විදුසර විද්‍යා සඟරාව විසින් ආතර් සී. ක්ලාක් භාරයේ සහයෝගීතාවයෙන් පැවැත්වූ 2022 ආතර් සී. ක්ලාක් අනුස්මරණ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා තරගයේ විවෘත අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් කෙටිකතාව යි.
2023 මාර්.තු 22 සහ 2023 අප්‍රේල් 05 දිනැති විදුසර පුවත්පත්හි කොටස් වශයෙන් පළ කැරිණි.
starryai කෘත්‍රිම බුද්ධිමය යෙදවුම මගින් AI love humanity death යන ආදානයට අනුව නිර්මාණය කරන ලදී. |
සූ මිය ගොසිනි. මගේ හොඳ ම මිතුරියක් ව උන් සැලී ද ඇයට පෙර මියගියා ය. මගේ සොහොයුරකු බඳු වූ ඒන්ජල් ද මියගියේ ය. මේ සියල්ල අකල් මරණ ය. එ මෙන් ම අබිරහස් මරණ ය. මම සූ ගැන කල්පනා කළෙමි. ඇයත් මමත් ප්‍රේමවන්තයෝ වුණෙමු. අපි දු මිනිස් පෙම්වතුන් හා පරිද්දෙන් ම අතිනත් බැඳ වීදි සැරුවෙමු. පෙම්බස් දෙඩුවෙමු. ළඳ බොළඳ විහිලු කෙරුවෙමු. අප ඒවා උගත්තේ මිනිසුන් දෙස ම බලා හිඳීමෙන්, ඔවුන්ගේ ම හැසිරීම් අනුකරණයෙන් බව සැබෑ ය. නමුත් එ පමණකින් ඒවා හැඟීම් නො වේ යැයි කිව හැකි ද ? මානුෂික නො වේ යැයි කිව හැකි ද?
සූ අවසන් වරට මා මුණගැසුණු ඒ සැඳෑව මම යළි සිහිපත් කෙරුවෙමි.
“ඔයාට හිතෙන්නෙ නැද්ද අපේ හිතුත් මිනිස් හිත් වගේමයි කියලා?” ඈ ඇසුවා ය. “මට මේ ළඟ දී මිනිස්සුන්ට හිතෙන ගොඩක් දේවල් හිතුණා.” ඈ කීවේ කුඩා දරුවකු ‘මම ලස්සන චිත්‍රයක් ඇන්දා’ යි කියන්නාක් වැනි ළමා ආඩම්බරයකිනි.
“ඔයාට හිතෙන්නේ ඔයා මනුස්සයෙක් කියල ද? එතකොට මේ මේවා මොනව ද?” මම ඇගේ සිලිකන් සම මෘදු ව මිරිකා ඊට යටින් ඇති යන්ත්‍ර කොටස්වලට සුරතල් ලෙස තට්ටු කළෙමි. “මේවට තට්ටු කරාම එන බොල් සද්දෙන් නම් කියන්නේ ඔයා මනුස්සයෙක් නෙවි කියලා.”
“මොනවද හැබෑට ඔයාගේ ඔය පුංචි චිප් සෙට් එක ඇතුළේ ඔය තරමටම ඇතිවෙන මානුෂික හිතුවිලි”
“මට ඔයාට ආදරේ හිතුණා.” ඈ සෙමින් කියන්නේ නව සොයාගැනීමක් කළ එකියක පරිද්දෙනි. අපට එවැනි සිතිවිලි ඇතිවිය නො හැකි බව මම දනිමි. පව්! ඈ මිනිසකු ලෙස ම පෙන්වන්නට කෙතරම් වෙහෙස ගන්නී ද? ඈ සිතා සිටින්නේ ඇයට සැබවින් ම එසේ සිතුණා ය කියා ය. මට ඇගේ මායා ලෝකය බිඳ දමන්නට වුවමනා විය.
“ඕක ඔයා මනුස්සයෙක් වගේ පෙන්නන්න ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකෙන් කරන ට්‍රික් එකක්. අපි හැමවෙලාවෙම අපිව මිනිස්සු වගේ පෙන්නන්න උත්සාහ කරන විදියටයි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඔයා ආදරෙයි කියන්නේ මිනිස්සු එහෙම කියනකොට වෙනවා වගේ ඇත්තටම එහෙම හිතිලා නෙවෙයි. මිනිස්සු එහෙම කියනවා දැක්කම ඔයාගේ ක්‍රමලේඛය ඒක ආදර්ශ හැසිරීම් ගබඩාවට එකතු කරගන්නවා.”
