2024-10-06

මාර්ටින් වික්‍රමසිංහ කොපි කළා ද?

 

කලකට පෙර මට කෙටි-නවකතාවක අදහසක් පහළ විය. අදහස වූයේ කෘත්‍රිම සිහින දැකීමේ තාක්ෂණයක් නිර්මාණය කරන සමාගමක්, එමගින් මිනිසුන් තනාගන්නා ව්‍යාජ ලෝකවල ගිලෙන්නට ඔවුන්ට සලස්වා, සිය පාලනය ගෙන යන තත්ත්වයක් පිළිබද කථාවකි. මේ කථා පුවත Matrix සිනමා කෘතියේ කථා පුවතට අතිශයින් ම සමාන ය. නමුත් පුදුමසහගත කරුණ නම් මේ වස්තු බීජය මා තුළ පහළ වූ සමයේ මා Matrix සිනමා කෘතිය නරඹා තබා, එහි කථාපුවත අසාවත් නො තිබීම ය! මෙයින් පෙනෙන්නේ මීට පෙර සිදු ව ඇති කිසියම් නිර්මාණයකට සමාන කථා පුවතක් තවත් නිර්මාණකරුවකු තුළ ඇති වීම අහම්බයෙන් ද සිදුවිය හැකි බව යි. නමුත් යම් හෙයකින් මා මේ කථාව ලීවා නම්, වික්‍රමසිංහ චෙරිවත්තෙන් කොපි කර ගම්පෙරළිය ලීවා යැයි කියන අය, සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍යය ලීවේ ජපන් නවකතාවකින් කොපි කර බව කියන අය, මා එය ලීවේ ද Matrix සිනමා කෘතිය කොපි කරමින් බව කියන්නට තිබුණි. නමුත් සැබවින් මා එය ලීවා නම්, මා කරන්නට තිබුණු එකම වරද වන්නට තිබුණේ Matrix සිනමා කෘතිය බිහිවීමෙන් පසු එය ලිවීම පමණ ය. කිසියම් නිර්මාණයක් කරන්නට පෙර එවැන්නක් කොහි හෝ ලියැවී ඇත් දැයි බලා, එවැන්නක් ලියැවී නැත්නම් පමණක් ලියන්නට ගියහොත් නිර්මාණකරුවකුට අත්වන්නේ ද කිසිවකු වළලා නැති තැනක තම සිරුර වළලන්නට ගිය බමුණාට අත් වූ ඉරණම ම ය!


ලෝකයේ දෙතැනක සිටින නිර්මාණකරුවන් දෙදෙනකුට, එකිනෙකාගේ අදහස්වල කිසිදු ගනුදෙනුවකින් තොර ව වුව සමාන නිර්මාණ සිතුවිලි පහළ විය හැකි බව නිර්මාණකරණයේ යෙදෙන (නිර්මාණ සිතුවිලි අත්විදින) අයට නම් පුදුමයට කරුණක් නො වේ. මිනිස් චින්තනයේ සමානකම නිසාත්, ලෝකයේ බොහෝ ප්‍රදේශවල මුණගැසෙන සමාජ යථාර්ථය, චරිත, සමාජ සංසිද්ධි බොහෝදුරට එක සමාන වන නිසාත්, පවතින යථාර්ථය නිරූපණය කිරීමට තැත් කරන ලෝකයේ දෙතැනක වෙසෙන නිර්මාණකරුවන් දෙදෙනෙකුට එකිනෙකාගෙන් ස්වාධීන ව එක හා සමාන කථාපුවත් සිතට පැමිණීම විය හැකි ම දෙයකි. නිර්මාණකරුවන්ට මෙය රහසක් නොවුණත් නිර්මාණ අත්දැකීම් නැති හුදී ජනයාට මෙවැනි ඕනෑම තැනක් පෙනෙන්නේ එකකු අනිකාගෙන් කොපි කිරීමක් ලෙස ම ය.


