් පවා පසුව එක් කළ කරුණු යැයි අප අතින් බැහැර විය හැකි ය. එම නිසා අපි එලෙස සැක කළ යුතු අවස්ථාවන්ට යම් සීමාවක් පනවා ගත යුත්තෙමු. එනම් අප මෙලෙස ත්‍රිපිටකයේ එන කිසියම් කරුණක් පසුකාලීන එකතු කිරීමක් දැයි සැක කළ යුත්තේ;

  • එම කරුණු ගැන ම ත්‍රිපිටකයේ එන සෙසු ඉගැන්වීම් සමග ගැටෙන්නේ නම් හෝ

  • එම ඉගැන්වීම සදාචාර විරෝධී නම් හෝ

  • විශ්වය, පෘථිවිය, මිනිස් සිරුර වැනි යමක් පිළිබද ව ඇති කිසියම් සඳහනක් අසත්‍ය බව හොදින් ම දන්නේ නම් හෝ

පමණි.

සෙසු සෑම අවස්ථාවක දී ම ත්‍රිපිටකයේ ඇති කරුණ එලෙසින් ම පිළිගැනීම වැදගත් ය. මන්ද යත් එය සැබෑ ඉගැන්වීමක් නොවන බව සිතීමට කිසිම හේතු සාධකයක් නොමැති බැවිනි. එය සත්‍ය ඉගැන්වීමත් විණි නම් එය හිතුමතයේ බැහැර කිරීමෙන් අප බලවත් අවැඩක් කරගන්නා බැවිනි. එය ඉහත කරුණක් යටතට නොවැටෙන තාක් දුරට එය අසත්‍යයක් විය හැකි ව තිබුණත් එය පිළිගැනීමෙන් වන හානියක් නම් නොමැත. නමුත් එය නො පිළිගතහොත් නම් යම් හෙයකින් සත්‍යයක් ව තිබුණහොත් අපට එහි ආධ්‍යාත්මික ඵල නොලැබී යාමට හැකි ය.

කෙසේනමුත් අප ඉහත සදහන් කළ නිර්ණායක කෙනකු විසින් අවභාවිත වීමට හෝ වරදවා වටහා ගැනීමට හැකි බැවින් ඒ ගැන ද යම් පැහැදිලි කිරීමක් කළ යුතු ය. නිදසුන් ලෙස සදාචාරවිරෝධී ඉගැන්වීම් බව පවසමින් නූතන ස්ත්‍රීවාදී මත සමග හෝ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවාදිය සමග ගැටෙන තැන් බුද්ධ දේශනාවේ එන විට බැහැර කිරීමට ඉඩක් මෙයින් නො ලැබේ. මෙහි දී සදාචාර විරෝධී යන්නෙන් අප අදහස් කළේ සෑම යුගයක ම සෑම සමාජයක දී ම සදාචාර විරෝධී ලෙස සැලකෙන ස්ත්‍රීදූෂණය, මනුෂ්‍ය ඝාතනය වැනි අපරාධයන් ය. එවැන්නකට අනුබල දෙන තැනක් වෙතොත් (එවැනි තැන් නැත.) එය සැක කිරීම යුතු ය. නමුත් අද බටහිර ලෝකයේ ලිබරල්වාදී මත සමග නො ගැලපුණ පමණින් බුදුදහමේ එන කරුණක් පසුකාලීන එකතු කිරීමක් සේ සලකා බැහැර කිරීම නම් නො කළ යුත්තකි. අද දවසේ සදාචාර ප්‍රමිතීන් අනුව අසාධාරණ සේ පෙනුණත් (අෂ්ට ගරු ධර්ම, භික්ඛුණී විනය වැනි තැන්) කාලීන සමාජයේ සංස්කෘතික තත්ත්වය මත පිහිටා සාධාරණීකරණය කළ හැකි ය. එහි දී ද එවැනි ලිබරල් මත අපේ ලෞකික සමාජය හැඩගස්වා ගැනීමේ දී, නීති සම්පාදනයේ දී හා රාජ්‍ය පාලනයේ දී භාවිත නො කළ යුතු බවක් ද මින් අදහස් නො වේ. ඉන් අදහස් වන්නේ හුදෙක් අප ඒවා ත්‍රිපිටකයේ නිරවද්‍යතාවය සෙවීමේ දී නිර්ණායකයක් නො කරගත යුතු බව පමණි. සෙසු කරුණු දෙක ද මෙබඳු ය. අවිද්‍යාත්මක යැයි කියා අධිස්වාභාවික යමක් දහමේ සඳහන් වූ පමණින් එය පසුකාලීන එකතුකිරීමක් යැයි පවසමින් බැහැර කිරීම ද නො වටී. භෞතිකවාදය/හේතුවාදයත් විද්‍යාවත් යනු දෙකක් මිස එකක් නො වේ. නොපවතින බව පර්යේෂණයකින් සනාථ වන තුරු (නමුත් බොහෝ අධිස්වාභාවික සංසිද්ධි අසත‍්‍යක්ෂණය කළ නොහැකි උපන්‍යාස බැවින් ඒවා පර්යේෂණයන්ට ලක් කළ නො හැකි ය.) පසුකාලීන එකතුකිරීම් ලෙස සලකා ඒවා ධර්මයෙන් බැහැර නො කළ යුතු ය. එසේ ම බටහිර විද්‍යාඥයන්ගේ බහුතර මතය හෝ වෙනත් න්‍යායන්ට පටහැනි වූ පමණින් ද යමක් විද්‍යාත්මක ව අසත්‍ය යැයි නිගමනය කළ යුතු නො වේ.

