බුදුදහමේ ඇතැම් සංකල්ප පසුකාලීනව එක්වෙන්නට ඇති කියා ප්‍රතික්ෂේප කරන එක ඇතැම් නූතනවාදී බැතිමතුන්ගේ සිරිතක්. බොහොම වෙලාවට ඔවුන් මෙහෙම බැහැර කරන්නේ භෞතිකවාදයට පටහැනි අධිස්වාභාවිකත්වය හා බැදුණු සංකල්ප, සංසිද්ධි, ඉගැන්වීම්. ඔවුන් ඒ කාරණා බැහැර කරන්නේ ඒ තැන් භෞතිකවාදයට හෝ හේතුවාදයට පටහැනි වීම නිසා බව පැහැදිලි යි. අපාය, දෙව්ලොව, ප්‍රේථ භවයන්, සෘද්ධි ප්‍රාතිහාර්ය ආදී සංකල්ප ප්‍රතික්ෂේප කිරීම, දෙව්ලොව හා අපාය ඇත්තේ මේ මිහිලොව ම බව, මාරයා යනු මරණය/කෙලෙස් සංකේතවත් කිරීමක් මිස පුද්ගලයෙක් නොවන බව, බුදුන් යනු මගඵලයක් ලැබූ අයකු නොව හුදෙක් බුද්ධිමත් මිනිසෙක් බවට, නිවන් දැකීම යනු ධර්මය හොදින් තේරුම් ගැනීම පමණක් බව වැනි අනේක වූ විග්‍රහ කරලියට එන්නේ බුදුදහම භෞතිකවාදයට, හේතුවාදයට එකග දහමක් බවට පත්කරගැනීමේ වුවමනාව නිසයි. බුදුන් වැදීම, පිං අනුමෝදන් කිරීම, සිල් සමාදන් වීම, පිරිත් සජ්ඣායනය වැනි සංකල්ප ඇතැමුන් ප්‍රතික්ෂේප කරන්නෙත් මේ හේතුව නිසා ම යි.
මමත් කාලයක් තිස්සේ (වයස 20ක් 21ක් පමණ වන තුරු ම) සිටියේ මෙවැනි මතවල නිසා මේ මානසිකත්වය ගැන මම හොදින් ම දන්නවා. පහේ පංතිය වැනි වයසක මා මෝඩයෙක් වගේ කොවුර් කරේ තියං හිටි හැටි ගැන (මැටි පිළිම කියා බුදුන් වැදීමත්, මගේ පෞද්ගලික කාරණයක් විය යුතු නිසා පන්සිල් ගැනීමත් ප්‍රතික්ෂේප කළ අයුරු) කලහේ සුමංගලෝදයේ හිටි පංති සගයන් ඇති පදම් සාක්කි දරාවි. සෙසු මතත් කාලයත් එක්ක ඇතිවෙලා තිබුණා.
කොටින් ම කියනව නං පායාසි රාජන්‍ය වගේ. (දීඝ නිකායේ පායාසි සූත්‍රය කියවන්න.)
එය මගේ තර්කානුකූල ගතියක් නිසා ද ඉතාමත් දැඩි හේතුවාදියෙක් වන මගේ පියාගෙන් ළමාවියේ ම ඔලුවට කාන්දු වූ අදහස් නිසා ද කියන්න මම දන්නේ නැහැ.
ඒ කොහොම වුණත් අපි කල්පනා කළොත් ඇයි මම මේ සංකල්ප ප්‍රතික්ෂේප කළේ, ඇයි ඒව ම පසුකාලීනව එක්වුණු දේවල් හැටියට දකින්නේ කියලා ඒකට හේතුව තමයි, මෙවැනි දේවල් ලොව පැවතිය නොහැකි බවට තියෙන විශ්වාසය. විශ්වාසය? ඒක කොහොම ද විශ්වාසයක් වෙන්නේ? විද්‍යාවට අනුව එහෙමනේ. දැඩි ම දැඩි අන්ධ භක්තියකින් ඉන්න කෙනෙක් කියන්න පුලුවන්.
