මාක්ස්වාදය ලෝකයට ඉතාමත් ප්‍රගතිශීලී බලපෑම් කළ මතවාදී දහරාවක්. මාක්ස්-එංගල්ස්ගේ ඇතැම් අදහස් ගැන කෙතරම් ගැටලු තිබුණත් මාක්ස්වාදී චින්තන ගුරුකුලය තුළින් එදත් ආ සහ අදත් එන මතවාදී ආලෝකය නූතන ලෝකයේ පිළිගත් ඇගයුම් වගේ ම ශිෂ්ටාචාරයේ සංවර්ධනයටත් උර දී තියෙනවා. මාක්ස්වාදී චින්තනයේ ප්‍රගතිශීලීත්වය ඔවුන් විවිධ ක්ශේත්‍ර කෙරෙහි දක්වපු ආකල්ප සහ විග්‍රහය තුළින් පෙන්වන්න පුලුවන්. මාක්ස්වාදය කියන්නේ දේශපාලන අර්ථ ක්‍රමයක් ම නෙවි. නව සමාජ ක්‍රමයක් පිළිබද අදහසක්. ඉතින් සමාජ සංවිධානයක හැම අංශයක් ම පිළිබද මාක්ස්වාදීන් අදහස් දැක්වුවා. මේ සියල්ල නූතනවාදී-ලිබරල් මතවාදයන් සමග අතිනත් ගන්නා බව විමසන විට ඔබට පෙනේවි. එනම් මාක්ස්වාදය ධනවාදය සහ ලිබරල්වාදය ලබාදෙන සමාජ විමුක්තිය (ආර්ථික සමානාත්මතාවය ඇති කිරීමෙන්) දියුණු කරන්නක් මිස නැති කරන්නක් නොවන (නොවිය යුතු) බවයි. මෙය සමාජවාදීන් යැයි කියාගනිමින් මාක්ස්වාදය කිච කරන ඒකාධිපතියන් (කිම් ජොන්ලා, කස්ත්‍රෝලා වගේ ම මාඕලෝත්) වගේ ම එවැනි දේ පෙන්වමින් සමාජවාදය ආඥාදායක-නිර්ප්‍රජාතාන්ත්‍රික පාලන තන්ත්‍රයක් බව පෙන්වන්නට හදන මාක්ස්විරෝධීනුත් අවබෝධ කරගත යුතු දෙයක්.
කලාව සහ කලාකරුවාගේ කාර්යභාරය පිළිබද මාක්ස්වාදී මතය
මාක්ස්වාදීන් කලාව, කලා කෘති, කලාකරුවාගේ කාර්යභාරය අගය කළා වගේ ම එහි නිදහස වෙනුවෙන් පෙනී සිටියා. මාක්ස්වාදී න්‍යායට අනුව සමාජයක් සංස්කෘතිය ගොඩනැගෙන්නේ එහි ආර්ථිකය (නිෂ්පාදන බලවේග) පදනමක් ලෙස යොදාගනිමින්. ඒ මත ගොඩනැගෙන මතු මහලක් ලෙසයි. සමාජයක් සංස්කෘතිය ගොඩනගන්නේ නිෂ්පාදන බලවේග හිමි පංතිය. ඔවුන්ගේ අවශ්‍යතාවන් අනුව තමයි ඒ සමාජයේ සංස්කෘතිය ගොඩනැගෙන්නේ. ඒ අනුව ධනපති සමාජයක කලාවත් ධනපති පංතියේ රුචිය, දේශපාලන අවශ්‍යතා නියෝජනය කරන්නක්. එහි කලාකරුවාත් ඒ බලවේගවල මතය කියාපාන්නෙක්. සෘජුව ම නෙවෙයි, ඔහුගේ කලා කෘතියේ සමාජ විග්‍රහය පදනම් වන්නේ එම යුගයේ ධනපතියන් ලෝකය දකින ආකාරය මතයි. එම යුගයේ නිෂ්පාදන බලවේග සංවර්ධනය වීමට ධනවාදය ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය දෙය වෙනුවෙනුයි ඔහු නොදැනුවත් ව හෝ පෙනි සිටින්නේ. නමුත් කලාකරුවා ගොඩනගන චිත්‍රය තුළ ඒ දෘෂ්ටිය නොතකා අදාල සමාජයේ තත් ස්වරූපය නිරූපණය වෙනවා. නිදසුනක් ගත්තොත් මාර්ටින් වික්‍රමසිංහ ගම්පෙරළිය ලියන්නේ මාක්ස්වාදයක්/සමාජයවාදයක් වෙනුවෙන් නෙවෙයි. නමුත් ඔහු ඒ තුළින් එදා සමාජයේ සිදු වූ පෙරලිය, ගැමි සමාජ ක්‍රමය හා වැඩවසම් පංතිය බිද වැටී නව ධනපති පංතියක් නාගරික සමාජයක් බිහිවීම නිරූපණය කළා. කලාව සමාජය හා එහි වෙනස්කම් හදුනාගැනීමේ කැඩපතක් ලෙස සලකන මාක්ස්වාදයකුට මෙය ඉතා වැදගත් විග්‍රහයක්. ඒ අනුව වික්‍රමසිංහ නොදැනුවත් ව ම ඔහු ඔවුන්ගේ වීරයෙක්. වික්‍රමසිංහ මේ පෙරළිය නිරූපණය කළේ ධනපති පංතියට ආශිර්වාදයට පමණක් විය හැකි යි. මේ සමාජයට නිර්ධන පංතියෙන් පහරක් එල්ල වීම කිසිදා ඔහු අපේක්ෂා නොකළා විය හැකි යි. නමුත් ධනපති සමාජයක් ගොඩනැගීම සමාජවාදයේ පූර්වඅවශ්‍යතාවයක් නිසා මේ කෘතිය හා විග්‍රහය වම්මුන්ට වැදගත්. <!--තෝල්ස්තෝයිගේ කෘතිවල අරමුණ වුණේ ....…-->
පවුල් සංස්ථාව, විවාහය, සදාචාරය සහ ලිංගික නිදහස පිළිබද ව
පවුල් සංස්ථාව වගේ ම යුගයක ලිංගික සදාචාරයත් එම යුගයේ දේපල අවශ්‍යතා මත ගොඩනැගෙන බව යි මාක්ස්වාදී මතය වුණේ. එංගල්ස් මාක්ස්ගේ අදහස් ඇසුරින් රචනා කළ යුතු පවුල, පෞද්ගලික සහ රජය ඇති වූ සැටි නම් පොතේ සදාචාරය, ලිංගිකත්වය, විවාහය පිළිබද මාක්ස්වාදී අදහස් විදාරණය කරනවා. ඔහු ඒ පොත ලියන්නේ විවිධ සංස්කෘතීන්වල පවුල් ක්‍රම ගැන අධ්‍යයනය කළ මෝර්ගන් නම් මානවවිද්‍යාඥයාගේ සොයාගැනීම් ඇසුරින් සංස්කෘතිය යනු ආර්ථිකය මත ගොඩනැගෙන උපරි ව්‍යුහයක් ය යන මාක්සියානු ප්‍රවාදය තහවුරු වන සැටි පෙන්වීමටයි.
නිදසුන් ලෙස මෝර්ගන් පෙන්වා දෙන ලේ ඥාති විවාහය, පුනාලුවා විවාහය, කාන්ඩ විවාහය, ඒකභාර්යා විවාහය දක්වා අප පැමිණියේ සදාචාරය පිළිබද අදහස් නිසා නෙවෙයි. දේපල බෙදීයාම ආශ්‍රිත කරුණු සලකා ගෙනයි. යුගයක සදාචාරය/සාරධර්ම, ලිංගිකත්වය පිළිබද යුතු අයුතුකම්, විවාහය කොටින් ම කිව්වොත් සභ්‍යයත්වය තීරණය වන්නේ දේපල අවශ්‍යතා මත නම් සදාචාරය කියන්නේ නිශ්චිත, සද්ගුණවත්, දිව්‍යදානයක් නෙවෙයි. එහි සැබෑ අරමුණත් දේපල අවශ්‍යතා මිස මතුපිටින් කියාපාන පරිදි හිෂ්ටත්වයක් නෙවෙයි. එහෙම ශිෂ්ටත්වයක් නැහැ. සාදාචාරය කියන්නේ කෘත්‍රිම දෙයක්. එහෙම නම් කිසියම් යුගයක ලිංගික සදාචාරය වෙනස් විය නොහැකි, පටහැනිව යාම මහ පිළිකුළක් වන අති උත්කෘෂ්ට දෙයක් ලෙස දකින සුචරිතවාදීන් මාක්ස්වාදීන්ගේ අවඥාවට ලක්වීම විය යුතු ම දෙයක්. පවුල් පෞද්ගලික දේපල හා රජය ඇති වූ සැටි පොතේ එංගල්ස් මෙසේ පැවසුවා.
