2021-10-20

බුදුදහම සහ ගිහි ජීවිතය

බුදුදහමේ අරමුණ වෙන්නේ නිවන් අවබෝධය. ඒ කියන්නේ තෘෂ්ණාවෙන්, ඇලීමෙන් මිදෙන එක. ගිහි ජීවිතේ අභිලාෂය වෙන්නේ ලොෟකික තෘප්තිය ලැබීම. ඒ අතින් බැලුවාම බුදුදහමේ අරමුණත් ගිහිදිවියේ අරමුණත් එකිනෙකට පසමිතුරු යි. ඒ අනුව නම් ගිහි බුද්ධාගමක් තියෙන්න බැහැ. වෙන විදියකින් කිව්වොත් ගිහියෙකුට බෞද්ධයෙක් කියාගන්න පුලුවන්කමක් නැහැ. බුදදුහම ගිහියන් උදෙසා වූවක් නො වන බව කියූ වියතෙක් තමයි මාර්ටින් වික්‍රමසිංහ.

භවසත්තාවාදීන්ගේ ඒ දෙමග පටහැනි වන්නේ බුදුසමයට නොව ආර්ය අෂ්ඨාංගික මාර්ගයටයි. ඒ මග ගිහියන් උදෙසා නොව ගිහිගෙයින් නික්මෙන්නන් උදෙසා ය. සිගාලෝවාද සූත්‍රයෙන් හැදින්වෙන්නේ පැරණි ඉන්දියාවේ වෛදික, ජෛන යතීන්ට පොදු විනයකි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය ගිහිගෙයින් නික්මෙන්නන් උදෙසා පමණක් යයි මම කීවෙමි. බුදුදන්වහන්සේ ඒ මග හැර ගිහිගෙයි ඇලුණවුන් සදහා මගක් නොදෙසූහ.

- නවකතාංග සහ විරාගය

ගිහියන් ලැබූ නිදහස සීමා කර ඔවුන් ද පැවිද්දන් උදෙසා වූ ධර්මය අනුව හික්මවන්නට වෑයම් කරන්නේ යැයි වික්‍රමසිංහ මෙරට යති පරපුරට දොස් නැගුවා.

භික්ෂූන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව ගිහියන් හික්මවන්නට වෑයම් කරති. අවමගුලෙහිදී හා මගුලෙහිදීත් පෝය දවසෙහි හා දානයෙහිදීද ගිහියෝ අනිත්‍ය අනාත්ම ධර්මය අසති; ජීවිතය එකම දුක් කදක් ය යන කියුම පිළිබද විචිත්‍ර විවරණ අසති; ස්ත්‍රී රූපය පින්තාරු කරන ලද අසූචි පිරුණු බදුනකි. කය පිළිකුල් භාවනාවට අරමුණු විය යුතු මස් ලේ හා සෙම් සොටු ගොඩකි.

මෙවැනි බණ දේශනා ගිහිගෙයින් නික්මුනවුන්ට උචිතය; ගිහිගෙයි ජීවත්වන්නවුන්ට අනුචිතය. මේ අනුචිත දෙසුම් අසන ගිහියෝ නිතැනින්ම උභය චරිත ඇත්තෝ වෙති. ඔවුහු දිව පිණවන ප්‍රණීත ආහාර පාන අනුභව කරති; සිත කය පිනවන ඇදුම් පැළදුම් හදිති; නටති; වයති; නැටුම් බලති; ගැයුම් වැයුම් අසති. කම්සැප විදිති.

ඉන්ද්‍රියන් පිණවමින් ජීවත්වන මොවුහු සමාජයෙහිත් භික්ෂූන් ඉදිරියෙහිත් අපිස් වෙස් ගනිති.

- නවකතාංග සහ විරාගය

වික්‍රමසිංහගේ මේ අදහස්වලට මොරටුවේ සාසනරතන හිමියන් දුන්නේ මෙවැනි පිළිතුරක්.

ජීවිතය දුකක් යයි බුදුසමය උගන්වතියි භවසත්තාවාදය ගුරුකොට ගත් සමහර විචාරකයන්ගේ කල්පනාවයි. මෙහිදී ජීවිතය යනු කුමක්දැයි මේ විචාරබුද්ධිමත් විචාරකයන් කල්පනා නොකිරීම තරමක අඩුපාඩුවක් සේ පෙනේ.

ජීවිතය දුක යයි වදාළ තන්හිදී බුදුන් අදහස් කරණ ලද්දේ ජීවිත භාරය රදා පවත්නා පඤ්චස්කන්ධයයි හෙවත් මේ ශරීරයයි.

ඉදුරන් පිණවීම, කම්සැප සෙවීම ගිහිජීවිතය ගත කරනුවනට බුදුසමය තහනම් කර නැත. එහිදී ද බුදුදහම විරුද්ධවන්නේ එය වරදවා සෙවීමට සහ එහි ගිජුවීමටය. ඇලීමෙන් තොරව සැප විදීම බුදු දහම උගන්වයි.