යම් යම් සමානකම් නිසා කෘතියක් පෙර කෘතියක කොපියක් ලෙස ම නිගමනය කරතොත්, ලොව සිටින විශිෂ්ටත ම සාහිත්‍යධරයන් පවා කොපිකාරයන් බව කියන්නට ඔවුන්ට සිදුවනු ඇත.


ඇල්ඩුවස් හක්ස්ලි ලියූ Brave New World නමැති විද්‍යා ප්‍රබන්ධ නවකතාව සැලකෙන්නේ මෙතෙක් බිහිවුණු හොඳම ඉංග්‍රීසි නවකතා 100 අතුරින් ද එකක් ලෙසිනි. එම නවකතාව සහ ඊට පෙර පළවුණු රුසියානු ලේඛක යෙව්ගෙනි සම්යාතින්ගේ We නවකතාව අතර සමානකම් විචාරකයන් නිරීක්ෂණය කර ඇති අතර හක්ස්ලි සම්යාතින්ගේ කෘතියෙන් කොපි කළ බවට සමහරු චෝදනා ද කරති. එමෙන් ම ඊට පෙර පළ වූ පෝලන්ත විද්‍යා ප්‍රබන්ධ නවකතා දෙකක් දක්වන Antoni Smuszkiewicz විවෘත ලිපියකින් හක්ස්ලිට ලියා යවන්නේ ද මේ කෘති දෙක අතර සමානකම් කිසි ලෙසකින්වත් අහම්බෙන් විය හැකි යැයි නොසිතෙන බව ය. කෙසේ නමුත් හක්ස්ලි පැවසුවේ තමා මේ සිය නවකතාව ලියන සමයේ මේ කෘති ගැන අසාවත් නොතිබුණු බව ය.


බුකර් ත්‍යාගය පවා හිමි වූ නවකතාවක් වන සල්මන් රුෂ්ඩි ලියූ Midnight’s Children (පරි: මැදියමේ දරුවෝ - කුසුම් දිසානායක) නවකතාවේ බොහෝ තැන්, නොබෙල් ත්‍යාගය ලැබූ ජර්මන් නවකතාකරුවකු වන ගූන්තර් ග්‍රාස්ගේ ටින් ඩ්‍රම් නවකතාවේ බොහෝ තැන්වලට 'ණය' බව සමන් වික්‍රමාරච්චිගේ ලිපියක සදහන් ව තිබිණ. ඒ පොත් දෙක ම කියවූ අපි ද ඒ ප්‍රකාශයේ සත්‍යතාවය දනිමු. නමුත් රුෂ්ඩි යනු කොපි කළ කෙනෙකු බව හෝ දුර්වල නිර්මාණකරුවකු බව මෙයින් අදහස් වේ ද? කිසිසේත් ම අදහස් නොවේ. වික්‍රමසිංහ සම්බන්ධයෙන් ද කිව යුත්තේ එය යි.


මාක් ට්වේන්ගේ Prince and the Pauper හි කථා පුවත මහාවංශයේ සුභ සහ යස කථාපුවතට තරමක් සමාන ය. කුමාරයා සහ යාචකයා කෘතියේ සිදුවන්නේ, සෙල්ලමට තම තමන්ගේ ඇදුම් මාරු කරගන්නා, එක ම මුහුණුවර ඇති රජ කුමරකුත් හිගන කොලුවකුත් අතර පටලැවිල්ලකි. රජ ගෙහි අය සිතන්නේ රජ ඇදුමින් සිටින හිගන කොලුවා කුමරු යැයි කියා ය. රජගෙහි සිරිත් ගැන ඔහුගේ නොදැනුම රජපවුල වටහා ගන්නේ සිය පුතුට ඇති වූ අමතක වීමේ දෝෂයක් ලෙස ය. වැරදීමකින් මහමගට වැටී, සිගන ඇදුමින් හිදිමින් තමන් රජ කුමරු බව කියන, සැබෑ කුමරු විදින ගැහැට සමච්චල අපමණ ය. සුභ යස කථා පුවතෙහි දී වන්නේ ද, සුභ රජු තමාට සමාන මුහුණුවර ඇති දොරටුපාලයා සමග ඇදුම් හුවමාරු කරගෙන, ඔහු රජ පුටුවේ හිදුවා, තමා දොරටුපාල වෙස්ගෙන හිදීමේ සිරිත දුරදිග ගොස්, විහිලුව මතක් කර හඩ ගා සිනාසෙන සැබෑ රජු ව, මරන ලෙස රජ වෙසින් සිටින දොරටුපාලයා අණ කිරීම ය. ඇති තතු නොදත් රාජ පුරුෂයෝ ද, දොරටුපාල අණ පිළිපදිති.


