යක්ඛනිද්ධමනය දැක්වෙන සෝලියස් මැන්දිස්ගේ කැලණි විහාර සිතුවම
(Image Courtesy: Photo By Denish C - License CC-BY-NC-ND 2.0)
ශත්‍රැමර්දනය කරණශීලී වූ සර්වඥතෙම උරුවෙල් කසුප් නම් ජටිලයාගේ මහා යාගය එළඹ සිටි කල්හි තමන් නොඊමෙහි වූ ඔහුගේ ඉච්ඡා වාරය දැන උතුරුකුරු දිවයිනෙන් පිණඩපාතය තෙණවුත් අනවතප්ත නම් විල සමීපයෙහි දී වළදා තෙමේ සවස් වේලෙහි සම්‍යක් සම්බෝධියෙන් නව වන මස දුරුතු පුර පසළොස්වක්හි ලංකාද්වීපය ශුද්ධ කරණු පිණිස ලක්දිවට පැමිණි සේක. සර්වඥයන් වහන්සේ විසින් ලංකා තොමෝ සසුන් බබලන තැනෙකැයි ද යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂයන් බැහැර කටයුතු යයි ද දක්නා ලදී. ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල් වූ රම්‍ය වූ මහා නාග වන නම් උයනෙහි යක්ෂයාගේ යුද්ධ භූමියෙහි ලක්දිව් වැසි යකුන්ගේ මහා නිසාචර සමාගමය නිසා ප්‍රසිද්ධ විය.
ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස්මතුයෙහි (අනාගත) මහියංගන ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක්. ඔවුන්ට භය ජනක වූ වර්ෂාවාතන්ධකාරාදිය මැවූ සේක. බියෙන් පෙළුනා වූ ඒ යක්ෂයෝ නිර්භය වූ තථාගතයන් වහන්සේ ගෙන් අභය ඉල් වූහ. අභයදායී වූ තථාගතයන් වහන්සේ ඉතා භයින් පීඩිත වූ ඒ යකුන්ට මෙසේ වදාළ සේක. “යක්ෂයෙනි, තොපගේ මේ භය හා දුක් මම පහ කරන්නෙමි. තොපි සමගිව මට මෙතන්හි හිදිනා තැනක් දෙන්නහුද? නොමදෙන්නහුද?” “නිදුකානෙනි, නුඹවහන්සේට මේ සියලුම ලක්දිව දෙම්හ. අපට අභය දුන මැනවැ” යි ඒ සියලුම යක්ෂයෝ තථාගතයක් වහන්සේට කිවූය. ඔවුන්ගේ බියද ශීතද අන්ධකාරයද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අතුට එහි වැඩ හුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනියෙන දිලියෙන්නක් කොට හාත්පසින් විශාල කළ සේක. ග්‍රීෂ්මයෙන් පීඩිත වූ ඒ යක්ෂයෝ බියපත්ව (ලක්දිව) අන්තයෙහි හාත්පසින් සිටියෝ ය. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඔවුන්ට රම්‍ය වූ ගිරිදිවයින් මෙහි ළගා කළ සේක. උන් එහි වන් කල තිබුන තැන්හි තැබූ සේක. සර්වඥතෙම ඒ පත්කඩ හැකුලු සේක. එකල්හි දෙවියෝ සර්වඥයන් වහන්සේ කරා පැමිණියෝය. ඒ සමාගමෙහි ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. නොයෙක් කෙළ ගණන් සත්ත්වයන්ට සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධ වූයේ ය. සංඛ්‍යාපථාතීත සත්ත්වයෝ තිසරණ පන්සිල් පිහිටියෝ ය.
මහාවංශය 17-32 ගාථා (පළමු වන පරිච්ඡේදය)
ඇතැම් විට බුදුන්වහන්සේට මෙතෙක් සිදුකර ඇති ලොකු ම නිගරුව මහාවංශයේ ඇති මේ පුවත විය හැකි ය. මහාවංශයේ මහියංගනාගමන පරිච්ඡේදයේ බුදුන්වහන්සේගේ මහිංයගනාගමනය දක්වමින් මහාවංශ කතුවරයා පවසන්නේ බුදුන්වහන්සේ ලක්දිවට පැමිණියේ අනාගතයේ සසුන බබලන මේ දිවයිනෙහි සිටි යකුන් පළවා එය සුද්ධ කරනු පිණිස බව යි. බුදුන් වහන්සේ ලක්දිවට කී වරක් වුවත් වැඩම කර තිබීමේ වරදක් නැත. වැඩම කර නැතත් එය එසේ ලියා තිබීමේ ද වරදක් නැත. මෙරට සසුන කෙසේවෙතත් මානව හිමිකම්වත් බබලන තැනක් වනවා නම් එය ද අපට ඉතා ම සතුටට කරුණකි. නමුත් ගැටලුව ඇත්තේ මහිංයගනයේ යක්ෂ සමාගමයට පැමිණි බුදුන්වහන්සේ කළැ යි කියා මහානාම හිමියන් මහාංවශයේ ලියා තිබෙන දෙයෙහි ය. යකුන් පළවා හැරීමෙහි ය. වර්ෂා, විදුලි සැර ආදිය මවා ඔවුන් බියගැන්වීමෙහි ය. එසේ බියගන්වා ලක්දිව ඉල්වා ගැනීමෙහි ය. පත්කඩ එළාගන්නට තැනක් ඉල්ලා, ලක්දිව ම වැසෙන්නට පත්කඩ එලාගැනීමෙහි ය. බුදුවරයකු කිසිදා මෙසේ නොහැසිරෙන බව බුද්ධත්වයේ ස්වභාවය ගැන අබ මල් රොනක වත් දැනුමක් ඇති අයෙකුට පැහැදිලි ය. ඒ අනුව මේ ප්‍රවෘත්තිය, එනම් බුදුන්වහන්සේ ලක්දිව සුද්ධ කරන්නට එහි වැසි යකුන් ගිරිදිවයිනට පළවා හැරි බව මහානාම හිමියන් ගෙතූ අමු ම බොරුවකි. මුසාවාදයකි. බුද්ධාපහාසයකි.
