2021-09-27

බෞද්ධ සංස්කෘතියට එරෙහි මූලධර්මවාදියෝ

බෞද්ධ ජනතාව අතර සංස්කෘතිකව මුල්බැසගෙන තියෙන ආගමික සිරිත්, ධර්මය විපරීත කිරීමක් විදියට හෙලා දකින එකත් ඒවායෙහි නියැලෙන ගැමි බෞද්ධයන්ට ගරහන එකත් බොහොමයක් නූතනවාදී බෞද්ධයන්ගේ එක සිරිතක්. ඔවුන් කියන්නේ බුදුන් මෙවැනි දේ කරන්න කියා පවසා නැති නිසා ඒවා කළ යුතු නැහැ කියලයි. එය අනවශ්‍ය දෙයක් බවයි. අපි අනෙකුත් ධර්ම, විශේෂයෙන් ම ආබ්‍රහිමික ආගම් ගත්තොත් ඒවා බොහොමයක් තුළ ඒ ඒ වත්පිළිවෙත්, පුදපූජා, ජීවිතයේ සුවිශේෂී අවස්ථාවල කළ යුතු ආගමික සිරිත් ශාස්තෲවරුන් ම නියම කර තිබෙනවා. නමුත් බුදුදහම, ජෛනදහම වැනි ධර්ම තුළ මෙලෙස ගිහිජනතාව ධර්මය පිළිපැදිය යුතු ආකාරය ගැන නිශ්චිත නියම කිරීම් නැහැ. බුදුදහම තුළ එවැන්නක් තිබෙනව නම් තිබෙන්නේ දීඝ නිකායේ සිගාලෝවාද සූත්‍රයෙත්, ඛුද්ධක නිකායේ සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයෙත් පමණයි. (ධම්මික සූත්‍රයේ දී අඹු දරුවන්, ගෙවල් දොරවල් අතහැර පැවිදි විය නොහැකි අප වැනි ය දහම පිළැපදිය යුත්තේ කෙලෙසදැයි විමසූ විට බුදුන් පවසන්නේ දිනපතා පංචශීලයත්, පොහෝදින උපෝසථ ශීලයත් පිළිපදින ලෙස යි.)


එලෙස නිශ්චිත පැනවීම් ගිහිදිවිය සම්බන්ධයෙන් නැත්තේ බුදුදහම ආබ්‍රහිමික ආගම් මෙන් ලෙෳකික ජීවිතය පරිපාලනය කිරීම අරමුණු කරගත් දහමක් (telemachial religion) නොව ඉන් මිදීම (නිවන් අවබෝධය) අරමුණු කරගත් දහමක් වූ නිසයි. නමුත් ගිහියෙකුට බුදුදහමේ ආධ්‍යාත්මික මාර්ගය පිළිපැදිය නොහැකි බවක් මින් අදහස් වන්නේ නැහැ. එය එසේ වූවා නම් බුදුන් ධම්මික උපාසකට දිය යුතු ව තිබුණේ නිශේධනාත්මක පිළිතුරක්.


කිසියම් ජනතාවක් යම්කිසි ධර්මයක් පිළිපදින විට, ඒ ආශ්‍රිත ව සංස්කෘතියක් ගොඩනැගීම ස්වාභාවිකව ම සිදුවෙන දෙයක්. නූතනවාදී බෞද්ධයන්ගේ කෝපය අවුස්සන පෙර කී ආගමික අංග බිහිවන්නේ මේ සංස්කෘතික අවශ්‍යතාවය අනුවයි. නමුත් එම ක්‍රියාදාමය බුද්ධ ධර්මයේ එන ඉගැන්වීම් ම පදනම් කරගනිමින් සිදුවූවක් මිස එයින් පිටමං වෙමින් තමන්ගේ ආසාවට කළ කටයුත්තක් නම් නෙවෙයි. නිදසුන් ලෙස මළගිය ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම අරමුණු කරගත් බෞද්ධ අවමංගල චාරිත්‍රවලට පදනම ඛුද්ධක නිකායේ තිරෝකුඩ්ඩ සූත්‍රයේ සොයාගන්න පුලුවන්. එමෙන් ම බුදුන් වැදීමට අවශ්‍ය පදනම මහා පරිනිබ්බාන සූත්‍රයේ තිබෙනවා. සිල් සමාදන්වීමට ඇවැසි පදනම පෙර කී පරිදි ම සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ තිබෙනවා. ඒ නිසා මේ බෞද්ධ සංස්කෘතිය ධර්මය විපරීත කිරීමක් නො ව අර්ථවත් කිරීමකුයි.