බුදුසමය සාධාරණ සමාජය සමග කිසිදු සම්බන්ධයක් නැති ජීවිතය ගැන කලකිරීමෙන් පීඩාවට පත්වූවන්ට සුදුසු හුදු වනවාසී ජීවිතයක් උගන්වන ධර්මයක් සේ හදුන්වා දීමට ස්ථවිරවාදීහු උත්සහ කළහ. එහෙත් බුදු දහමින් උකහාගත හැකි සාමාජික ධර්ම උකහාගෙන එමගින් බුදු දහම සමාජය පිණිස දෙශනා කළ ධර්ම මාර්ගයක් බව කියාදුන්නෝ මහායානිකයෝය. අදත් ලක්දිව ධර්මාසනය බෙහෙවින් පාවිච්චි වන්නේ ගිහි ජනතාව විදිය යුතු ගිහිසැප පිළිකුල් කරවා ජීවිතය දුක්ඛ පක්ෂයටම බරවූ බරක් මෙන් පෙන්වාදීමටය.

- බෝධිචර්යාවතාර සිංහල පරිවර්තනයට ලියූ රූපරේඛාවෙන්

සාසනරතන හිමියන් වික්‍රමසිංහගේ යති පරපුර හා ගිහියන්ට කරන බණ දෙසුම් විවේචනය සමග එකගවුවත් ගිහියන් උදෙසා බුදුන් දෙසූ මගක් නැත යන අදහසට එකග වුණේ නැහැ. සාසනරතන හිමියන්ගේ මේ අදහස සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ එන අදහස සමගත් සැසදෙනවා. ධම්මික උපාසක තැන බුදුන්ගෙන් විමසන්නේ “අප මෙන් අඹු දරුවන් හැර ගොස් පැවිදි විය නො හැකි ගිහි ජනයා ඔබගේ ධර්මය අනුගමනය කළ යුත්තේ කෙසේ ද? ” යනුවෙනි. එයට බුදුන්වහන්සේ දෙන පිළිතුර වන්නේ “පොහෝ දිනවල උපෝසථ ශීලයත්, සෙසු දිනවල පංච ශීලයත් පිළිපදින” ලෙස යි. වික්‍රමසිංහ කියන පරිදි ගිහියන්ට මගක් බුදුන් නො දෙසුවා නම් බුදුන්වහන්සේ ධම්මික උපාසකට පැවසිය යුතු ව පැවිදි ව බවුන් වැඩීම කළ නොහැකි අයට මගේ දහම පිළිපැදිය හැකි මගක් නැත යනුවෙනුයි. නමුත් අනෙක් අතට පැවසිය හැක්කේ වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ පන්සිල් අටසිල් ආදිය දඹදිව පොදු සමාජයේ පැවති විනයක් මිස බුදුන්වහන්සේ නිපදවූ විනය ක්‍රමයක් නො වන බව යි. ධම්මික උපාසකට මේ පිළිතුර දුන්නේ ද එවක සමාජයේ එය පොදු පිළිවෙතක් වූ නිසා මිස බුදුදහමේ අංගයක් වූ නිසා නො වේ යැයි ඒ අනුව කෙනෙකුට තර්ක කළ හැකි ය.

....බෞද්ධයන්ගේ ව්‍යවහාරික ජීවිතයෙහි සදොස් නිදොස් බව මැනෙන මිනුම් නොවේ අටසිල් පද හා පන්සිල් පද. අරි අටගි මග පැවිද්දන් උදෙසාය. පන්සිල් පද බුදුදන්වහන්සේ ගිහියන් උදෙසා නිපදවූ විනය ක්‍රමයක් නොවේ. එය ඉන්දියාවේ පැවති ලෝකායත වාදයට පටහැනි හැම උසස් ආගමක් විසින් ම අනුමත කළ සමාජ විනය ක්‍රමයකි.

පන්සිල් පද බිදීම බුද්ධ නීතිය බිදීමක් නොවේ.

- නවකතාංග සහ විරාගය

මෑතක සිට සමුද්‍ර වෙත්තසිංහ ඉරිදා ලංකාදීපයට සෝවාන් ඵලය ගැන ලියන ලිපි පෙළකත් සදහන් කර තිබුණේ සෝවාන් ඵලලාභියා අතින් පවා පන්සිල් පද බිදෙන්නනට හැකි බව ත්‍රිපිටකයේ සදහන් වී තිබෙන ඇතැම් පුවත්වලින් පෙනෙන බව යි.