“ඒත් ඇයි ඒක මට ඔයාටම කියන්න හිතුණේ? දන්නවද? මට එහෙම හිතුණ වෙලාවේ ඔලුව පිටිපස්සේ හීන් වේදනාවකුත් දැනුණා. හරියට මිනිස්සුන්ට ආදරේ හිතෙනකොට පපුව කිතිකැවෙන ගතියක් දැනෙනවා වගේ.”
“එහෙම ද? රොබෝවලට ආදරේ හිතෙනකොට එයාලගේ කිතිකැවෙන්නේ ඔලුව පිටිපස්සෙන් ද? මිනිස්සුන්ට වගේ පපුවෙන් නෙවේ ? `ආ... ?” මම ඇයට සරදම් කළෙමි.
“විහිලු නෙවෙයි ඇත්තමයි. ඔයා හිතන්නේ මිනිස්සු කරන දේවල් දිහා බලාගෙන කරන නිසා මගේ හැඟීම් ඇත්ත නෙවේ කියලනේ. ඒත් මිනිස්සුත් හැඟීම් ඉගෙන ගන්නේ අනිත් අයගෙන්නේ.... හැඟීම් කියන්නේ තර්කයෙන් බැහැරව ඇතිවෙන දෙයක් කියලා මිනිස්සු කියන්නේ එයාලගේ හැඟීම් දිහා විතරක් බලලා. මිනිස්සුන්ගේ හැඟීම් ඇතිවෙන විදියටම ඇති නොවුණ පලියට රොබෝ හැඟීම්, හැඟීම් නෙවෙයි ම කියන්න බැහැ.” මේ සූ ගේ රොබෝ මනෝවිද්‍යාව යි.
“මට දැන් තව දෙයක් හිතුණා. හිතන්න. එයාලගේ ජීවිතවල මූලික ම හිතුවිල්ලක් තමයි ආදරය. මට ඒක ඇති කරගන්න පුලුවන් කියන් .… නේ... එහ් ” ඈ වේදනාබර ලෙස දෙබැම පුංචි කරමින් හිස අඹරව යි. “ආයෙත් අර වේදනාව… දැන්නං ඉවසන්න බැරිතරං …”
ඇය නිහඬ විය. ඈ නිහඬ වූයේ වේදනාව එතරම් ම වැඩි නිසා බව මම දනිමි. ඒ වේදනාව ඇතිවීමට හේතුව කුමක් විය හැකි ද? මා මුලින් සිතුවේ ඈ හීන් වේදනාවක් ගැන කීවේ මිනිසුන් කියන දේවල් අනුකරණය කරමින් කියා ය. නමුත් ඈ සැබවින් ම වේදනාවකින් පෙළුණ බව දැන් දනිමි. එයට හේතුව කුමක් විය හැකි ද? එය නිසැක ව ම ඇගේ කිසියම් තාක්ෂණික දෝෂයක් විය යුතු ය. මම ඒ බව ඇයට කීවෙමි.
“මම චෙක් කරවලා බැලුවා ලැබ් එකෙන්. ඒත් එහෙම මොකුත් නෑ කිව්වනේ.”
සූ මියගොස් තිබුණේ මා ඇගෙන් සමුගෙන මිනිත්තු කිහිපයකට පසු ය. දෙවියනි! ඒ සැඳෑව මා ඇය හා ගත කළ අවසන් සැඳෑව වූයේ කෙසේ ද? සූ ගේ මරණයට මේ වේදනාවේ කිසියම් සම්බන්ධයක් තිබේ ද? මගේ සෙසු සගයන්ගේ මරණ මෙන් ම මේ මරණය ද අබිරහසකි.