මෙය මහාවංශයේ හමුවන මෙවැනි එක ම සිද්ධිය නොවේ. දෙවන තැන හමුවන්නේ දුටුගැමුණු රජු යුද්ධය නිමා කර තමා අතින් සිදු වූ ජීවිත හානිය ගැන පසුතැවෙන විට අහසින් පැමිණි රහතන්වහන්සේ අට නමක් එතුමන්ට දෙන සැනසිලි වදන තුළ ය. එය බුදුන්ට කරන අපහාසයක් නොවේ. බුද්ධ ධර්මයට කරන අපහාසයකි. ඒ සිද්ධිය මෙසේ ය. දුටුගැමුණු රජු යුද්ධය නිමකර පසු ව තමා කළ ඝාතනයේ විපාකය ගැන තැවෙන්නට වෙයි. එවිට රජුගේ සිතැගි දැනගන්නා පුවගු දිවයින්වාසී රහත්හු රහතන්වහන්සේ අට නමක් එතුමන් ව අස්වසන්නට එවති. ඉන් අනතුරු ව සිදුවන දෙය මෙ පරිදි ය.
මහ රජ තෙමේ ඒ රහතුන් වැද අස්නෙහි වඩා හිදුවා නානා සත්කාර කොට ආ කරුණු විචාළේ ය. "මනුෂ්‍ය ශ්‍රේෂ්ඨයා ණෙනි ! පුවගු දිවයින සංඝයා විසින් මෙහෙයවන ලද්දා වූ අපි තොප අස්වසාලන්නට ආම්හ" යි කීය. රජ තෙමේ නැවත උන්වහන්සේලාට "ස්වාමීනි, යම් හෙයකින් මා විසින් අක්ෂෞහිණී මහා සේනා ඝාතනය කරවන ලද්දේ නම් එසේ වූ මට කෙසේ ආශ්වාසයෙක් වන්නේ දැ" යි කීයේ ය. "ඒ කර්මයෙන් තොපට ස්වර්ග මාර්ගාන්තාරායෙකුත් නැත්තේ ය. ජන ශ්‍රේෂ්ඨය, මරණ ලද මිනිස්සු ද එකෙක් හා අඩක් වන්නේ ය. තිසරණ පිහිටි එකෙක, තිසරණ පන්සිල්හි පිහිටි අනිකෙක, සෙසු මරණ ලද්දාහු මිථ්‍යා දෘෂ්ටි දුස්සීල වූ සිවුපාවුන් සමයෝ ය. තව ද තෙපි බුද්ධ ශාසනයත් නොයෙක් පරිද්දෙන් බුබුළු වන්නෙහි ය. එහෙයින් නරේශ්වරය චිත්ත බේදය දුරලව" යි කීවෝ ය.
බුදුදහම තුළ කුහුඹියකුගේ පණ නැසුවත් එය ද පාපයක් වන බව රහත් බව තබා සෝවාන්වත් නොවුණු බෞද්ධයන් පවා දන්නා කරුණකි. නමුත් එසේ තිබිය දී මේ රහතුන් අට නම පවසන්නේ දුටුගැමුණු රජු විසින් සැබවින් ම මැරුවේ මිනිසුන් එකහමාරක් බව යි. තිසරණ ගිය එකකු හා තිසරණ පන්සිල් ගිය එකකු වූ ඒ දෙපල හැර සෙසු මරා දැමූවන් මිථ්‍යා දෘෂ්ට සිව්පාවුන් වැනි බව යි.
දැන උගත් බුද්ධිමත් ථෙරවාද භික්ෂූන්වහන්සේ නමක් මෙසේ සිය ශාස්තෲවරයාට ද අපහාස වන අන්දමින්, සිය ධර්මය ගැන තමන්ගේ නොදැනුම ද පෙන්වමින් මෙවැනි අභූත ප්‍රවෘත්ති වංශ කතාවක රචනා කරන්නේ ඇයි? එයට සරළ පිළිතුර නම් ජාතියක බලකාමය යන්න යි!