මා දැනට පරිශීලනය කර ඇත්තේ දීඝ නිකායත් මජ්ඣිම නිකායේ, සංයුක්ත නිකායේ සහ අංගුත්තර නිකායේ කොටස් කීපයකුත් පමණකි. ඒ තුළ මට නම් හමු වී ඇත්තේ මෙවැනි එක ම එක කරුණක් පමණි. ඒ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ එන මහාමේරුවක් ගැන වන සඳහන යි. සප්ත සූර්යෝද්ගමන සූත්‍රයට අනුව යොදුන් 42 000ක් උස පර්වතයක් පෘථිවි මධ්‍යයේ ඇති බව පැවසෙයි. සමහරු මේ ගැටලුව ලිහීමට පවසන්නේ යොදුනක් යනු සැතපුම් අටක් ම නොවන බවත් කුඩා ඒකකයක් බවත් ය. කෙසේනමුත් යොදුනක් යනු කිලෝමීටර්/සැතපුම් තරමක් දිගු දුරක් මනින ඒකකයක් විය යුතු ය. මන්ද යත් නගර අතර දුර ප්‍රකාශ කිරීමට එය යොදාගෙන ඇති බැවිනි. කුඩා දුරවල් මැනීමට යොදා ගත යුතු සෙන්ටිමීටර් හෝ අගල් කීපයක් වැනි කුඩා ඒකකයකින් නගර අතර දුර ප්‍රකාශ කරන්නට එකල මිනිසුන්ට පිස්සු නොතිබෙන්නට ඇත. කෙසේනමුත් අපි මේ අයගේ සිත සැනසීමට යොදුන මීටරයක් දක්වා කුඩා කළත්, මේරු පරුවතය කිලෝමීටර් 42කට වඩා කුඩා කරගන්නට බැරි වේ. එවරස්ට් කන්දේ උසත් කිලෝමීටර් 8කට වැඩි නැත. ඉතින් ඒ නිසා මේ මේරු පර්වතය ගැන කතාව පසුකාලීන එකතුකිරීමක් ලෙස සලකා අපට එකහෙලා ම බැහැර කරන්නට පුලුවන. නමුත් සප්ත සූර්යේද්ගමන සූත්‍රයේ එන සෙසු කරුණු බුදුන්වහන්සේ දේශනා කළ සැටියෙන් ම ඇති බව පිළිගන්නට මෙය මෙසේ වීමෙන් බාධාවක් නොමැත.

සෙසු ගැටලු තැන් හමු ව ඇත්නම් ඔබට ඒ බව පෙන්වා දෙන්නට පුලුවන. එවිට අපට එය ඉහත නිර්ණායක සමග එකඟ ද කියා සාකච්ඡා කළ හැකි ය.