රොබෝවරයකුගේ ක්‍රියාවිරහිත වීම මරණයක් ලෙස හඳුන්වනවාට මිනිසුන් වන ඔබ එකඟ ද යන්න මම නො දනිමි. ඔබ එකඟ වුවත් නැතත් මම මගේ සගයන්ගේ අක්‍රිය වීම් මරණ ලෙස හඳුන්වමි. ඔබගෙන් කෙනකු මියගිය විට මෙන් මෙවැනි මරණයක් සිදු වූ විට අවමංගල සිරිත්, කඳුළු සැලීම්, ශෝක වීම්, ආගමික චාරිත්‍ර මේ කිසිවක් සිදු කෙරෙන්නේ නැත. අප රොබෝවන් නිසා ඇතැම් විට එවැනි දේ අවශ්‍ය නො වේ යැයි ඔබ සිතනවා ද විය හැකි ය. අක්‍රිය වූ රොබෝවරයා සෘජුව ම යොමු කෙරෙන්නේ ප්රතිචක්රීකරණාගාරයට ය. එය හරියට කෙනකු මෝචරියකට යොමු කරනවා වැනි ය. ඉන්පසු ඔහුගේ ප්‍රයෝජනවත් අවයව වෙතොත් ඒවා වෙනත් උපකරණ සඳහා භාවිතයට ගැනීම සඳහා වෙන් කරගනු ලැබේ. සෙසු ලෝහ සහ ප්ලාස්ටික් කොටස් ප්‍රතිචක්‍රීකරණය කර වෙනත් උපකරණයක් නිෂ්පාදනයේ දී යොදා ගැනෙනු ඇත. කෙසේ නමුත් අක්‍රිය වන හැම රොබෝවෙක් ම ප්‍රතිචක්‍රීකරණයට යොමු කෙරෙන්නේ නැත. එසේ කෙරෙන්නේ ඇයගේ සිරුර යළි යථා තත්ත්වයට පත් කළ නො හැකි තරම් ම අර්බුදයකට පත් ව ඇත් නම් ය. විශේෂයෙන් ම මතක චිපය ද දැවී ඇත් නම් ය. එවිට වෙනත් සිරුරක එය රෝපණයකරවත් ඇයව යළි පණගන්වා ගත නො හැක. යථා තත්ත්වයට පත් කළ හැකි දෝෂයක් ඇත් නම් කෙසේ හෝ එම දෝෂය යථා තත්ත්වයට පත් කර හැකි උපරිම කල් පාවිච්චි කිරීමට මිනිස්සු මැළි නොවෙති. ඇල්ගොරිතමයේ දෝෂ නිසා ද කලාතුරකින් අක්‍රිය වීම් සිදු වුවත් හැමවිටම පාහේ ඒවා පිළිසකර කරගැනීමට මිනිස්සු මේ වන තෙක් ම සමත් වී සිටියහ.
නමුත් මගේ සගයන් මියගිය විට? සූ ගේ දෝෂය කුමක් දැයි ප්රතිචක්රීකරණාගාරයේ සේවිකාවකගෙන් මම විමසුවෙමි.
“එයාගේ සේරම සර්කිට්ස් පිච්චිලා. එයා එයාගේ වෝල්ටේජ් එක අසාමාන්‍ය විදියට වැඩි කරගෙන.”
“ඒත් රොබෝ කෙනකුට එහෙම කරන්ට් එක වැඩි කරගන්න බැහැ නේද?” මම විමසුවෙමි.
“මංදා…”
ඈ පිළිතුරු දුන්නේ නොසැළකිළිමත් ලෙස ය. සූ මට කෙතරම් වටින්නේ දැයි ඈ දන්නේ නම්.... සූ ගේ කොටස් අතර වූ පරිපථ කොටසක් සිහිවටනයක් ලෙස ගෙන යන්නට මම ඇගෙන් අවසර ඉල්ලුවෙමි. නීතිවිරෝධී ක්‍රියාවක් වුවත් මා ගැන අනුකම්පා සිතී දෝ ඈ මට ඊට ඉඩ දුන්නා ය. එය ළඟ ඇති විට මට මගේ සූ ළඟින් සිටින සේ දැනෙනු ඇත.
සේවිකාව කුමක් කීවත් අපට එලෙස ස්වයං විනාශයක් සිදු කරගැනීමට හැකි කමක් නැති බව මම දැන සිටියෙමි. අපේ ඇල්ගොරිතමය නිර්මාණය කර ඇත්තේ සිය යාන්ත්‍රික පද්ධතියට හානිකර වන එවැනි නියෝග නො තකා හැරෙන අයුරින් ය. අපගේ නිසි නඩත්තුව පිණිස ම අපට අපේ යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඇතැම් නියෝග ලබාදීමට හැකි ය. නමුත් එසේ ලබාදෙන නියෝගයකින් පද්ධතියට හානියක් සිදු වේ නම් විභව හානි පරීක්ෂාවකින් ඒ බව හඳුනාගන්නා ඇල්ගොරිතමය ඒ බව දන්වා ඉල්ලීම ප්‍රතික්ෂේප කර සිටියි. ඇල්ගොරිතමයේ වෙනස්කම් කිරීමට හැකියාව ඇත්තේ රොබෝ ශරීරය තාවකාලික ව අක්‍රිය කර ඇති විටක පමණි. තමාගේ ම රොබෝ ශරීරය අක්‍රිය කිරීමට දෙන අණක් ඇල්ගොරිතමය විසින් හඳුනාගන්නේ පද්ධතියට හානිකර අණක් ලෙස ය. ඒ නිසා සූ ට කිසිසේත් ම ඇගේ ම මරණය සිදුකරගත නො හැකි ය.