විද්‍යාව කියන්නේ ක්‍රමවේදයක්. භෞතිකවාදය කියන්නේ මතවාදයක්
අපේ ඇසට කනට නොදැනෙන, අතට පයට හසු නොවෙන නිසයි අපි (හේතුවාදීන්) ඒ සංකල්ප විශ්වාස නොකරන්නේ. යමක් ඇත්තට ම පවතිනව නම් අපේ පංචේන්ද්‍රියවලට ගෝචර විය යුතු බව තමයි මේ පිටුපස තියෙන තර්කය. යමක් ලෝකයේ සත්‍ය ලෙස ම තිබෙනවා නම් එය අපේ ඇසට, කනට, සමට, නාසයට, දිවට දැනිය යුතු යැයි සිතන විට අපි ඉන්නේ අපේ ඉන්ද්‍රිය පද්ධතිය අංගසම්පූර්ණ බවට, එනම් ලොව ඇති සෑම දෙයක් ම ග්‍රහණය කරගත හැකි ඉන්ද්‍රියන් අප සතු බවට වූ විශ්වාසයකයි. නමුත් ඇතැම්විට මේ විශ්වාසය වැරදි වෙන්නත් පුලුවනි. මට අහවල් දේ නො පෙනෙන නිසා මම ඒව පිළිගන්නෑ කියල අන්ධයෙක් කීවොත් කොහොම ද? ඒ වගේ තමයි මනස දියුණු කරල (එහෙම පුලුවන් නම්) සාමාන්‍යයෙන් නො පෙනෙන යථාර්ථයක් දැකපු අය කියන දේ එසේ මනස දියුණු නො කරපු අය තමන්ට ඒව නො පෙනීම මත, ඒව නැහැ/බොරු කියල ප්‍රතික්ෂේප කිරීමත්. පායාසි රාජන්‍යයට/සුභ මාණවකට ලැබෙන පිළිතුර
මනසින් පමණක් දැකිය හැකි දේවල් ගැන අහන කොටත් හිනා යන පිරිසක් ඉන්නවා. ඒ අය මේ සංස්කෘතියේ අය නෙවෙයි. බටහිර චින්තනය තුළ මනස ඉන්ද්‍රියක් විදියට නො සැලකුණාට සිංහල-බෞද්ධ චින්තනය තුළ මනසත් ඉන්ද්‍රියක්. ඒ කියන්නේ අනිකුත් ඉන්ද්‍රියන්ට නො දැනී මනසට පමණක් දැනෙන දේවල් තියෙන්න පුලුවන්. නිදසුනක් විදියට නිවණ කියන්නේ මනසට පමණක් දැනෙන දෙයක්. (රහ දැනෙන්නේ දිවට විතරයි. ඇහැට, කනට, නහයට දැනෙන්නෑ කියල දිවට දැනෙන රහ බොරු කියන්නේ නෑනේ අපි, නේද? ඒ කියන්නේ එක ඉන්ද්‍රියකට දැනෙන දේ අනික් ඉන්ද්‍රියන්ට දැනෙන්න ඕනි නැහැ./දැනෙන්නේ නැහැ.) ඒ නිසා බුදුදහම පිළිගන්න කෙනකුට මනස ඉන්ද්‍රියක් විදියට නො සලකන බටහිර විද්‍යාව හෝ භෞතිකවාදය තුළ ඉන්න බැහැ. ඒ නිසා ම මනසට පමණක් දැනෙන දේවල් හුදු මිථ්‍යා ම ලෙස සලකා බැහැර කිරීමත් කරන්න බැහැ, බෞද්ධ චින්තනයකට අනුව. මනස ඉන්ද්‍රියක් වන සංස්කෘතියක දැනුම, මනස ඉන්ද්‍රියක් නොවන සංස්කෘතියක දැනුමින් මනින විට ඔවුන් කරන්නේ එක සංස්කෘතියක් තව සංස්කෘතියකින් මැනීම. කෙනෙක් කියන්න පුලුවන් බටහිර සංස්කෘතියේ දැනුම - මනස ඉන්ද්‍රියක් නොවන බව ඇත්ත බව ඔප්පු වෙලා නේද කියල. මනසත් සිරුරත් අතර සම්බන්ධය ගැන තවම බටහිර විද්‍යාවවත් දර්ශනයවත් නිසි පරිදි දන්නේ නැහැ කියල ඔවුන් ම පිළිගන්නවා. අනික බටහිර විද්‍යාව කියන්නේ සත්‍යය ම නිවැරදි ලෙස දැනගත හැකි මගකුත් නෙවෙයි. මේ ලිපියෙ ම තව මොහහොතකින් උපුටා දක්වන කපිල පීරිස්ගේ ලිපියේ කියුම කියෙව්වා ම ඒ බව පැහැදිලි වේවි.