ඒකභාර්යා වෘතය සියලු සුචරිතවාදයන්ගේ මුදුන් මල්කඩ නම් එකී සුචරිතවාදයේ ඔටුන්න හිමි විය යුත්තේ ශරීරයේ ඛණ්ඩ තුන්සිය ගණනක් තිබෙන සහ ඒ සෑම ඛණ්ඩයක ම ස්ත්‍රීලිංගියක් සහ පුරුෂලිංගයක් බැගින් තිබෙන පටිපණුවාට ය.
ආගම පිළිබද මතය
ලෝකයේ සෑම ආගමක් ම ස්වාභාවික වස්තු වන්දනය (වැස්ස, අකුණු, හිරු වැනි සොබාදහමේ බලවේග වටහා ගත නොහැකි ව ඒවාට වැදුම් පිදුම් කිරීම) තුළින් හටගත් බවයි මාක්ස්වාදී මතය වුණේ. මාක්ස් භෞතිකවාදී පදනමක් මත පිහිටමින් සියලු ම ආකාරයේ විඥාණවාදයන් (දුව්‍යමය ශරීරයෙන් ස්වාධීන, එයට වඩා ප්‍රමුඛ සිතක් ඇත හෝ එයින් පමණක් ග්‍රහණය කරගත හැකි සත්තාවන් ඇත වැනි අදහස්) ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ආගමුත් ඔහුට පල් බොරු වුණා. ඒ වගේ ම මාක්ස් ආගම දුටුවේ ධනවාදයේ උපකරණයක් විදියට. උස් මිටි බව දෙවියන්ගේ කැමැත්ත හෝ කර්මය ලෙස පෙන්වමින් ආධ්‍යාත්මික විමුක්තියක් (පරලොව සැපතක්) පෙන්වමින් මේ ලෝකයේ අරගලවලින් මිනිසුන් ඈත් කරවීම ආගම විසින් ධනවාදය වෙනුවෙන් නොදැනුවත් ව කරදෙන වැඩක් විදියටයි මාක්ස් දුටුවේ. මිනිසුනුත් ආගම කරා යොමු වන්නේ තමා භෞතික ලෝකයේ විදින දුක අමතක කර ගැනීමට (මේ ලෝකයේ මම දුප්පත් වුණත් පරලොව දී යහපත් වෙයි හැගීම) යොදාගන්නා ඖෂධයක් බවත් මාක්ස් දුටුවා. ඒ නිසා ඔහු ආගම කියන්නේ අබිං කියා කීවා. (අතීතයේ අබිං මත්ද්‍රව්‍යයක් නොවෙයි. වේදනා නාශක ඔසුවක් ලෙසත් භාවිත කළා.)
විද්‍යාව පිළිබද මාක්ස්වාදී මතය
මාක්ස්වාදය යනු විද්‍යාවක් බවට කරුණු කලින් ලිපියක දැක්වුවා. නමුත් එය විද්‍යාවක් ම යැයි කිව නොහැකි බව මුලින් ම පැවසිය යුතු යි. එයට හේතුව විද්‍යාවේ කිසියම් අනාවැකියක් අසත්‍ය වූ විට එම ප්‍රවාදය බිද වැටීම/ඉවත් කිරීමක් සිදුවීමත්, මාක්ස්වාදය තුළ එසේ සිදු නොවීමත් නිසයි. මාක්ස්වාදයේ ප්‍රවාදයක් අසත්‍ය වුණොත් වන්නේ එය එසේ සිදු නොවූයේ (කිසියම් විප්ලවයක් සිදු නොවීම ගනිමු) අසුවල් අසුවල් හේතු නිසා යැයි දක්වමින් ප්‍රවාදය වෙනුවෙන් කරුණු ඉදිරිපත් වීමක් විතරයි. මෙය ජ්‍යෝතිෂයටත් පොදුයි. ජ්‍යෝතිශඥයෙකුගේ අනාවැකියක් වැරදුණත් ඔහුට අනනන්ත හේතු තිබෙනවා. ඔහුවත් ශාස්ත්‍රයවත් වැරදි නෑ. වම්මුත් මෙහෙමයි.