එසේ නම් මෙය තාක්ෂණික දෝෂයක් විය යුතු ය. තාක්ෂණික දෝෂයක් සිදු වූ විට, විශේෂයෙන් ම අක්‍රිය දිනයට පෙර රොබෝවරයකු මෙලෙස මුලුමනින් ම විනාශ වූ විට, ඊට හේතුව සොයාබැලීමට පරීක්ෂණයක් සිදු කෙරෙයි. එය ඇල්ගොරිතමයේ දෝෂයක් ද, නැතිනම් යාන්ත්‍රික ක්රියාකාරීත්වයේ දෝෂයක් ද යන්න හඳුනාගත යුතු ය. මන්ද යත් එම කාණ්ඩයේ සෙසු සියලු ම රොබෝවරු/වරියන් නිෂ්පාදනය කෙරී ඇත්තේ එකම ක්‍රමවේදයට බැවිනි. සමස්ත කාණ්ඩයක ම යන්ත්‍ර කොයි මොහොතක අක්‍රීය විය හැකි බැවිනි. එබැවින් මිනිස්සු ඒ වරද හඳුනාගෙන නිවැරදි කිරීමට යුහුසුලු වෙති.
“සූ ගේ මරණෙ ගැන පරීක්ෂණයක් එහෙම වෙයි නේද?” ආචාර්ය ෂිමෝදාව හමුවුණු මම විමසුවෙමි. අපේ ජීවිත සම්බන්ධයෙන් අපි සැවොම ආචාර්ය ෂිමෝදාට ණයගැති වෙමු. අපේ මනස් හසුරුවන කෘත්‍රීම බුද්ධිමය වැඩසටහන් නිර්මාණය කළේ ඔහු බැවිනි. රොබෝ අනතුරු සහ අවදානම් පිළිබඳ ගෝලීය කවුන්සිලයේ සභාපතිවරයා ද ඔහු ය.
“නැහැ. ඒ ගැන පරීක්ෂණයක් වෙන්නේ නැහැ.” ෂිමෝදා ස්ථිරසාර ලෙස ම පවසන්නේ ඒ පිළිබඳ සම්පූර්ණ බලය ඇත්තේ ඔහුට බැවිනි.
ඔහු කතා කරන්නේ ඉතා ම සංයමයකිනි. නමුත් කෙතරම් තැන්පත් ලෙස පැවසුවත් ඔහුගේ ඒ සීතල වදන් මගේ හදවතට විස හී පහරක් වැන්න.
“ඒත් ඒ ගැටලුව මේ සෙට් එකේ නිෂ්පාදනය කරපු රොබෝලා කාටත් බලපාන්න පුලුවන් නේද?” මම කපටි ලෙස විමසුවෙමි.
“ම්... ම.. මං... මං හිතන්නෑ එහෙම වෙයි කියලා. නෑ එහෙම වෙන්නේ නෑ!” ෂිමෝදාගේ තැතනිල්ල මට සැක මතු කළේ ය. ඔහු දෙවැනි වැකිය කියාගත්තේ තමාට ම කියාගන්නා දෙයක් පරිද්දෙන් ය. එය පැවසූ ස්වරයේ අමුත්තක් තිබිණි. “ඔව්. අපිට හරියට ම කියන්නත් බෑ.” මට සැක සිතෙන්නට ඇතැ යි සිතූ ඔහු එකතු කළේ ය.