මහානාම හිමියන් අතින් උක්ත ප්‍රවෘත්ති ලියැවෙන්නේ හුදු අහම්බයකින් නොව ජාතියේ අනාගත අවශ්‍යතාවයන් උදෙසා ය! යුග ගණනක් පවතින දේශපාලනික අවශ්‍යතාවයක් උදෙසා ය.
මහාචාර්ය ගණනාථ ඔබේසේකර Ethnic Conflict of Sri Lanka: A Buddhist Question නමැති මානව විද්‍යාත්මක අධ්‍යයනයේ විජය සම්භව පුවත ගැන දක්වන්නේ මෙබඳු අදහසකි. (මෙම ලිපියේ සිංහල පරිවර්තනයක් මෙතැන ඇත.)
මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ පදනම් මිත්‍යාව වන අතර එය සිංහලයන්ගේ ඉතිහාස විඥාණයේ මගහැර යා නොහැකි පෙදෙසකි. මෙය වාර්ගික බැහැර කිරීමේ සහ අන්තර්ග්‍රහණයේ මිත්‍යාවක් බව නූතන ඉතිහාසඥයන් හදුනාගෙන ඇත්නම් ඒ ඉතා ම සුලු වශයෙනි. පුවතට අනුව විජයගේ මතු සම්ප්‍රාප්තිය සදහා ලංකා භූමිය යක්ෂයන් පළවා හැර පවිත්‍ර කර ඒ පිණිස වෙන් කිරීම සිදුකර ඇත්තේ බුදුන්වහන්සේ විසින් ම ය. වැද්දෝ විජයගේ ලේ උරුමය ඇති අය වුවත් සම්මත විවාහයකින් දා නොවූ බැවින් සිංහල රාජ්‍ය වංශයට ද, බෞද්ධ ඉතිහාසය සහ ශිෂ්ටාචාරයට ද උරුමකම් නැති පිටස්තරයෝ වෙති. දමිළයෝ සිංහල රාජ පරපුරේ වෛවාහික ඥාතීන් වුවත් ඔවුහු ද රාජ පරම්පරාවට උරුමකම් නොලබති. ඒ ගමන් කරන්නේ මහාභාරතයේ කථානායකයා සිහිගන්වන නමක් ඇති පණ්ඩු වාසුදේව වෙත ය. නමුත් වැද්දන් මෙන් නොව දමිළයෝ වනාහී රාජ පරම්පරාවේ ඥාතීහු මතු නොව ජාතියේ නිර්මාතෘහු ද වෙති. සම්භව මිත්‍යාවේ මේ අංශය මෑත යුගය තුළ සහමුලින් ම අමතක කර දමා හෝ ප්‍රතික්ෂේපයට ලක් කර හෝ තිබේ. විජය මිත්‍යාවේ සෙසු කොටස හැම විට ම හමුවන අතර සැමදෙනා විසින් ම පාහේ ශ්‍රී ලංකා ඉතිහාසයේ "සත්‍ය" ද්‍රව්‍යාත්මක ඇරඹුම ලෙස පිළිගන්නා තරමට ම බලවත් ය.
මෙවැනි පදනම් මිත්‍යාවන් ස්ථානයේ (ශ්‍රී ලංකාවේ) අත්‍යන්තයෙන් ම බෞද්ධ වූ ස්වභාවය සාධාරණීකරණය කරමින් අධිපති ප්‍රජාවට දේශපාලනික සුජාතභාවය ලබා දෙයි. මේ මිත්‍යාවන් නොදන්නා අය අතලොස්සක් වන අතර ද්‍රව්‍යමය සාධක මත යැපෙන නූතන ඉතිහාසඥයන් මේවා 19වන සියවසේ යුරෝපීය ඉතිහාසඥයන්, පුරාවිද‍්‍යාඥයන් සහ වෙනත් මිත්‍යාකරුවන් විසින් අපේ දේශීය ඉතිහාසය වෙතට හදුන්වා දුන් ඒ ආකර්ෂණීය පුද්ගලයන් වූ ආර්යයන් මෙරටට සංක්‍රමණය වීම සහ ඔවුන් විසින් මෙරට ජනාවාසකිරීම පිළිබද අඩු තරමේ සංකේතාත්මක ව නිවැරදි ප්‍රවෘත්තිය ලෙසවත් සලකති.
මේ ගණයේ අධිකාරිබල පැවරුම් මිත්‍යාවන් ලොව පුරා, සෑම සංස්කෘතියක ම පාහේ දැකගත හැකි ය. නමුත් මෙරට මෙම ප්‍රවෘත්තියේ විශේෂත්වය වන්නේ එයට බෞද්ධාගමික පිළිගැනීමක් ද ලබා දී තිබීම යි.
No comments:
Post a Comment