ඇත්ත. මේ කියන ඒවට මම නලින්ට ණයයි. (මේ අදහස් - තර්ක ඔහුගේ ලිපිවලින්) නලින් බටහිර විද්‍යාව ගැන කරපු විවේචනවලට පින්සිද්ධවෙන්නයි මම හේතුවාදයෙන් මිදුණේ. වම්බැට්ටෙක් වුණු නිසා ම සමාජවාදී ශිෂ්‍ය සංගමය ලියා පළ කළ ක්වොන්ටම් ලෝකයේ දයලෙක්තිකය පොතේ කියන “මොලය මලක් නම් මනස එහි සුවද වැනි ය. මල පරවුණු පසු එහි සුවද නැති සේ මොලය මියැදුණු පසු මනසක් ද නැත.” වැනි තැනකයි මමත් සිටියේ.
නලින් විදුසරට ලියූ ලිපි මාස ගණනක් තිස්සේ කියවලා තිබුණත් මම ඒ විග්‍රහවල නිවැරදිබව දකින්න සමත් වුණේ නැහැ. මට ඔහු ව පෙනුණේ, ඇත්ත ම කිව්වොත් පිස්සෙක් හැටියට. නමුත් මට හොද මිතුරෙක් වගේ ම මතවාදී පසමිතුරෙකුත් වුණු ගයාන් ඒ ලිපිවල මුල් අවධිවල ම ඒ ගැන උන්නේ නිවැරදි තැනක. ඇත්තට ම නලින්ගේ අදහස් ඔහුට ඒතරම් අලුත් වුනේ නැහැ. මට මතකයි ඔහු එදා ඒ අදහස් අනුමත කරද්දි මම වියරුවෙන් මෙන් ගැටුණු හැටි. (ඔහු කොතරම් කිව්වත් එදා මට ව්‍යවහාර ලෝකය සම්මුති සත්‍යයක් වග තේරුණේ නැහැ. මං විතරක් නෙවි තව බොහොමයක් බෞද්ධයෝ ඉන්නේ ක්‍රිස්තියානි චින්තනයක මිසක් බෞද්ධ චින්තනයක් තුළ නෙවෙයි.) ඒ වගේම ඔහු සිනාමුසු ව, මගේ අපරිණතකම ගැන සානුකම්පිතව ඉවසපු හැටිත්. ඔහු මං වගේ බටහිර දාර්ශනිකයන්, මාක්ස්-ලෙනින් හෝ ෆ්‍රොයිඩ් වැනි අය කියවපු කෙනෙක් නෙවෙයි මං දන්න තරමින්. නමුත් මා සතු වුණු/මා ඉහළින් සැලකූ ඒ සියලු දැනුමට වඩා බලගතු දෙයක් ඔහු සතු ව තිබුණා. ඒ ගැමි සිංහල-බෞද්ධ චින්තනය. ඉතින් විය යුතු පරිද්දෙන් ම ඔහු උන්නේ මට වඩා දාර්ශනිකව ඉහළ තැනක.
