බුදුදහමේ වැඩියෙන් ම වරදවා වටහා ගන්නා සූත්‍රය ඇතැම් විට කාලාම සූත්‍රය විය හැකි ය. බොහෝ දෙනා සිතා සිටින්නේ කාලාම සූත්‍රයෙන් උපදෙස් දී ඇත්තේ යමක් ගැන තමන්ගේ ම සිතැඟි පිළිපදින ලෙස බව ය. මේ නිසා ම කිසියම් ක්ෂේත්‍රයක විශේෂඥයකුගේ, විද්වතකුගේ, දාර්ශනිකයකුගේ අදහසක් කෙනකු උපුටා දක්වන විටත් එය නිෂ්ප්‍රභ කරන්නට සමහරුන් කියන්නේ කිසිවකු කියන දෙයක් නො පිළිගන්නා ලෙස කාලාම සූත්‍රයෙන් කියා ඇති බව යි. එමෙන් ම බුදුන්වහන්සේ ම පවසා ඇති වෙනත් ඇතැම් දහම් කරුණු ප්‍රතික්ෂේප කිරීමට පදනමක් ලෙස නූතනවාදී බෞද්ධයන් මෙන් ම සෙසු බෞද්ධයන් ලවා එසේ කරවීම පිණිස හේතුවාදීන් ද යොදාගන්නේ කාලාම සූත්‍රයෙන් උදුරාගත් වැකි ය.
කාලාම සූත්‍රයෙන් උපදෙස් දී ඇත්තේ කිසියම් දහමක් පිළිගැනීමේ දී එය කුසල් ද අකුසල් ද? පිළිපැදීමෙන් තමාට වන්නේ වැඩක් ද? අවැඩක් ද? යනු විමසන ලෙස යි. ඒ මිස තම සිතැඟි අනුව කටයුතු කළ යුතු ය කියා හෝ කිසිවකු කියන දේ නො පිළිගෙන තමාට හැඟෙන දේ අනුව ම කටයුතු කරන ලෙස නම් නො වේ. ඒ බව කාලාම සූත්‍රයේ පැහැදිලි ව පවසා තිබේ. බුදුන්වහන්සේ කාලාමයන්ට දෙන පිළිතුරේ අවසන් වැකිය දෙස අවධානය යොමු කරන්නේ නම් මේ බව ඉතා පැහැදිලි ය. ඒ වැකිය මේ පරිදි ය.
මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව.
නමුත් සමහරු මේ මුලු වැකියෙන් ම දකින්නේ තුමූ ම දැනගන්නාහු නම් යන වචන හතර පමණි! කාලාම සූත්‍රය අනුව යමක් පිළිගත යුත්තේ තමා ම එය දුටුවොත් පමණක් යැයි පවසන්නේ එසේ මේ වැකියෙන් ම වචන හතරක් පමණක් උගුල්ලාගත් අය යි. තමාගේ සිත් ගත් පමණින් ද යමක් නොපිළිගත යුතු බව නම් කාලාම සූත්‍රයේ පැහැදිලි ව පවසා ඇත.
කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසි මැය, විචිකිත්සා කරන්නට නිසි මැය. සැක කටයුතු තැන ම තොපට විචිකිත්සාව උපන. කලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නො ගණුව, පරම්පරාකථායෙනුදු නොගණුව, තෙල මෙසේ වී ලැ යි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ යි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැයි) භව්‍යරූපතායෙනුදු නොගණුව, මේ මහණ අපට ගුරුහයි ද නොගණුව, කාලාමයෙනි, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව.
මෙහි 'අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසදෙතැයි ද නොගණුව' යන්නේ අදහස කුමක් ද? තමාගේ සිත් ගත් මතය හා සැසඳෙන නිසා පිළිගන්නේ යැයි කියා පිළිගැනීමෙන් ද වැළකිය යුතු බව නො වේ ද? එසේ නම් කාලාම සූත්‍රයෙන් තමාගේ සිතට එන දෙයක් පිළිගන්න යැයි කියා ඇතැ යි පවසන්නේ කෙසේ ද?
