2022-01-15

බුදුදහම, ප්‍රේමය සහ ලිංගිකත්වය

වරක් එක්තරා ෆේස්බුක් කොමෙන්ටුවක 'ඉල්ලුවේ මම ඔයා බුදුන්ටත් මල් පුදා' යනුවෙන් කියැවෙන ගීතයක් විවේචනය කරමින් කෙනකු පවසා තිබුණේ සියල්ල අත්හැරි අයකු වූ බුදුන්වහන්සේට මල් පහන් පූජා කරමින් කෙල්ලන් ඉල්ලන්න ලැජ්ජ නැද්ද කියා ය. ඒ ප්‍රකාශයෙන් ප්‍රකට වන්නේ ඒ සටහන තැබූ තැනැත්තාගේ බුදුදහම ගැන (මෙන් ම මිනිස් ස්වභාවය ගැන සහ කලා නිර්මාණකරණය ගැන ද) ඇති අඩු දැනුම යි. නැතිනම් වැරදි අවබෝධය යි. බරපතළ බලපෑමක් නැතත් බුදුදහම, ප්‍රේමය, ලිංගිකත්වය විෂයෙහි ඇති සදොස් මත දුරැලීම පිණිස මෙය විභාග කළ යුතු යැයි සිතමු.

එවැනි පැතුමක් කිරීම බෞද්ධ විරෝධී ද යන්න විමසීමට පෙර, කෙනකු එවැනි පැතුමක් කළහොත් එය ද ඉටු නොවිය හැක්කක් බව පෙන්වා දීමට කැමැත්තෙමු. බෞද්ධ සාහිත්‍යයේ එන ස්වර්ණතිලකාගේ කථාවස්තුව නිදසුන් ලෙස ගෙනහැර දක්වමු. (එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'පෙමතෝ ජායතී සෝකෝ' නාට්‍යයට විෂය වූ පුවත වූයේ මෙය යි.) ස්වර්ණතිලකා පෙර භවයක මල් පූජා කරමින් ප්‍රාර්ථනා කළේ පිරිමින් කාමයෙන් වසඟවන අන්දමේ රූපයකින් යුක්ත ව මතු භවයක ඉපදෙන ලෙස ය. ඇගේ ඒ ප්‍රාර්ථනය එලෙස ම ඉටු විය. ඒ ඉටුවීම හේතුවෙන් තව බොහෝ දෙනෙකුගේත් ඇගේත් දිවි තොර වීමත් ඒ අරුතින් එවැනි ප්‍රාර්ථනා අනුවණ වන බවත් වෙන ම කතාවකි. නමුත් එවැනි ප්‍රාර්ථනාවක් වුව නො සිදුවිය හැක්කක් නොවන බව ඒ පුවතින් පෙනෙයි. ලෞකික, පෞද්ගලික පැතුමක් වුවත් බෞද්ධ කුශලානිශංසයක් ලෙස ඉටු නො විය හැක්කක් නොවන බව මෙයින් පැහැදිලි වෙයි.

දැන් අපි, මෙවැනි පැතුමක් කිරීම බෞද්ධයකුට නො තරම් දැයි විමසමු. ඒ ගැන විමසිය හැකි අවස්ථා දෙකක් බෞද්ධ සාහිත්‍යයේ එයි. එකක් වන්නේ ශක්‍ර දෙවියන්ගේ ගාන්ධර්වයා වූ පංචශිඛ සහ සූරියවච්චසා නම් දෙවඟන සම්බන්ධ පුවත යි. ඒ පුවත දීඝ නිකායේ සක්කපඥ්හ සූත්‍රයේ එයි. බුදුන් හමුවට එන්නට සිතා මිනිස් ලොවට එන සක්දෙවිඳු, තමන් බුදුන් හමුවට යාමට පෙර උන්වහන්සේ පහදවා ගන්නැ යි කියා පන්සිළු යවයි. පන්සිළු බුදුන්වහන්සේට නුදුරු තැනක සිට ධර්මයේත්, රහතුන්ගේත්, බුදුන්වහන්සේගේත් ගුණ ගයයි. ඒ ගයන්නේ මෙසේ ය. සූරියච්චසා ගැන වූ සිය සරාගී හැඟීම් ද ඒ සමග ම ප්‍රකාශ කරමින් ය.

