මාක්ස්වාදය කියන්නේ මොකක්ද? එක වාක්‍යයකින් කියපං.
පාසල් මිතුරෙක් මට එහෙම කිව්වේ මම මාක්ස්වාදය අදහමින්, විප්ලවවාදී හැගුම්වලින් ඔලුව පුරවාගෙන හිටි යුගයක. ඒ පාසල් වියේ 9-11 වසරවල. (ඉන්පසු ඒ අදහස් නැතිවුණා නම් නෙවෙයි. නමුත් එදා මෙන් 71 ඔලුවේ තියාගත් මතවල නැහැ. තරුණ කාලේ විප්ලවවාදය කියන්නේ දොරවල් නැති සාලාවක් කියල කවුදෝ වැඩිහිටියෙක් කීවා මතකයි.)
මචං මාක්ස්වාදෙ ප්‍රධාන සංකල්ප තුනක් තියෙනවා...
නෑ. නෑ. මේ අපිට ඔච්චර අහන්න ඕන නෑ. එක... වාක්‍යයෙකින් සරල කියපං. ඕක මොකක් ද? කියලා. එච්චරයිනේ...
එදා මට මේ අභියෝගයට මුහුණදෙන්න බැරිවුණා. කොහොමද අර සංකල්ප සියල්ල තනි වචනෙකින් කියන්නේ?
එදා මට පිළිතුරක් නැතිවුණත් මාක්ස්වාදය එක වාක්‍යයකින් කියන්න කිව්වොත් බොහොම සතුටින් දෙන්න පුලුවන් පිළිතුරක් අද මට තියෙනවා.
මාක්ස්වාදය කියන්නේ ඉතිහාසය පිළිබද විද්‍යාවට. ඉතිහාසය විද්‍යාවක් විදියට දකිනවට. ඒ අදහස ලැබුණේ දීප්තිගේ දෙසුමකින්. (බොරු කියන්න ඕන නෑනේ, මට ඔහු කියන වෙන අනං මනං නං තේරෙන්නේ නෑ. නමුත් මේ දේ නම් පැහැදිලියි)
විද්‍යාව කියන්නේ සොබාදහමේ නැවත නැවත සිද්ධ වෙන දේවල රටාව ග්‍රහණය කරගෙන ඒ අනුව අලුත් තත්ත්වයක සිදුවන දේ කීමයි කියන්න පුලුවන්. එක්තරා අරුතකින් හැම විද්‍යාවක ම වෙන්නේ ඒකයි. අවස්ථා ගාණක් බලල එය පැහැදිලි වෙන පොදු සූත්‍රයක්, රීතියක්, න්‍යායක් ගොඩනගනවා. ඉන්පස්සේ එය ආදේශ කරමින් එවැනි වෙනත් තත්වයන් පැහැදිලි කරගන්නවා.
මාක්ස්වාදය තුළත් වෙන්නේ මෙවැන්නක්. ඉතිහාසය පුරා සිදුවුණු දේ නිරීක්ෂණය කරනවා. එතකොට දකිනවා ඉතිහාසය පුරා නිෂ්පාදනය සිදුකළ පහළ ස්ථරයකුත්, ඔවුන්ගෙන් යැපුණු ඉහළ ස්ථරයකුත් සිටි බවත්. ඒ වගේම මේ පහළ ස්ථර තමන්ට ඉහළින් සිටි ස්ථර පෙරළලා දාපු වෙලාවල ඊට වඩා නිෂ්පාදන මාර්ග දියුණු වුණු නව සමාජ ක්‍රම බිහිවුණු බවත්.
අපි පොඩ්ඩකට ජීවවිද්‍යාව දිහාට හැරෙමු. සීලන්ටරේටාවන් බහිස්ස්‍රාවී ඵල පිටකරන්නේ සෛල කෙළින්ම ඒවා බාහිර ජලයට විසරණය කිරීමෙන්. ඔවුන්ට ඒ වෙනුවෙන් පද්ධතියක් තිබුණේ නැහැ. නමුත් ප්ලාටිහෙල්මින්තේස් සතුන් වෙනකොට බහිස්ස්‍රාවී අවයව විදියට සිළු සෛල හටගන්නවා. ඔවුන් තමයි බහිස්ස්‍රාවී අවයව මුලින් ම ඇති වූ සතුන්. ඒ වගේම ඊළග අදියරයක් වෙන නෙමටෝඩාවන් තුළ මුලින් ම මුඛය-ගුදය සහිත සම්පූර්ණ ආහාර මාර්ගයක් හටගන්නවා. ඒ වගේ ම ඊළග අදියර තුළත් දකින්න ලැබෙනවා. වෙන විදියකින් කියනවා මුල් අවධියකට වඩා පසු අවධියක් වඩාත් සංවර්ධනය වෙලා තියෙනවා වගේ ම ඒ සංවර්ධනය ඔවුන් ඊට පසු අවධිවලටත් ගෙනගිහින් තියෙනවා. සෑම ජීවී වංශයක ම බිහි වූ පිළිවෙළින් ඔවුන්ගේ පද්ධති විකසනය අධ්‍යයනය කළොත් මේ බව පැහැදිලි වේවි. හැමවිට ම මෙලෙස ම නොවුණත්.