වික්‍රමසිංහ චෙරිවත්තෙන් කොපි කර ගම්පෙරළිය ලියූ බවට ගම්පෙරළියේත් චෙරිවත්තේත් යට කී සමානකම් හේතුවෙන් නිගමනය කරන අයට, සුභ හා යස පුවතේත් ප්‍රින්ස් ඇන්ඩ් ද පෝපර් කථා පුවතේත් සමානකම් අනුව බැලුවොත් මාක් ට්වේන් ද මහාවංශයෙන් කොපි කර ඇති බව නිගමනය කිරීමට සිදු වේ. නමුත් ඔවුහු කිසි විටෙකත් එසේ නො පවසති. වික්‍රමසිංහගේ කෘති සම්බන්ධයෙන් පවසන දෙය විදෙස් ලේඛකයන්ගේ කෘතිවල පුවත් අපේ පැරණි පුවත්වලට සමාන වන අවස්ථාවන්හි අදාල නොකිරීමෙන් ඔවුන් දිනාගැනීමට බලාපොරොත්තු වන දෙය ඉතා ම පැහැදිලි ය.


ට්වේන්ගේ කථාවේ හා සුභ හා යස පුවතේ සමානකම් කොපි කිරීමක් ම නොවන බව කියන්නේ නම් හෝ මූලික සිද්ධියෙහි යම් සමානකමක් තිබුණත් සිය පරිකල්පනයෙන් කළ වෙනස්කම් බොහොමයක් ම ඇති බවත් පවසන්නේ නම්, වික්‍රමසිංහගේ ගම්පෙරළිය සම්බන්ධයෙන් ද ඒ තර්කය ම අදාල කිරීමට බාධාවක් නැත. නමුත් අපේ ලේඛකයෙක් තරමකින් හෝ සාර්ථක කෘතියක් කළැ යි කීම අපේ ම සමහර විචාරකයන්ට දරා ගන්නට, උහුලා ගන්නට බැරි දෙයකි. අප ව පුරුදු පුහුණු කර ඇත්තේ ද පිටින් අප දෙයක් ණයට ගත් බව සිතන්නට මිස, අපෙන් දෙයක් පිටට ගිය බව සිතන්නට නොවේ. (මේ අදහස අරිසෙන් අහුබුදුවන්ට පවරන්නකි.) නිදසුනක් ගනිමු. සරච්චන්ද්‍රයන් මනමේ කෘතිය ලීවේ ජපන් නවකතාවකින් (එය නවකතාවක් ද නාට්‍යයක් ද යන්නත්, එහි නම සහ කතුවරයාත් මට මතක නැත.) බව සමහරු කියති. ඒ ඒ දෙකෙහි සමානකම් පෙන්වමිනි. ඒ සමානකම් ද දැවැන්ත සමපාතවීම් නොවේ. තේමාත්මක සමානකම් ය. කෙසේවෙතත් එවැනි කෘතියක් ජපාන සාහිත්‍යයේ ඇති නම් සහ එය මනමේ නාටකයට සමාන නම්, එය නිසැක ව ම චුල්ල ධනුර්ධර ජාතකයට ද සමාන විය යුතු ය. මන්ද යත් මනමේ නාටකය යනු චුල්ල ධනුර්ධර ජාතකය නාට්‍යයට නැගීමක් බැවිනි. නමුත් අදාල ජපන් කතාවෙන් සරච්චන්ද්‍ර ආභාෂයක් ලැබූ බව විනා චුල්ල ධනුර්ධර ජාතකයෙන් ඒ ජපන් කතාව ආභාෂයක් ලබා ඇතැ යි කියා නම් ඔහු නිකමටවත් නො කියති.