අපි යමක් ධර්මයට එකග නැහැ යි කියන්නේ එය ධර්මයේ විශ්වාස පද්ධතිය සමග ගැටෙනවානම් විතරයි. ආබ්‍රහිමික ආගම්වලට වෙනස් ව බුදුදහම වැනි දහමක ගිහියන්ට තිබෙන නිදහස් බව නිසා ම එවැනි සංස්කෘතියක් නිර්මාණය කරගැනීමේ ඉඩ ගිහියන්ට තිබෙනවා. මේවා කරන්න කියා බුදුන් නොකිව්වා කියමින් බෞද්ධයන්ට සංස්කෘතිය අහිමි කරන්නට හදන අයට පිළිතුර නම් ගිහියන් එවැනි සංස්කෘතියක් සිය ධර්මය වටා ගොඩනැගීම වැරදි බවකුත් උන්වහන්සේ කොහේවත් කියා නැති බව යි. ඒ වෙනුවට එවැනි සංස්කෘතික නිර්මාණයක් උන්වහන්සේ විසින් ද අනුමත වුණු බවට සාධකයි සෑමතැනම හමුවන්නේ.

නිදසුන් ලෙස ආනන්ද බෝධියේ පුවත දක්වන්න පුලුවන්. භික්ෂූන් උදෙසා වස් විසීම බුදුන් පැනවුවෙත් කාලීන සමාජයේ ආකල්පයකට ගරු කිරීමක් ලෙසයි. බුදුන්වහන්සේත් සමාජ සම්මතයන්ට ගරු කරා නම් සැබෑ බුදුදහමේ නියෝජිතයන් ලෙස තමන් ව සලකන මේ නූතනවාදී බෞද්ධයන්ට එසේ කළ නොහැක්කේ ඇයි ද යන්න ගැටලුවක්.

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව මූලධර්මවාදය (fundamentalism) යන්න පහත අයුරින් නිර්වචනය කරන්න පුලුවන්

 

1a form of Protestant Christianity which upholds belief in the strict and literal interpretation of the Bible.


2the strict maintenance of the ancient or fundamental doctrines of any religion or ideology.


මූලධර්මවාදය යනු කිසියම් දහමක් එහි මුල්/ආදිම ස්වරූපයට කොටු කිරීම බවයි ඒ අර්ථ දෙක දිහා ම බැලුව ම පැහැදිලි වන්නේ. කෙනෙක් කිසියම් දහමක් එහි මූලධර්මවලට ම සීමා කිරීමට උත්සාහ ගන්නවා නම් (නවීනත්වය, ඒ ආශ්‍රිත සංස්කෘතිකාංග බැහැර කර ආපසු අතීත තත්ත්වයට යා යුතු ය කියා සිටිනවා නම්) ඔහු හෝ ඇය ආගමික මූලධර්මවාදියෙක්. යම් යම් බෞද්ධ සංස්කෘතිකාංග පසුකාලීන එකතුකිරීම යැයි පවසමින් ඒවා සමාජයෙන් ඉවත් විය යුතු යැයි කෙනෙක් කියන විට ඔහු ඉන්නෙත් මේ වැඩපිළිවෙළ තුළ ම නෙවෙයි ද? මෙයත් ස්ට්‍රික්ට්/ලිටරල් ඉන්ටර්ප්‍රිට්ෂන් එකක් නෙවි ද බුදුදහම ගැන? ගැමි බුදුදහමේ වත් පිළිවෙත් පමණක් නො ව දහම් පාසල, භක්ති ගීත, බෞද්ධ කොඩිය වැනි අංග පවා කතෝලික පිටපත් කරගැනීම් කියමින් බැහැර කරන විට එයත් වැටෙන්නේ මේ ගොඩට තමා. කලක් මා විශ්වාස කළ භික්ෂූන් වනවාසීව ම පමණක් සිටියු යුතු බව. එයත් මූලධර්මවාදී අදහසක්. (ඔව්! ඇදහිල්ල පෞද්ගලික යමක් බැවින් පාසලේ දී උදෑසන පන්සිල් ගැනීමත්, මැටි පිළිම යැයි කියා බුදුපිළිමවලට වැඳීමත් 3 පංතියේ දී ප්‍රතික්ෂේප කළ අයෙක් මම. නමුත් දැන් නම් මාගේ අදහස් වෙනස් වී තිබෙනවා. බලන්න මේ ලිපිය)