මෙහි 'තර්කග්‍රාහයෙනුදු නොගණුව' යනුවෙන් පැවසෙන්නේ කිසියම් දෙයක් තර්කයෙන් ඔප්පු කරගනිමින් පිළිගැනීම ද නො කළ යුතු බව යි. මෙහි 'නයග්‍රාහයෙනුදු නොගණුව' යන්නෙන් කියැවෙන්නේ කිසියම් න්‍යායකට යට වී ද යමක් නොපිළිගත යුතු බව යි. කාලාම සූත්‍රය යොදාගනිමින් සිය ද්‍රව්‍යවාදය ඔප්පු කිරීමට කාලෝ ෆොන්සේකා වැනි අය කළ තැත මේ අනුව කාලාම සූත්‍රයට ම පටහැනි වෙයි.
කාලාම සූත්‍රයෙන් උපදෙස් දී ඇත්තේ කිසියම් දහමක් යහපත පිණිස හේතු වේ ද අයහපත පිණිස හේතු වේ ද යනු විමසීමට නම්, එයින් අදහස් වන්නේ කාලාම සූත්‍රය අදාළ වන්නේ ආගම් පිළිගැනීම ආශ්‍රිත කාරණාවලට පමණක් බව යි. මන්ද යත් විද්‍යා හෝ වෙනත් න්‍යායක්/රීතියක්, ඉතිහාසඥ මතයක් වැනි දෙයක් එය සමාදන් වීමෙන් අවැඩක් වන්නේ ද, නැති ද කියා විමසිය නො හැකි බැවිනි. ඒවායේ විමසිය හැක්කේ නිරවද්‍යතාවය පමණක් හෙයිනි. මේ නිසා කිසියම් විද්වත් මතයක්, පුද්ගල අදහසක් උපුටා දැක්වූ පමණින්, කිසිවකුට වහල් නො වන ලෙස කාලාම සූත්‍රයේ කියා ඇතැ යි කියමින් එය නිෂ්ප්‍රභ කිරීමට තැත් කිරීම කාලාම සූත්‍රයේ ඇත්තේ කුමක් ද යන්න ගැන තමන්ගේ නොදන්නාකම පෙන්වීමකි.
එමෙන් ම කාලාම සූත්‍රයේ එන පරම්පරාවේ, සම්ප්‍රදායේ ආ පමණින්, ගුරු වූ පමණින් නො පිළිගන්නා ලෙස ඇති අවවාදය බුදුදහමේ ධර්ම කරුණු ප්‍රතික්ෂේප කිරීමට යොදාගැනීම ද එය දරුණු ලෙස අවභාවිතා කිරීමකි. මක්නිසා යත් කාලාමයන් බුදුදහම සරණ ගිය පිරිසක් නො වූ හෙයින් සහ එ හෙයින් බුදුන්වහන්සේ ඔවුන්ට දුන් පිළිතුර ද බෞද්ධාගමිකයන්ට අදාළ නො වන බැවිනි. කාලාමයන් බෞද්ධයන් නො වූ බවත් බුදුන්වහන්සේ ඔවුන්ට දුන් පිළිතුර ද බෞද්ධයන්ට අදාල නො වන බවත් උන්වහන්සේගෙන් ඔවුන් ඇසූ පැනයෙන් පැහැදිලි ය. කාලාමයන් අසන පැනය වන්නේ විවිධ ආගමික නායකයන් සිය දහම ම නිවැරදි දහම බව පවසන විට කවර දහමක් පිළිගන්නේ ද යන්න ය.
“වහන්ස, කේසපුත්තයට එන ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු සවකීය ලබ්ධිය ම කියති, පවසති. මෙරමාගේ ලබ්ධිය ඝටා බෙණෙති. හෙළා දකිති, බැහැර කෙරෙත්. වහන්ස, අන්‍යවූ ද ඇතැම් මහණ බමුණු කෙනෙක් කේසපුත්තයට එති. ඔහු ද ස්වකීය ලබධිය ම කියති, පවසති, මෙරමාගේ ලබ්ධිය ඝටා බෙණෙති. හෙළා දකිති, බැහැර කෙරෙත්. වහන්ස, එ අපට “මේ භවත් මහණ බමුණන් අතුරෙන් කවරෙක් නම්, සත්‍ය කියා ද! කවරෙක් මුසවා බෙණේදැ යි සැක ඇති වේ ම ය, විචිකිත්සා ඇතිවේ ම ය” යි.