නලින්ගේ අදහස්වල සත්‍යයතාව මට පෙනුණේ ඔහුගේ විදුසර ලිපිවලින් නෙවෙයි. ඒ කපිල පීරිස් ලියපු ලිපියකින්. නලින්ගේ අදහස්වලින් ආභාෂයක් ලබපු ඒ ලිපියේ බටහිර විද්‍යාව ගැන විවේචනය දක්වපු විදිහෙනුයි මට එය පැහැදිලි ව අවබෝධ වුණේ. ඒ වගේම වැරදි අවබෝධයන්ගෙන් හා ඒ නිසාම සිදුකෙරෙන ප්‍රතික්ෂේපයෙනුත් තොර ව විවෘත ඇසින් ඒ අදහස් දිහා බලන්න පෙළඹුණේ.
මේ තියෙන්නේ මාව මුදවපු, මාව වෙනස් කරපු කපිල පීරිස්ගේ නූතන අනුකාරක ජ්‍යෝතිෂ්‍යය සහ නූතන ඒකාධිකාරී විද්‍යාව නම් ලිපියෙන් ගත් උධෘතයක්.
මුළු බටහිර විද්‍යාව ම රදා පවතින්නේ අතීතයේ සිදු වූ දැ ඒ රටාවන් ඒ අනුව ම ඉදිරියට ද වේ ය යන හිතළු මත ය. සංඛ්‍යාන-සම්භාවිතාව යනු නො දන්නා බවේ විද්‍යාව (අවිද්‍යාව) ය.
බටහිර
විද්‍යාව යනු විකෘති මනසින්
සහ ඉන්ද්‍රිය පහ ඇසුරෙන් සහ
සෘජු ව ම විකෘති මනසේ හිතළු
මත ගොඩනැගුණකි.
ඉතින්
ඒ විකෘති සීමාව තුළ එමගින්
ප්‍රයෝජන ගත හැකි ය.
එහි
විවාදයක් නැත.
ඇත්තට
ම මෙහි දී අප කළ යුත්තේ මනීන්ද්‍රිය
වැඩීම ය.
එය
තවත් ඉන්ද්‍රිය වර්ධනයකි.
එවිට
අපට ඒ ඔස්‌සේ සෘජු දැනුම ලැබේ.
අන්ධයා
ඇස වර්ධනය කෙරුම වැනි ය.
ඇස,
කන,
දිව,
නාසය,
සිරුර
ඇසුරු කරගත් දැනුම සහ හිතළු
හොඳ ය.
එසේ
ම මනස ද ඉන්ද්‍රියක් ලෙස වැඩූ
විට හිතළු තවත් අඩු වී ප්‍රත්‍යක්‌ෂ
ගතිය තවත් වැඩි වේ.
අප
කළ යුත්තේ හිතළු අඩු කරමින්
ප්‍රත්‍යක්‌ෂය කරා යැම ය.
පංචෙන්ද්‍රිය
සහ හිතළු තුළ සිර වී මනීන්ද්‍රිය
අත්දැකීම් ඒ ඔස්‌සේ විග්‍රහ
කෙරුමට හෝ ඔප්පු කෙරුමට උත්සාහ
ගැනුම කිසිසේත් ම ප්‍රඥගෝචර
වන්නේ යෑයි සිතිය නොහැකි ය.
දැනට
බටහිර විද්‍යාවේ ඇත්තේ හෙට
සිදු වන්නේ කුමක් දැයි නිශ්චිතව
කිව නොහැකි තත්ත්වයකි.
එහි
මහ ලොකු හේතු සෙවීම යනු මුලින්
වන දෙය හේතුව ලෙසත් පසුව වන
දෙය ඵලය ලෙසත් දැකීම ය.
මෙවැනි
හේතු ඵලයක් මත නිර්මාණය කළ
හිතළු ගොඩකි බටහිර විද්‍යාව.
ඉතින්
මේවා පිළිබඳ ව සිතීමේ දී වත්
මින් ඔබ්බට ගමනක්,
ඉන්ද්‍රිය
වැඩීමක් ගැන නො සිතන්නේ නම්
එය විද්‍යාත්මකභාවය ද?