ත්‍රිපිටකය වෙනස් වෙලා තියෙන්න පුලුවන්. ඒත් සමස්ත ත්‍රිපිටකය ම කපා කොටා වෙනස් කිරීමක් සිදුවීම ප්‍රායෝගිකව සිද්ධ වෙන්න බැහැ. මොකද එහෙම වුණා නම් නොගැලපීම්, පාලි භාෂා රටාවේ, ශෛලියේ වෙනස්කම් තියෙන්න ඕනා. නමුත් මේ කිව් කාරණා සම්බන්ධ ව එහෙම තැන් නැහැ. ඒ නිසා මෙය මුල්දහම අනුව ම බවයි නිගමනය කරන්න වෙන්නේ. කෙනකුට එහෙම තැන් (පාලි භාෂා රටාවේ වෙනස්කම්, ශෛලියේ වෙනස්කම්, නොගැලපීම්) මුණගැහිලා තිබෙනවානම් අදාල සූත්‍රය, පාඨය සමග පෙන්වා දෙන්න පුලුවන්. එහෙම තැන් හොයානොගෙන ඕක එකතුකරපු, ඒක පස්සේ ලියපු එකක් කිය කියා කට තිබ්බ පලියට කෑගහන එක නම් බුද්ධිමත් යැයි කියාගන්න කෙනකුට සුදුසු නැහැ. මහාචාර්ය රිචර්ඩ් ගොම්බ්‍රිච් කියන්නේ ඔක්ස්ෆර්ඩ් බුදුදහම සහ පාලිභාෂාව සම්බන්ධව මෑත සිටින ඉහළ ම උගතෙක්. විෂය පිළිබද ව  සරසවියේ මහාචාර්යවරයෙක්. ඔහු සමග සමකර්තෘත්වයෙන් තමයි මහාචාර්ය ගණනාත් ඔබේසේකර ප්‍රොතෙස්තන්ත බුද්ධාගම ගැන කියවෙන සුප්‍රකට කෘතිය ලීවේත්. ඉතින් ඒ ගොම්බ්‍රිච් පවා කියන්නේ “the content of the main body of sermons, the four Nikāyas and of the main body of monastic rules ... presents such originality, intelligence, grandeur and—most relevantly—coherence, that it is hard to see it as a composite work.” They are “the work of one genius”, the Buddha. කියලයි.