එනම් කවර ආගම නිවැරදි ද කියා දැනගන්නේ කෙසේ ද යන්න ය. ඒ අනුව කාලාම සූත්‍රයෙන් යමක් පිළිගැනීම හා නො පිළිගැනීම සම්බන්ධයෙන් ලබාදෙන අවවාද අදාළ වන්නේ ද එවැනි තත්ත්වයක සිටින, එනම් ආගමක් තෝරාගැනීමට නො හැකි ව විපිළිසර ව සිටින්නකුට පමණි. බෞද්ධයෝ වනාහී දහමක් තෝරාගෙන ඒ ගැන තිර විශ්වාසය තැබූවෝ වෙති. එ නිසා කාලාම සූත්‍රයෙන් ලබාදෙන නිර්ණායක බෞද්ධයන් බුදුදහමේ කරුණු තෝරා බේරා ගැනීමට යොදා ගත යුතු නො වේ. වෙනත් ලෙසකින් කියනවා නම් කාලාම සූත්‍රයෙන් ලැබෙන චින්තන නිදහස බුද්ධ ශ්‍රාවකයන්ට අදාළ නො වේ. නමුත් බුද්ධ ශ්‍රාවකයන්ට චින්තන නිදහසක් නැති බවක් නම් මින් කිසිසේත් අදහස් නො වේ. ඔවුන්ට ද වෙනත් ආකාරයක චින්තන නිදහසක් තිබේ.
මේ ගැන තවමත් සැකයක් පවතී නම් බුදුවහන්සේ කාලාම සූත්‍රයේ නිර්ණායකය භාවිතා කරන අයුරු පෙන්වමින් එහි දක්වන නිදසුන් දෙස බැලීමෙන් ඒ දුරුකරගත හැකි ය. ඒ නිදසුන පහත පරිදි ය.
කාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? මෝහය පුරුෂයාගේ සිතෙහි උපදනේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේ වේද?
වහන්ස, අහිත පිණිස උපදනේය.
කාලාමයෙනි, මූඪ වූ මේ පුරුෂපුද්ගල මෝහයෙන් මඩනා ලදුයේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේ නම්, එබඳු වූ පණිවාත් කෙරේ. අයිනාදනුත් ගණී, පරඹුවන් කරාත් යේ. මුසවාත් බෙණේ. මෙරමාත් එසෙයට සමාදන් කරවයි.
එසේය, වහන්ස.
කාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? මේ දහම්හු කුසල් හෝ වෙත් ද? අකුසල් හෝ වෙත් ද?
වහන්ස, අකුසල්හ.
සාවද්‍ය හෝ වෙත් ද? අනවද්‍ය හෝ වෙත් ද?
වහන්ස, සාවද්‍යයහ.
නුවණැත්තන් විසින් ගරහන ලද්දාහු ද? නොහොත් නොගරහන ලද්දාහු ද?
වහන්ස, නුවණැත්තන් විසින් ගරහන ලද්දාහ.
පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවතිත් ද? නොහොත් නො පවතිත් ද? මෙහිලා තොපට කෙසේ අදහස් වේ ද?
වහන්ස, ‘පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි මෙහිලා අපට මෙසේ අදහස් වේ.
‘තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නොගණුව, පරම්පරා කථායෙනුදු නොගණුව, 'තෙල මෙසේ වී ලැ’යි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, ‘අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ’යි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැ’යි) භව්‍යරූපතායෙනුදු නොගණුව, ‘මේ මහණ අපට ගුරුහ’යි ද නොගණුව, කාලාමයෙනි, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි යම් කලෙක තෙපි තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව’යි මෙසේ යමක් කියන ලද නම්, තෙල මේ සඳහා කියන ලදී.
මෙහි මෙසේ යමක් කියන ලද නම්, තෙල මේ සඳහා කියන ලදී යනුවෙන් පැවසීමෙන් උන්වහන්සේ අදහස් කරන්නට ඇත්තේ තමන්වහන්සේ කාලාම සූතයෙන් අපේක්ෂිත භාවිතය මෙය ය යන අදහස නො වේ නම් වෙන කුමක් ද? එසේ නම් බුදුන් විසින් අනුදත් භාවිතයට පටහැනි භාවිතයන් සදහා එය යෙදවීම බුද්ධ ශ්‍රාවකයන්ට නුසුදුසු නො වන්නේ ද?
ප. ලි.
මේ ගැන අපගේ අදහස් පිළිගන්නට අකමැති අයෙක් වෙත් නම් ඔහුට Lost in Quotation මැයෙන් තාණිස්සරෝ හිමියන් මේ ගැන ම ලියූ ලිපියත්, A Look at the Kalama Sutta මැයෙන් භික්ඛුබෝධි හිමියන් ලියූ ලිපියත් කියවිය හැකි ය.
No comments:
Post a Comment