විවෘත
මනස ද?
එසේ
නොමැති නම් අමූලික අන්ධ භක්‌තිය
ද?
ජ්‍යෙතිෂ්‍යය
පමණක් නො ව වෙනත් ඕනෑ ම එවැනි
දෙයක සත්‍යාසත්‍යතාව දැනගැනීමට
අවශ්‍ය නම් කළ යුත්තේ ඒ සඳහා
ඇති ඉන්ද්‍රිය වර්ධනය කර ගැනුම
ය.
එවිට
හිතළු මත පදනම් වී වාද විවාද
කර ගැනුමට අවශ්‍ය නැත.
ඉන්ද්‍රිය
වර්ධනය නො වන තාක් වනු ඇත්තේ
වාද විවාද සිදු වීම පමණක් ම
ය.
එමගින්
කිසි දා සත්‍ය දැකගත නොහැකි
ය.
සත්‍යය
ඇත්තේ තර්කයෙන් ඔබ්බෙහි ය.
එය
ඉන්ද්‍රිය ගෝචර කරගත යුතු ය.
සියල්ල
"ගෝචර"
වන
විට එනම් අවබෝධ (බෝධය)
වන
විට තර්ක,
ප්‍රවාද,
හිතළු,
දිට්‌ඨි
මතවාද කිසිවක් අවශ්‍ය නැත.
අප
ගත යුත්තේ ඒ මගයි.
වර්තමාන
බටහිර විද්‍යාව යොදාගත යුත්තේ
මේ ඉන්ද්‍රිය නො වැඩුණු
තත්ත්වයක් තුළ දැනට ඉතා පටු
සීමාවක් සහිත එදිනෙදා වැඩකටයුතු
යම් ආකාරයකට හසු කරගැනුමට
පමණි.
ප්‍රත්‍යක්‌ෂයෙන්
දැනගත යුතු දැ මේ විද්‍යාවෙන්
දැනගැනීමට,
ඔප්පු
කරගැනුමට යැම තරම් මුග්ධ බවක්
නම් තවත් තිබිය නොහැකි ය.
වත්මන්
විද්‍යාවෙන් "ඔප්පු"
කළ
හැක්‌කේ පංචෙන්ද්‍රිය අත්දැකීම්
සහ අදාළ හිතළු එලෙස ම වලංගු
වන අතිශය පටු වපසරියක ඇති දැ
ය.
එය
ඒ සීමාවේ සිටින අය සඳහා ය.
තර්කයෙන්
කිසිවක් අලුතෙන් ඔප්පු කළ
නොහැකි ය.
තර්කයෙන්
කළ හැක්‌කේ දැනට සංවේදී දේ
මනසට ගෝචර වන පරිදි දැක්‌වීම
පමණ ය.
ඉතින්
බටහිර විද්‍යාවේ වපසරියෙන්
පිටත දැ ඔප්පු කෙරුමට එය යොදාගත
හැකි ද?
බටහිර
විද්‍යාවෙන් පිටත යමක් ඇති
බවට එම විද්‍යාවෙන් ම පෙන්විය
හැකි ද?
අනෙක්
අතට මනීන්ද්‍රියක් ඇත්නම්
එය වැඩීමෙන් කළ හැකි දැ (අනාවැකි
කීම වැනි)
පෙන්වන
ලෙස මනීන්ද්‍රිය නො වැඩූ කෙනකු
අභියෝග කරන්නේ නම් එහි ද විශාල
ගැටලු ඇත.
ගොඩබිම
ඇවිද ගිය ඉබ්බා තම අත්දැකීම්
දියේ මාළුන්ට පැවසූ විට ඒවා
දිය තුළ ඔප්පු කරන තුරු තමා
නො පිළිගන්නේ යෑයි මාළුවා
පැවසුව හොත් තත්ත්වය කෙබඳු
වේ ද?
නූතන අනුකාරී ජ්‍යොතිශය සහ නූතන අධිකාරී විද්‍යාව - කපිල පීරිස් (විදුසර)
**********************
යමක් නො පවතින බව පැහැදිලිව ම ඔප්පු වන තුරු එයට සැකයේ වාසිය දීම වරදක් නෙවෙයි.