නමුත් මාක්ස්වාදය විද්‍යාවක් ම නොවුණත් එය බටහිර විද්‍යාව පිළිගනිමින්, එහි පෝෂණය ලබමින්, එහි ද සංවර්ධනයට උරදෙමින් ගොඩනැගුණක්. මාක්ස්වාදීන් පට්ට ම පට්ට භෞතිකවාදීන්. ඔවුන් අධිස්වාභාවික සත්තාවන්, එවැනි ක්‍රමවේද ප්‍රතික්ෂේප කළා. තර්කය, භෞතිකය පදනම් කරගෙනයි ඔවුන් නිගමනවලට එළඹුණේ. මිනිස් සමාජයේ සංවර්ධනයට ඉවහල් වූ විද්‍යා, තාක්ෂණ ක්‍රම පිළිබද මාක්ස් ඉතා උදම් වුණා. මාක්ස් සිය ඉතිහාස සමාජ විග්‍රහයන් පදනම් කළෙත් විද්‍යාත්මක ක්‍රමය, පැහැදිලි සාධක/සොයාගැනීම් අනුදත් විද්‍යාත්මක පදනමක. එංගල්ස්ගේ සොබාදාහම හා දයලෙක්තිකය පොතෙත් ලෙනින්ගේ මැටීරියලිසම් ඇන්ඩ් එම්පිරිකෝ ක්‍රිටිසිසම් පොතෙත් ඔවුන් විද්‍යාව කෙරේ දැක්වූ ගෞරවය සහ සෙනෙහස වගේ ම අවධි බව දැකගත හැකියි. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කවොන්ටම් ලෝකයේ දයලෙක්තිකය පොතත් මාක්ස්වාදය හා විද්‍යාව අතර ඇති සබදතාවය පෙන්වාදෙන්නක්.
ජාතිය සහ ජාතිකත්වය පිළිබද මතය
මාක්ස්වාදය වාර්ගිකත්වය සහ ජාතිකත්වය පිළිබද හැගීම ප්‍රතික්ෂේප කළා. ඔවුන් මුල්තැන දුන්නේ පංතිය ට. ජාති, රාජ්‍ය වශයෙන් බෙදීම නිර්ධන පංතිය එකම පංතියක් ලෙස අරගල මාවතට පිවිසීම වළක්වා භේද කරවන්ක් ලෙස මාක්ස් දුටුවා. මාක්ස්-එංගල්ස්.ලෙනින්-ට්‍රොට්ස්කි පළමු, දෙවැනි, තෙවැනි, සිව්වැනි ජාත්‍යයන්තර වශයෙන් ගොඩනැගුවේ ගෝලීය නිර්ධන පංති සංවිධාන. මාක්ස්වාදය ජාත්‍යයන්තරවාදී දර්ශනයක්. ජාතිය යනුත් ධනපති රාජ්‍යයේ ව්‍යාපෘතියක් බව මාක්ස් පැවසුවා. එ වගේ ම අද (එදා) සිදුවෙමින් තිබූ ගෝලීය ආර්ථික ව්‍යාප්තිය තුළ ජාතික රාජ්‍යය, වාර්ගිකත්වය පිළිබද හැගීම්වලට අනාගතයක් නොමැති බවත් මාක්ස් විශ්වාස කළා.
රජය පිළිබද මතය
මාක්ස් රජය දුටුවේ ධනපති පංතියේ මර්දන උපකරණයක් හැටියට. ඒ අනුව සමාජවාදී රාජ්‍යයක් තුළ රජය අවශ්‍ය වන්නේ ප්‍රති-විප්ලවය මැඩපවත්වන්න පමණක් බවත් කොමියුනිස්ට් සමාජයක් තුළ රජය වියැකී යන බවත් මාක්ස් විශ්වාස කළා. එවිට අවශ්‍ය වනු ඇත්තේ දේපල බෙදාහැරීම සහ කළමණාකරණය පිණිස වන ව්‍යුහයක් මිසක් මර්දන අවයව නෙවෙයි.
No comments:
Post a Comment