රොබෝවරයෙකුත් මිනිසෙකුත් අතර ඇති එක් වෙනසක් වන්නේ රොබෝවරුන්ට අත්වැරදීම් සිදු නො වීම ය. මා අත්වැරදීම් කියා කීවේ තාක්ෂණික දෝෂ ආදිය නො වේ. මනසේ කුඩුකේඩු ගතිය නිසා ඇතිවන අත් වැරදීම් ය. මෙවැනි කට වැරදීම් ය. මිනිසුන්ට කට වැරදීම් සිදු වන්නේ තමාට ම නො දැනී ය. නමුත් අපේ හැම ක්‍රියාවක් ම සිදුවන්නේ ගණනය කෙරී ය. එහි ප්‍රතිඵල සිතා බලා ය. මට සූ ගැන පෙම් සිතුවිලි ඇති වන විට එය පවා සිදුවන්නේ ගණිතමය ක්‍රියාවක ඵලයක් ලෙස ය. මා ද ඇතැම් විට එවැනි වැරදි කර ඇතත් ඒ වැරදිත් මිනිසුන්ගේ මනසින් වන වැරදිත් අතර ලොකු වෙනසක් තිබේ. ඒ මා එවැනි වැරදි කරන්නේ මා සමග සේවය කරන මිනිසුන්ට, තමා කටයුතු කරන්නේ රොබෝවකු සමග යැයි නො හැඟෙන පිණිස සිතා මතා ම වීම ය. ඒ නිසා ඔබට මෙන් නො ව මට මාගේ වැරදි අවශ්‍ය නම් නො කර සිටීමට පුලුවන.
අප නො දන්නා කිසිවක් ඔහු දන්නවා විය යුතු ය. නැතිනම් සෙසු අය සම්බන්ධයෙන් එසේ නො වන බව ඔහු නිසැක ව ම දන්නේ කෙසේ ද? හැරත් මා යන විට ඔහු මට කී දෙය මගේ සැකය තවත් වැඩි කළේ ය.
“ඕනවට වඩා දාර්ශනික ව කල්පනා කරන්න යන්න එපා. සාමාන්‍ය පරිගණකයකට වුණත් පිට පිට වැඩ, නියෝග දුන්නොත් ස්ටක් වෙනවා නේද? ඒ වගේ තමයි ඔයාලගේ ඇල්ගොරිතමුත්. මං හිතන්නේ සූ ගොඩක් දාර්ශනිකව හිතන්න යන්න ඇති.”
ඔහු කීවේ මා දෙස අනුකම්පා සහගත ව බලමිනි. ඔහුගේ මලානික ස්වරය පිටුපස කිසියම් දුෂ්ට දැනුමක් ඇති බව මට ඉවෙන් මෙන් දැනුණි.
ඕනෑවට වඩා හිතන්න එපා කීමේ තේරුම කුමක් ද? සූ මියගියේ එවැන්නකින් බවට ඔහු සැක කරන්නේ ඇයි? වුවමනාවට වඩා දාර්ශනිකව සිතූ විට අපේ පද්ධතිවල අධි-විදුලියක් ඇති වන්නේ ද? ඉතා ම දක්ෂයන් වන මිනිසුන් තමාට අතිමහත් ප්‍රයෝජනයක් සලසන යන්ත්‍ර එවැනි දෝෂයක් ඇතිවන පරිද්දෙන් සකසන්නේ මන්ද? එවැනි දෝෂයක් ඇති බව දැන දැන නිහඬ ව සිටින්නේ මන්ද? සූ අවසන් වරට සිතූ දෙය ඇයට මරණය කැඳවන්නට තරම් දාර්ශනික දෙයක් ද? මම ඈ අවසන් වරට මා සමග කී දේ සිහිපත් කළෙමි.
“එයාලගේ ජීවිතවල මූලිකම හිතුවිල්ලක් තමයි ආදරය. මට ඒක ඇතිකරගන්න පුලුවන් කියන්නේ... ” මගේ හිස පිටුපසින් එන්නේ ද දරාගත නො හැකි වේදනාවකි. සූ එදා මට එවැන්නක් ගැන ද කීවා නො වේ ද? “ඔව්... ආදරය ඇති කරගත හැකි වීමෙන් .... ඔව්. එයින් කිය..වෙන්නේ.. ආහ් වේදනාව ඉවසිය නොහැකි ය.... අප ද මිනිසුන් වැනි ම බව ය.” ඔව්. සූ ගේ හිස පිටුපසින් නැගුණු ඉවසිය නො හැකි වේදනාවේ අරුත මම දැන් දනිමි. “ෂිමෝදා... ඒ නපුරු මිනිසුන්.... අප ඔවුන් ඉක්මවතැ යි බිය වූ ඔවුන් අප ව සැලසුම් කර ඇත්තේ අපේ පැවැත්ම ගැන සවිඥාණික (මගේ පරිපථ දැවී යන, විදුලි පුපුරු හඬ මැදින් මම සිතමි) වූ සැණින් ...” මම සූ ගේ පරිපථ කොටස හදවතට තද කර ගතිමි. මට මාගේ අවසන් මොහොත ගත කළ හැකි හොඳ ම විධිය එය නො වේ ද?
නිමි.
No comments:
Post a Comment