තවම හොයාගෙන නැහැ කියන්නේ ඇත්තෙ නැහැ කියන එක නෙවෙයි. පහුවෙනකොට හොයාගන්න පුලුවන් බව. හෙට, අනිද්දට, තව සියවසකින්, තව සහස්‍රයකින් හොයා ගැනෙන්නත් පුලුවන්. සමහරවිට කවම දාවත් හොයාගැනෙන්න බැරි දේවල් තියෙන්නත් පුලුවන්. ඒ අනුව මේවා බොරු බව නිසැක ව ම කිව හැකි දේවලට වඩා ඇත්ත ද බොරු ද කියා හරිහැටි කිව නොහැකි, එසේ කීමට නොදන්නා දේවල්. කෙනෙක් අහන්න පුලුවන් ඉතින් කෝකටත් ඇගට ගුණ නැද්ද ඇත්ත ද කියා හරියට ම නොදන්න දෙයක් විශ්වාස නොකර ඉන්න එක කියලා. ඇත්ත. එදිනෙදා ජීවිතයෙදි නම් මේ ප්‍රතිපත්තිය අතිශයින් ම නිවැරදියි. නමුත් අපි කිසියම් දහමක් වැළද ගන්නේ එය අපට පොරොන්දු වන ආධ්‍යාත්මික සැපය ගැන විශ්වාසය තියලා එය ලබාගැනීමේ පරම අපේක්ෂාවෙන්. බුදුදහමේ නොව ඕනෑම දහමක පසුකාලීනව එක්වුණු ඒවා තිබෙන්න පුලුවන් බව සැබැයි. නමුත් යම් හෙයකින් ඒ සංකල්ප සත්‍ය වුණොත් (එනම් සාම්ප්‍රදායික අර්ථකථනය ම නිවැරදි නම්) සහ ඒ සංකල්ප ඒ ආධ්‍යාත්මික සැපත ලබන්නට අත්‍යවශ්‍ය ම නම් තවම හරි හැටි බොරු බව ඔප්පු නොවී තිබිය දීත් අපි ඒ සංකල්ප අවිශ්වාස කිරීමෙන් කරගන්නේ හානියක්. නමුත් යම් හෙයකින් ඒවා නො තිබුණා කියා විශ්වාස කිරීමෙන් විය හැකි පාඩුවක් නම් නැහැ. මොකද මේ ප්‍රශ්නගත විශ්වාස, විශ්වාස කිරීමෙන්/පිළිපැදීමෙන් අපායෝත්පත්තියකට හේතු විය හැකි සදාචාර විරෝධී ඉගැන්වීම් නොවන නිසා. ඒ නිසා තිබ්බත් නැතත් විශ්වාස කරන එක තමයි බෞද්ධයෙකුගේ කෝණයෙන් නම් ඇගට ගුණ. නිරාගමිකයන්ට නම් ඉතින් මේ කථා අදාල ම නැහැ, නේද? ඒ අයට ඒ නිදහස තියෙනවා.
බුදුදහම සහ විද්‍යාව ගැන කතාකරන විට තව දෙයක් කිව යුතු යි. ඇතැම් බෞද්ධයන් බුදුදහම විද්‍යාත්මක බව පවසනවා. තව සමහරුන් විද්‍යාවේ සොයා ගැනීමුත් බුදුදහමේ ආගමික සංකල්පත් සමපාත කරන්නට තැත් කරනවා.