මිනිස් ශිෂ්ටාචාරයේ අවධිත් මේ සත්ව පරිණාමය වගෙයි. මුල් ම යුගය වන වහල් යුගයට වඩා පසුව එළඹුණු වැඩවසම් යුගය සංවර්ධිතයි. මොකද ප්‍රවේණිදාසයා වහලා මෙන් මුලු ජීවිතයෙන් ම හිමියකුට බැදෙන්නේ නැහැ. ඔහු බැදෙන්නේ ඉඩමට පමණයි. ඔහු වහලාට සාපේක්ෂව නිදහස් සත්ත්වයෙක් වගේ ම එය නිෂ්පාදන ක්‍රමවේද සම්බන්ධයෙන් පෙරට වඩා දියුණු තත්ත්වයක්. වෙන විදියකින් කියනවා නම් වහල් ක්‍රමය තුළ තිබුණු පුද්ගල බැදීම ප්‍රවේණිදාස ක්‍රමය තුළ දේපල සම්බන්ධ බැදීමකට පෙරලුණා. ඊළග අදියරය වඩාත් සංවර්ධිතයි. ඒ තත්ත්වය තුළ නිෂ්පාදන මාර්ග සංවර්ධනයට පෙර තිබුණු බාධක (ප්‍රවේණිදාසයා ඉඩමට බැදී සිටීම නිසා ඔහුගේ ශ්‍රමය වඩාත් පුළුල් ව භාවිතා කළ නොහැකි වීම සහ එම ක්‍රමය තුළ ඉඩම් විකිණීම සම්බන්ධයෙන් තිබුණු බාධක) ඉවත් වී ඔහු වඩාත් නිදහස් පුද්ගලයෙක් බවට පත්වෙනවා. දැන් ඔහු කිසිවකටත් බැදී නැහැ. එදාට වේල සොයාගත යුත්තේ එදාට ශ්‍රමය සැපයීමෙන්. ඔහු නිර්ධනයෙක්. ශ්‍රමය හැරෙන්නට වෙන කිසිම දේපලක් ඔහු සතු ව නැහැ. ප්‍රවේණිහිමියා වෙනුවට දැන් ඉන්නේ ධනපති කර්මාන්ත හිමියෙක්. එය නිෂ්පාදන මාර්ග සම්බන්ධයෙන් අස්වැන්නෙන් කොටසක් ගත් තත්ත්වයට වඩා දියුණු තත්ත්වයක්.
ඉතින් අපි මේ අදුරගත්ත නියාමය අනාගතයටත් ආදේශ කරනවා. අනාගතයේ සිදුවන දේ ඒ අනුව අපෝහනය කරනවා. මේ සමාජ ක්‍රමය තුළත් විවිධ ප්‍රතිවිරෝධතා තිබෙනවා. ඒවා ජයගන්නට එම සමාජ ක්‍රමය අසමත් වුණු විට එයත් වෙනත් තත්ත්වයක් බවට පෙරළෙන බවයි මාක්ස් කල්පනා කළේ. මේ සමාජයේ තියෙන පන්ති දෙක වන (මේක දැන් නම් අදාල වෙන්නේ නැහැ, අද පංති වගේ අනන්‍යතා වියැකිලා නිසා.) ධනපති හා නිර්ධන දෙකෙනුත් පීඩිත (සහ එනයින් ම විප්ලවීය) පන්තිය වන නිර්ධන පන්තිය නව සමාජ ක්‍රමයක් බිහිකරයි කියලා. එවිට බිහිවන සමාජය දියුණු ම එක විය යුතු යි. ඉතිහාසයේ, මානව ශිෂ්ටාචාරයේ අවසන් අදියර විය යුතු යි. මොකද මීට පෙර සිදුවුණු එවැනි අවස්ථාවල කෙමෙන් කෙමෙන් නිෂ්පාදන මාර්ග දියුණු වීමයි වුණේ. පංති ප්‍රතිවිරෝධතා කෙමෙන් කෙමෙන් අඩු වීමයි වුණේ. ඒ අනුව ඊළඝ එක පන්ති විරහිත සමාජයක් වන බව මාක්ස් නිගමනය කළා.
නමුත් මේ තුළ ධනවාදය ලබාගත් ජයග්‍රහණ කිසිවක් අහිමි වෙන්නේ නැහැ. ජීවී පරිණාමය තුළ වගේ ම පෙර සංවර්ධන අවධි ලබාගත් ජයග්‍රහණත් රැකගෙනයි සමාජවාදී සමාජ ක්‍රමය බිහිවෙන්නේ. ඒ කියන්නේ දියුණු ධනවාදී රටවල තියෙන ලිබරල් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, තාක්ෂණික ජයග්‍රහණ, අධ්‍යාපන ක්‍රම මේ කිසිවක් සමාජවාදී රටවල් තුළ නැතිවෙන්න බෑ. අද වෙලා තියෙනවා වගේ. නරක දේවල් ටික හැලෙනවා. එච්චරයි.
No comments:
Post a Comment