ළහිරුරස් බඳු සිරුර කැලුම් ඇති, හැම සිරුරඟින් හොබනා, මට සතුට දනවන සොඳුරිය, තෝ යමක්හු කරණ කොට ගෙන උපන්නෙහි ද, තීගේ පිය වූ ඒ තිම්බරු නම් ගඳැවු රජුහු වඳිමි.

ළහිරු රස් සෙයින් නැඟෙන සිරුරු කැලුම් ඇත්තිය, හොබනා අඟපසඟ ඇත්තිය, මට සතුට දෙනුවිය, සොඳුර, යමක්හු කරණ කොට ගෙන තෝ උපන්නෙහි ද, තීගේ පිය වූ තිම්බරු නම් ගඳෙවු රජුහු වඳිමි.

සොසුලුවනට සුළඟ සේද, පැවැසියනට පැන් සේද, රහත්නට දහම් සේ ද තෝ මට ප්‍රියයෙහි ය.

ගිලන්හට බෙහෙද සේ ද, සා ඇතියනට බොජුන් සේ ද තෝ මට ප්‍රියයෙහි ය. සොඳුර, ඇවිලෙන ගින්න දියෙන් සේ (තී නිසා උපන් කාමරාග දවිල්ලෙන් තැවුණු) මා නිවව.

ගිම් තැවුලෙන් බෙහෙවින් තැවුණු ඇතක්හු පියුම් කෙසුරුයෙන් යුත් සිහිල් දිය ඇති පොකුණකට බස්නහු සෙයින් (කවර දා) මම් ති ගේ තනබඩ තුරට බස්නෙම් දෝ!

අකුස ඉක්මි (අකුසින් මැඩැලිය නො හෙන) ඇතක්හු ‘කම්මුල විදුනා කටුවත් පා විදුනා කටුවත් මා විසින් දිනන ලදැ’ යි මදයෙන් මත් බැවින් කරුණු නො දන්නා සේ, තී ගේ ලක්ෂණ සම්පන්න ඌරු යුගලයෙන් මත් වූ මම් රාගය දුරැ ලන්නට කිසි දු කරුණක් නො දනිමි.

තී කෙරෙහි ගිජු වූ සිතැත්තෙමි. ම සිත පෙරැළී ගියේ ය. බිලිය ගිල ගත් මසක්හු සෙයින් තී කෙරෙහි බැඳුණු සිත මුදා ගන්නට නො හැක්කෙමි.

මනා ඌරු යුගලයක් ඇති සොඳුර, මා වැලැඳැ ගන්න. මඳ බැල් මෙන් බලන ඇසැත්තිය මා වැලැඳැ ගන්න, කල්‍යාණිය, මා හාත්පසින් වැලැඳ ගන්න. මෙය මා වෙසෙසින් පැතූ දෑ ය.

රහතක්හට දුන් මඳ වූ ද දක්ෂිණාව මහත් පල දෙන්නා සේ, අක් බඹුරු කෙහෙ ඇති තී කෙරෙහි මට ඇති වූ ස්වල්ප (එක්) කාමුක සිත දන් නොයෙක් බව් ඇත්තේ (මහත් බවට පැමිණියේ) වෙයි.

සියලු අවයවයන්හි සොඳුරු බව ඇත්තිය, අට ලෝ දහමින් නො සැලෙන රහතුන් විෂයයෙහි මා කළ යම් පිනෙක් ඇද්ද, එය තී සහිතවූ මට පල දේවා.