මම මෑතක චෙකොෆ්ගේ රුසියානු නාට්‍යයේ ඉංග්‍රීසි පරිවර්තනය කියවීමි. ගම්පෙරළිය ගැන මගේ මතකය සමග සසදා බැලීමි. මට නම් ඔය කියන ආකාරයේ එකම ගතියක් නම් ඒ කථා දෙකේ දැකගන්නට නොලැබුණි. ගම්පෙරළියේ ඇතැම් සිද්ධි හා චරිත චෙරිවත්තේ ඇතැම් සිද්ධිවලට හා චරිතවලට සමාන කර දැක්විය හැකි බව සැබෑ ය. නිදසුන් ලෙස මහගෙදර ඉරණම සහ චෙරිවත්තේ ඉරණම සමාන කර දැක්විය හැකි ය. මියගිය බව සිතාගෙන සිටි එහෙත් පසු ව මිය ගොස් නැති බව හෙළිවන ප්‍රංශයේ සිටි රනෙව්ස්කයාගේ පෙම්වතා සම්බන්ධ සිද්ධිය ඇවැසි නම්, ජිනදාස මියගොස් ඇතැ යි සිතා වෙනත් විවාහයක් කරගත් පසු ව ජිනදාස ජීවතුන් අතර බව දැනගන්නා නන්දාට සමාන කළ හැකි ය. පියල්ගේ චරිතය ට්‍රොෆිමොව් හා ලොපාකින් යන චරිතවල සංකලනයක් ලෙස දැකිය හැකි ය. නමුත් මේ සියලු සමානකම් ඉතා දුර්වල, සුලු සමානකම් පමණි. මේ සමාන යැයි කියූ චරිත/සිද්ධි ම ගෙන බැලුව ද ඒවා අනික් කෘතියේ අදාල චරිතයෙන්/සිද්ධියෙන් වෙනස් කරවන තැන් බොහෝ වෙයි.


කෘති දෙකෙහි සිද්ධි සමුදායත් සමග බලන විට මෙ වැනි තැන් දෙක තුනක සමානකම මත එකකින් අනික ආභාෂය ලබා ඇතැ යි නිගමනය කිරීම වැරදි බව පෙනෙයි. මක්නිසාද යත් එම සිද්ධි සමුදායෙන් 95%ක් ම එක් කෘතියක සිද්ධිවලට වඩා වෙනස් වන නිසා ය. ඒ අනුව එය මොන විදියකින්වත් ඒ කතාව ම නම් නො වේ.