කෙනෙක් තර්ක කරන්න පුලුවන් ඒ මොනව වුණත් නිවන් අවබෝධයට මේවා අත්‍යවශ්‍ය නැහැ නේද කියා. පැවිදි ව විදර්ශනා වැඩීම හෝ සෝවාන්වීම නේද ඇවැසි කියා. නමුත් බුද්ධ කාලයේ මගඵල ලැබූ බොහෝ දෙනකුගේ පෙර භව පුවත් ගැන කියවන විට පෙනෙන්නේ ඒ මගඵල ලැබීම පෙරභවවල කළ කුසල් නිසා වූවක් බව යි. (උග්ගසේන, අංගුලිමාල) මෙය බුදුදහම සමග මැනවින් පෑහෙනවා. මොකද බුද්ධත්වය ලබන්නට පාරමී පිරිය යුතු යි. ඉහළ ම මගඵලයට පමණක් නො ව පසේබුදුවරයකු වීමටත් පාරමිතා පිරිය යුතු කාලය බුදුන් දක්වා තියෙනවා. එහෙම නම් රහත්බවටත් එවැනි පූර්ව පාරමිතා තිබීම ඇවැසි යි කියා සිතීම වැරදි නැහැ. (නමුත් ඒ කාලය කො පමණ ද කියා බුදුන් නම් දක්වා නැහැ.) ඒ අනුව ගැමි බුදුදහමේ සැදෑ මග බුදුදහමේ ආධ්‍යාත්මික මාවත සමග බැදුණක් මිස ඉන් පිටමං වූවක්, එයට පිටින් එල්ලූ එයට නෑකමක් නැති දෙයක් නෙවෙයි.


තමන් ගැන අධිතක්සේරුවකින් නිවන් දකින්නට ප්‍රමාණවත් පින් තමන් කර ඇතැ යි සිතන ඒ නිසා ම වදින පුදන ගැමියන් ව බුදුදහම වරදවා ගත් මෝඩයන් ලෙස දකින ෂාර්මිනී සේරසිංහලා (බලන්න - ඇය කොළඹ බණ ට ලියූ මේ ලිපිය.) වැනි අයට වඩා මේ භවවල පිං කර බුදුන් දැක නිවන් දකින්නට පතන ගැමි බෞද්ධයන්ගේ දැක්ම යථාර්ථවාදී යි. ආධ්‍යාත්මික විමුක්තිය පැත්තෙන් ප්‍රායෝගික යි.


ඇතැම් අය මේ ඉගැන්වීම් පසුකාලීන එකතුකිරීම් ලෙස දැක්කත් මට නං මේ ඉගැන්වීම්වල බුද්ධ දර්ශනය සමග එකමුතුවක් මිස ගැටුමක් පෙනෙන්නේ නෑ. නිදසුනක් විදියට බුදුන් වැදීම පිං ලැබෙනවා කියන කාරණය ගත්තොත් - පිනක් කියන්නේ යහපත් සිතකින් කරන ක්‍රියාවක්. උසස් පුද්ගලයකුගේ ගුණවත් බව සිහිකිරීමත් එවැන්නක්. ඒ වගේ ම පිනක කාර්යසිද්ධියට අපේ පූජාව ලබන්නාගේ පිළිගැනීම හෝ නො පිළිගැනීම බලපාන්නේ නෑ. මොකද පින කියන්නේ තමන්ගේ චේතනාව මත නිර්ණය වන්නක් නිසා. ඒ අනුව බුදුන් පිරිනිවිලා ද නැද්ද යන්න මත අපි කරන පූජාවන්, වන්දනාමානවල ඵලක් නො වී අරින්නේ නෑ


බුද්ධාගම කියන්නේ ආගමක් නෙවෙයි, දර්ශනයක් යන්නත් නූතනවාදී වගේ ම සාම්ප්‍රදායික බෞද්ධයන් අතරත් ප්‍රචලිත කියුමක් නිසා මේ ගැනත් යමක් කිව යුතු යි කියා හිතනවා. ආගමක් කියන්නේ කිසියම් ආධ්‍යාත්මික අරමුණක් මුදුන් පමුණුවා ගන්න බිහිකෙරුණු මගපෙන්වීමක් කියන්න පුලුවන්. බුදුදහම කියන්නේ නිර්වාණය කියන ආධ්‍යාත්මික අරමුණ සාක්ෂාත් කරගන්නට කියාදෙන ක්‍රමවේදය, මාවත තමයි. ඒ අනුව බුදුදහමත් ආගමක් මිසක් වෙන දෙයක් නෙවෙයි.



No comments:

Post a Comment