හැම අවයවයන්හි සොඳුරුබව ඇත්තිය, මේ පොළෝ මඬලැ මා කළ යම් පිනෙක් ඇද්ද, ඒ සියල්ල තී සහිත වූ මට පල දේ වා.

සූය්‍යර්‍ වර්චසාව, සැහැපුත් මුනිහු දහන් වැඩීමෙන් එකඟ සිතැති වැ, ප්‍රඥායෙන් යුක්ත වැ, සිහි ඇති වැ නිවන් සොයා ගියා සේ, මම් තී සොයා යෙමි.

කල්‍යාණ අඟ පසඟ ඇත්තිය, සැහැමුනිහු උතුම් සම්බෝධිය ලැබ යම් සේ සතුටු වූහු ද, එසේ ම මම තී හා එක්වීම ලැබුයෙම් සතුටු වන්නෙමි.

තව්තිසා වැස්සනට අධිපති සක් දෙවිඳු මට වරයක් දෙන්නේ වී නම්, සොඳුර, දෙ දෙව් ලොව රජයද හැරපියා තී ම පතන්නෙමි. තී.කෙරෙහි මා ඇල්ම මේ සා දැඩි ය.

සොඳුරු නුවණැත්තිය, යමකුහට තී සේ වූ දූවක් ඇද්ද, බොහෝ කලකට පසු අළුතැ පිපුණු සල් රුකක් බඳු (තී නිසා සිරිමත් වූ) ති ගේ ඒ පියා වඳිමින් නමදිමි.”

පන්සිළු මෙසේ ගුණ ගැයූ විට, රාගය ක්ලේශයක් ලෙස හෙළා දුටු තමන්වහන්සේ ඉදිරියේ කරන උන්වහන්සේගේ සහ ධර්මයේ ගුණ ගැයීමක්, පන්සිළු සිත ඇති රාගික හැගීම් ප්‍රකාශනයට යොදාගැනීම සම්බන්ධයෙන් බුදුන්වහන්සේ ඔහු ව විවේචනය කළේ නැත. රාගය ක්ලේශයක් බවත්, ඉන් මිදිය යුතු බවත් පවසමින් බණ දේශනා කළේ ද නැත. ස්ත්‍රී රූපය පිළිකුල් භාවනාවට විෂය විය යුතු අසූචි බඳුනක් බව කීවේ ද නැත. ඒ වෙනුවට ඔහුගේ ගායනය හා වාදනය ගැන මේ අන්දමින් පැසසූ සේක.

පන්සිළුව, තගේ වෙණෙහි තත් හඬ තගේ ගී හඬ හා ද, තගේ ගී හඬත් තත් හඬ හා ද සැසැඳේ. පන්සිළුව, තගේ තත් හඬ ගී හඬ නො ඉක්මෙයි. තගේ ගී හඬත් තත්හඬ ඉක්මැ නො යෙයි. පන්සිළුව, බුදුගුණ අසළ, දහම් ගුණ අසළ, සඟ ගුණ අසළ, රහත් ගුණ අසළ, කම් ගුණ අසළ, මේ ගාථා තා විසින් කවර දාක රැසැයිණි දැ?” යි අසා වදාළ සේක.

 එවිට පන්සිළු එයට පිළිතුරු දෙමින් මෙසේ පවසයි.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බුදු වූ අළුත එක් සමයෙක උරුවෙල් දනවුයෙහි නිල්දලා ගං තෙරැ අජපල් නුග මුලැ වැඩ වෙසෙති. වහන්ස, එ සමයෙහි මම් තිම්බරු නම් ගඳැවු රජුහු දූ වූ භිරුරස් බඳු ශෝභා ඇති භද්‍රා නම් යම් දෙවඟනක් වේ ද, ඇය පතන්නෙම් වීමි. වහන්ස, ඒ ගඳැවු දූ අනෙකක්හු පතන්නී ය. මාතලි නම් රියැදුරා පුත් සිඛණ්ඩී නම් ගඳැවු පුතෙක් ඇත. ඕ ඔහු පතන්නී ය, වහන්ස, යම් විටෙක කිසිදු කරුණෙකින් ඒ ගඳෙවු දුව නො ලදුයෙම් ද, එ විට මම් බේළුව පණ්ඩු වීණාව ගෙන, තිම්බරු ගඳැවු රජුහු නිවෙස කරා එළැඹියෙමි, එළැඹ ඒ වෙණ හැඬැවීමි. බුදුගුණ අසළ, දහම් ගුණ අසළ, සඟ ගුණ අසළ, රහත් ගුණ අසළ, කාමගුණ අසළ, මේ ගාථා ද ගැයිමි.