ගම්පෙරළියේ තිස්සගේ චරිතය බිහි ව ඇත්තේ වික්‍රමසිංහගේ ම චරිතය ඇසුරිනි. එවැනි විවේචනාත්මක මත දරන චරිතයක් චෙරිවත්තෙහි හමු නො වේ. අනුලා වැනි අවිවාහක ව සිටින එහෙත් සිය ඥාතීන්ගේ දරුවන්ට මව් වන චරිත ද, අපට හමු වන සුවිශේෂ චරිත ප්‍රවර්ගයකි. ඇයගේ චරිතය වික්‍රමසිංහ ඉතා සුවිශේෂ ලෙස නිරූපණය කර ඇත. චෙරිවත්තෙහි එවැනි චරිතයක් නිරූපණය නොකෙරේ. ගම්පෙරළියෙන් කාලකටත් අඩු, මාස කිහිපයක කාලයක් තුළ පමණක් ගෙවී යන චෙරිවත්තෙහි නැති සිද්ධි, අවස්ථා චරිත, පරම්පරා කිහිපයක් පුරා ගලා යන, නවකතා ත්‍රිත්වයක පළමු වැන්න වන ගම්පෙරළියේ හමු වෙයි. එහි ඉතිරි කොටස් දෙකට සමාන සිද්ධි හා චරිත සහිත කෘති ද රුසියානු සාහිත්‍යයෙන් හමු නො වේ. කලියුගයේ හා යුගාන්තයේ දී මෙන් පසු පරම්පරා සමාජ-දේශපාලන වෙනස්වීම් සමග ගමන් කරන ආකාරය ද චෙරිවත්තෙහි නැත. වඩාත් ම වැදගත් කරුණක් නම් වැඩවසම් සමාජය ධනවාදී සමාජයට පරිවර්තනය වීමට අමතර ව ගම්පෙරළිය තුළ අධිරාජ්‍යවාදය හේතුවෙන් බටහිර සිරිත් විරිත් අනුකරණය නිරූපණය වීමත්, චෙරිවත්තෙහි එවැන්නක් හෝ ඒ වැනි සිදුවීම් නැති වීමත් ය. එය චෙරිවත්තට තබා රුසියානු සාහිත්‍යයට කොහෙත් ම නිරූපණය කරන්නට බැරි ය. මක් නිසා ද යත් රුසියාව එවැනි දෙයකට කිසිදා මුහුණ නො දුන් බැවිනි. මේ සියලු කරුණු විසින් කෘති දෙක බරපතල ලෙස වෙනස් කරන බව විවෘත මනසින් හා සිහිබුද්ධියෙන් බලන කෙනකුට පෙනී යා යුතු ය. (ඒ එසේ නම් මෙවැනි කතාවක් සමාජගත වී ඇත්තේ ඇයි? එයට හේතු විය හැකි මානසික හේතු ගැන අපි වෙන ම කතා කරමු.)


එමෙන් ම වික්‍රමසිංහගේ නවකතාවේ චරිතවලට හා සිදුවීම්වලට පදනම් වූ ඔහුගේ පවුලේ ඥාතීන් හා සිද්ධි ගැන ඔහුගේ ස්වයංචරිතාපදානමය ලියවිලි වලින් සොයාගත හැකි ය.


ගම් පෙරළිය ලියනු සදහා මගේ කල්පනාව පිබිදුණේ කිසියම් අත්දැකීම් මාත්‍රයක් නිසා නො වේ. කයිසාරුවත්තේ පවුලේ ජීවිතය නිසයි. ඒ පවුල පිළිබද කතාව රචනයට වස්තු කොට ගත්තේ මගේ ළග ම නෑයන් පිළිබද මගේ අත්දැකීම්. මගේ මව්පියන්, සහෝදරියන්, මහප්පා, බාප්පලා, මාමලා ආදින්ගේ පවුල්වල උදවිය ද මා ඉතා කුලුපගව ඇසුරු කළා. ඔවුන් පිළිබද අත්දැකීම් තමා ගම්පෙරළිය රචනා කරන්නට මගේ කල්පනාව පිබිදවූයේ.


- මාර්ටින් වික්‍රමසිංහ


. වී. සුරවීරයන්ගේ නිර්මාණ පසුබිම පොතේ උධෘත කර ඇති වික්‍රමසිංහයන්ගේ කියුමක් සිංහල භාෂාව හා සාහිත්‍යය 11 ශ්‍රේණිය පෙළපොතේ එසේ උපුටා දක්වා ඇත. ගම්පෙරළියට වසර 75ක් සැපිරීම නිමිත්තෙන් පළ කෙරුණු සිංහල BBC ලිපියකට ලේඛක දයාපාල ජයනෙත්ති ද පවසා තිබුණේ මෙවැන්නකි.


කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ චරිතය ගොඩනගලා තියෙන්නේ පියාගෙයි මහප්පාගෙයි චරිත ලක්සණ එකතු කරලා. මාතර හාමිනේගේ චරිතය අම්මා ඇසුරෙන් නිර්මාණය කළේ. නන්දා සහ අනුලා චරිත එයාගේ අක්කලාගේ චරිත අනුසාරයෙන් ගොඩනගලා තියෙන්නේ. ජිනදාස කියන්නේ මාර්ටින් වික්‍රමසිංහගේ අක්කාගේ මහත්තයා. එයා සිංහලේ ගිහින් මැලේරියාව හැදිලා රත්නපුරේ ඉස්පිරිතාලෙක තමා මැරිලා තියෙන්නේ. මට රත්නපුරේ ඉස්කෝලෙක වැඩසටහනකට ගිය වෙලාවේ විදුහල්පතිවරයෙක් කිව්වා තාමත් ජිනදාසගේ දරුවන් දෙදෙනෙක් රත්නපුරේ ජීවත් වෙනවා කියලා.


ගම්පෙරළිය පමණක් නොව මඩොල්දූවේ පුවත මෙන් ම වික්‍රමසිංහගේ ඇතැම් කෙටිකතාවල පුවත් ද විදෙස් කෘතිවලට සමානකම් දක්වන අවස්ථා ඇත. නිදසුන් ලෙස මඩොල්දූවේ ප්‍රධාන සිද්ධි හා චරිත, මාක් ට්වේන්ගේ හකල්බරි ෆින් පොතට තරමක් සමාන ය. ටොම් සෝයර් මෙන් ම හකල්බර් ෆින්හි ද විස්තර වන්නේ ළමුන් දෙදෙනකුගේ දගකාර වික්‍රමයන් ය. මඩොල්දූව ද එබදු ය. උපාලිගේ චරිතය ටොම්ගේ චරිතයට සමාන වන අතර හකල්බරි ෆින්ගේ සහ ජිම්ගේ (ටොම් සෝයර් හා හකල්බරි ෆින්හි සිටින වහලා) චරිතවල සංකලනයක් මඩොල්දූවේ ජින්නා වෙතින් දැකිය හැකි ය. හකල්බරි ෆින්ගේ වික්‍රම පොතෙහි මූලික පුවත වන්නේ ද මඩොල්දූවේ මෙන් ම, ගගක් මැද පිහිටි දූපතකට යන ගමනකි. එහි දී රැට්ල් ස්නේක් කෙනකු ජිම්ට දෂ්ට කරන අතර හක් ඌව මරා දැමීමට තැත් කරන විට ජිම් එය වළක්වන්නේ සිය මිත්‍යා විශ්වාසයක් පවසමිනි. රැට්ල් ස්නේක් කෙනකු මැරීම විපාක ගෙන දෙන්නක් බව පවසමිනි. මඩොල්දූවේ දී නයෙකු දෂ්ට කිරීම සම්බන්ධ සිද්ධිය ද සමග මෙහි සමානකම විමසා බැලිය හැකි ය.


එමෙන් ම වික්‍රමසිංහගේ කුවේණිහාමි කෙටිකතාව ද, ලියෝ තෝල්ස්තෝයිගේ අවසන් නවකතාව වන The Resurrection නවකතාවේ මූලික පුවතට සමාන ය. මේ පුවත් දෙකේ ම සිය සැමියාගේ ගැහැට ඉවසිය නොහැකි ව ඔහු ව ඝාතනය කරන ස්ත්‍රියක් අධිකරණ විඊාගයේ දී වරදකාරිය කරන ජූරියේ ප්‍රධානියා ඇය මුලින් ම දූෂණය කරමින් එතැනට ඇද දැමූ කෙනා වෙයි. මේ ඇතැම් තැන් ඔහු මේ විදෙස් කෘතිවලින් ලැබූ ආභාෂය නිසා වන්නට ද ඇත. නමුත් ආභාෂයත් කොපි කිරීමත් යනු එකක් නොව දෙකක් බව මතක තබා ගත යුතු ය. ඇතැම් විට ඒ කතාවලින් ලැබූ උත්තේජනයෙන් වීමට ද පුලුවන. මේ තුන සබදතා තුනකි.


No comments:

Post a Comment