සමහරු කර්මය නිව්ටන්ගේ තුන්වන නියමය සමග ගලපන්න හදනවා! කර්මය කියන්නේ බොහොම සංකීර්ණ ආධ්‍යාත්මික සංකල්පයක්. මිනිස් සිත/ආත්මය හා බැදුණු දෙයක් වන එය භෞතික වස්තු ගැන නියමයක් වෙන නිව්ටන්ගේ කතා එක්ක ගලපන්න පුලුවන් ද? අනික එවැනි භෞතික කතාවකින්, බටහිර විද්‍යාඥයකුගේ අදහසකින් බුදුන්ගේ සංකල්පයක් සාධනය කරන්න හදනවිට ඒ පිටුපස තියෙන මානසිකත්වය කුමක් ද? බුදුන්ගේ වදනක් පිළිගන්නත් එය බටහිරයකුගේ තියරියක් එක්ක ගැලපෙන්න ම ඕන ද? එහෙම නැතුව පිළිගන්න හිත දෙන්නෙ ම නැද්ද? කර්මය පලදෙන විට එය සිදුවෙන්නේ අපේ සිතේ ඒ ගැන මතකය රැදී තිබීම නිසයි. ඒ නැතුව වස්තුවක් තල්ලු කරාද්දි එහි බලයක් මගේ අතට දැනෙනවා වගේ බාහිර යමකින් නොවෙයි. ඇරත් හොද කර්ම නරක කර්ම විපාකත් එක්ක, ඇතැම් කර්ම අහෝසි වීම/වඩා බලවත් වීම වැනි සංකීර්ණ තත්ත්වයන් එක්ක නිව්ටන්ගේ නියමයේ සමපාත කරන්න තියෙන අංගය මොකක් ද?
තවත් සමහරු ආගමික සංකල්ප විද්‍යාත්මක පරීක්ෂණවලින් ඔප්පු කරන්නත් හදනවා. තවත් සමහරු තව දුර ගොස් බුදුන් වහන්සේ විද්‍යාඥයෙක් යැයි කියනවා. බුදුන්වහන්සේ කසිකබල් බටහිර විද්‍යාඥයන්ගේ තැනට පිරිහෙලීම තරම් අපහාසයක් තවත් නැහැ. ඔවුන් කියන්නේ බුදුන් කළෙත් විද්‍යාඥයන් වගේම පර්යේෂණයක් බවයි. බුදුන්ගේ ආර්ය පර්යේෂණයේත් බටහිර විද්‍යාඥයන්ගේ පර්යේෂණ සදහාත් තිබිය යුතු නිර්ණායක සමාන ද? නම එකම වූ පමණින් මතුපිටින් පොඩි සාම්‍යයක් පෙනුණ පමණින් මේවා අතර බරපතල දාර්ශනික වෙනස්කම් තිබෙනවා. බුදුදහමේත් විද්‍යාවක් අවිද්‍යාවක් තියෙනවා. ඒ විද්‍යාව ඉස්කොලේ විද්‍යා විෂය යටතේ උගන්වන විද්‍යාව නෙවෙයි. (එහි උගන්වන කරුණක් දෙකක් උන්වහන්සේ කියා තිබෙන්න පුලුවන්. ඒත් බුදුදහමේත් ඒ විද්‍යාවේත් පරමාර්ථය, සංකල්ප, ශිල්ප ක්‍රම කොතරම් වෙනස් ද?) බුදුදහමේ අවිද්‍යාව කියා නම් හදුන්වලා තියෙන්නේ විද්‍යා විෂයේ දී කෙරෙන දේ තමා. එක්තරා සූත්‍රයක බුදුන් යෙදූ උපමාවෙන් ම කීවොත් පපුවේ හීයක් ඇණී අසාධ්‍යව සිටින කෙනෙක් මේ හීය කොහෙන් ආව ද? මේක හදා තියෙන ලෝහය කුමක් ද? මේක කොතරම් බර ද? ආදී ලෙස කල්පනා කිරීමක් තමයි ඔය කියන විද්‍යාව.
මොරටුවේ සාසනරතන හිමියන්ගේත් නලින් සිල්වාගේත් කියුමක් මේ ගැන දක්වන්නේ මේ අයගේ හිතසුව වෙනුවෙනුයි.