වහන්ස, මෙසේ මා ගැයූ කල්හි සූර්‍ය්‍යවර්චසී නම් වූ ඒ භද්‍රා තොමෝ “නිදුකාණනි, ඒ භාග්‍යවතුන් වහන්සේ මා විසින් හමුයෙහි නො දක්නා ලද සේක. එතෙකුදු වුවත් තව්තිසා වැසි දෙවියන්ගේ සුදම් සෙබෙහි නටන මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ අසන ලදහ. (ඒ භාග්‍යවතුන්ගේ තතු අසන ලදුයේ ය). නිදුකාණනි, යම් හෙයෙකින් ඔබ ඒ භගවත් බුදුරජුන්ගේ ගුණ කියත් ද, එ හෙයින් අද අපගේ සමාගමය වේ වා’ යි කිවූ ය. වහන්ස, එ දා ඒ දෙව් දූ හා සමාගමය විය. එයින් පසු දැන් (මේ දවස දක්වා) එසේ වූ සමාගමයෙක් නො වී යැ” යි පන්සිළු කීය.

අනෙක් නිදසුන වන්නේ කුස ජාතක කථා පුවත යි. කුස ජාතකයේ දැක්වෙන්නේ බෝධිසත්ත්වයන් වීර්යය පාරමිතාව පිරූ අයුරු දැක්වෙන පූර්ව ජන්ම පුවතක් ලෙස ය. එහි දී උන්වහන්සේ වීර්යය පාරමිතාව පුරන්නේ කෙසේ ද? බවුන් වැඩීමෙන් ද? නැත. කෙල්ලක පස්සේ යාමෙනි! ඇය හමුවේ වැඳ වැටෙමින්, ඇය සොයා යමින්, වෙස්වළාගෙන ඇගේ මෙහෙකරුවකු ලෙස දුක් විඳිමින් ඇගේ ප්‍රේමය දිනාගැනීමට වීර්යය කළ අයුරු ය කුස ජාතකයේ දැක්වෙන්නේ. පාරමිතා පුරන්නේ බුදු වීමේ අරමුණෙනි. බුදුවීම පිණිස වීර්යය පාරමිතාව පිරීම ස්ත්‍රියකගේ ආලය අරමුණු කරගෙන කිරීමට බෝධිසත්වයකුට කැප නම්, පුහුදුන් මිනිසකු ලෞකික ප්‍රේමයක් පැතීමට හා ලැබීමට බෞද්ධ කුශලානිශංස යොදාගැනීම වරදක් ලෙස සැලකිය යුතු ද?

එවැනි ලෞකික පැතුම් කවුරු හමුවේ වුවත් කිරීම, බෞද්ධ කෝණයකින් ගත්විට එතරම් නුවණක්කාර දෙයක් නොවන බව නම් ඇත්ත ය. කෙසේනමුත් පුහුදුන් මිනිසකුට එසේ කිරීමට සිත්වීම ගැන නම් දොසක් කිව නො හැකි ය. ඊටත් වඩා එවැනි පුහුදුන් මිනිසකු ගැන නිර්මාණ සිතිවිල්ලකට ගැනීම ගැන කවියකුට දොස් කියන්නට ද නො හැකි ය


No comments:

Post a Comment