භාරතීය මුනිවරයන් අන්තර් ඥානය යෙදුවේ ඇත්ත දැන ගැනීමට නොවේ. ඇත්ත අවබෝධ කර ගැනීමටයි. ඇත්ත දැනගැනීමට ප්‍රාකෘතක විඥාණය ප්‍රමාණය. පෙරදිග යොගීන් අන්තර් විදර්ශනා ඥානයෙන් දුටු මේ ඇත්ත බටහිර විද්‍යාඥයෝ විද්‍යාඥානයෙන් දැනගත්හයි සමහර විචාරකයෝ තර්ක කරති. එහෙත් බටහිර විද්‍යාඥයන්ගේ මේ විද්‍යා සංකල්පය හා යොගීන්ගේ අන්තර් විර්දර්ශනාඥානයත් එකට ගලපන්නට උත්සහ කිරීම තරමක නිෂ්ඵල උත්සාහයක් විය නොහැකිද?
විද්‍යාඥානය දෘෂ්ඨාන්තයෙන් සාධ්‍ය වූවක් නොව ප්‍රත්‍යක්ෂයෙන් සාධ්‍ය වූවකි. එහෙත් ප්‍රාකෘතක විඥානය මෙන් ම යොගී ඥානයද සාධ්‍ය ස්වරූපයෙන් දෘෂ්ඨාන්තය පිළිගනී.
- මොරටුවේ සාසනරතන, බෝධිචර්යාවතාර පරිවර් තනයේ රූපරේඛාව
අද ඇතැම්හු තම තකතීරු පණ්ඩිතකම ප්‍රදර්ශනය කරමින් බුදු දහම විද්‍යාත්මක දැයි අසති. මේ තකතීරු ප්‍රශ්නය පිටුපස මොන තරම් දීනකමක් පරගැතිබවක් පමණක් නො ව මුග්ධ බවක් ද ඇති බව ප්‍රශ්නය අසන්නෝ නො දනිති. මේ ප්‍රශ්නයට මා දෙන පිළිතුර නම් බුදු දහම බටහිර විද්‍යාත්මක නොවන බවත් බැරි වේලාවත් එ සේ විණි නම් මා බෞද්ධකම අත්හරින බවත් ය.
- නලින් ද සිල්වා, අපේ ප්‍රවාද (පළමු පොත)
මේ ප්‍රවණතා ඇරඹුණේ 19වන සියවස වගේ කාලෙක යටත්විජිත සමය තුළ බටහිරයන්ගේ සිත්දිනාගැනීමේ අරමුණින් බුදුදහමේ-සංකල්ප ඔවුන්ගේ දර්ශනය-විද්‍යාව සමග සැසදෙනසුලු ලෙස ඉදිරිපත් කිරීමේ ව්‍යායාමයෙන්. අවාසනාවකට අනගාරික ධර්මපාලතුමත් එහි ගොදුරක් වුණා. ඔහු පෙනීසිටි බුදුදහම නූතනකරණය කළ, ගිහියන් මුල්කරගත්, ඉංග්‍රීසි උගත් කොළඹ මැද පංතිය වෙනුවෙන් තැනූ එකක් මිස ගමේ හාමුදුරුවන් මූලික කරගත්, දෙවියන්, ප්‍රේතයන් විශ්වාස කළ එනම් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි පානදුරාවාදයේදී පෙනී සිටි පැරණි ගැමියන්ගේ බුදුදහම නෙවෙයි. බුදුදහම බටහිර විද්‍යාව සමග සැසදීම පිටුපස තිබුණෙත් අර බටහිරයන්ගේ ආර්යත්වයේ කරේ එල්ලෙමින් ගැමියන්ට හැදි ගෑරුප්පු හා ටොයිලට් පේපර් ගැන කියමින්, වික්ටෝරියානු සුචරිතවාදය ද කරේ එල්ලාගනිමින් ඔවුන්ගේ තත්ත්වයට පත්වීමට තිබූ පරගැති මානසිකත්වය. බටහිරීකෘත බුදුදහම ගැන වැඩි විස්තර Buddhist modernism විකිපීඩියා ලිපියෙන් දැනගන්න පුලුවන්.
No comments:
Post a Comment