වික්‍රමසිංහ බෞද්ධ මූලාශ්‍රයක උධෘතයක් ගෙනහැර දක්වමින් පෙන්වා දෙන්නේ එකල කුරු රටෙහි සිටි ගණිකා දුව ද ඇතුලු සැවොම පන්සිල් පිළිපැද්දේ යයි එහි සදහන් වන බව යි. එයින් පෙනෙන්නේ එය එකල සෑම අයෙකු ම පිළිපැදි විනයක් මිස බෞද්ධ විනයක් නො වන බව යැයි වික්‍රමසිංහ පවසනවා. සිරි සමන්තභද්‍ර හිමි ද තමන්වහන්සේ රහත් වූයේ යැයි පැවසූ මුල් දිනවල ඉරිදා ලක්බිමකට ලිපියක් ලියමින් කියා සිටියේ බුදුන්වහන්සේ පන්සිල් පද බිහි කළේ සමාජයට සාපේක්ෂ ව බව යි. උන්වහන්සේගේ වෙනත් අදහස් සහ රහත්බව ගැන ගැටලු අපටත් තිබුණත් මෙතැන දී නම් උන්වහන්සේ නිවැරදියි.

වික්‍රමසිංහ පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ ඛුද්ධක නිකායේ ජාතක පාලියෙහි එන ජාතක කථා වස්තු අනුව බෝධිසත්වයන් ද පන්සිල් බිදි සහ සාමාන්‍ය ගිහියකු මෙන් කෙලෙස් සහිත හැසිරීම් පිළිඹිබු කළ අවස්ථා තිබෙන බව යි. නිදසුන් ලෙස එක්තරා ජාතක කතාවක දී වංචාවෙන් දූ කෙළින අයකු ට පාඩමක් ලෙස බෝධිසත්වයන් පස ඇටවලට වස යොදන බවත් සිය වංචාව පිණිස පස ඇට දිවෙහි තබන ඔහු ඇද වැටෙන බවත් පසුව, අදහස වෙනස් කරගන්නා බෝධිසත්වයන් ඔහුට ප්‍රතිකාර දෙන බවත් වික්‍රමසිංහ පවසනවා. එසේ ම මහෞෂධ පණ්ඩිතයන් කේවට්ට බමුණාට මැණිකක් ගන්නට සලස්වන බව අගවා එය ගැනීමට නැඹුරු වන විට කෙස්වැටියෙන් අල්ලා මුහුණ බිම උලන සැටිත් ඔහු ගෙනහැර දක්වනවා. බෝධිසත්වයන්ට ද මෙලෙස හැසිරෙන්නට හැකි නම් ගිහියන්ට බැරි ඇයි කියා යි වික්‍රමසිංහ අසන්නේ.

වික්‍රමසිංහ ගෙනහැර දැක්වුවේ නැතත්, තක්ක ජාතකයත් මේ තර්කය ශක්තිමත් කරන නිදසුනක්. එහි දී නපුරුකම නිසා මෙහෙකරුවන් විසින් ගගට බිළිකළ කුල දැරියක්, තක්‍ර පණ්ඩිතයන් නම් තවුසකු ව සිටි බෝධිසත්ත්වයන් විසින් බේරාගෙන හදාවඩාගන්නවා. ඇය සමග ඇළීම නිසා සිය ධ්‍යානයෙන් පිරිහෙන ඔහු තවුස්බව හැර ජීවිකාවක නියැළෙමින් ඇය රක්ෂා කරමින් ඇය සමග පවුල් ජීවිතයක් ගත කරනවා. සොරමුලක් ඔවුන් සිටින ගමට පැමිණෙන විට ඇය ව බේරීමට ඇගෙන් වෙන් ව යන තවුසාව සොරුන් අතට පත්කරගත හැකි සැලැස්මක් සොර නයුවාට ඉදිරිපත් කරන ඇය එහි ක්‍රියාකාරී භූමිකාව ද ඉටුකරනවා. සොර නයුවා උදේ හවස අතේ පයේ හිරි ඇරගන්නට යොදාගන්නේ තවුසාව යි. ඒ හැමවිටම ඔහු කියන්නේ අහෝ කලගුණ නොදත් දුෂ්ඨිය කියා යි. ඒ අසන සොර නයුවා එසේ කීමට හේතුව විමසනවා. බෝධිසත්ත්වයන් කථාව පවසනවා. මෙතරම් කලගුණ කළ මොහුට මැය මෙසේ කරා නම් මට කුමක් නොකරනු ඇති දැයි සිතන සොර නයුවා, තවුසාව මරන්නට යන බව කියා තරුණියත් තවුසාත් දෙදෙනා ම සමග දුරකට ගොස් තවුසා ව මරන මුවාවෙන් තරුණිය කඩුවෙන් දෙපලු කර දමනවා. ඉන්පසු තවුසාට කීප දිනක් උවටැන් කර, ඔහුත් සමග ම එක් ව බවුන් වඩා අභිඥා උපදවාගෙන මරණින් මතු දෙදෙනා ම දෙව්ලොව උපදිනවා. පූර්වවාපර සන්ධි ගලපමින් බුදුන් පවසන්නේ ඒ සොර නයුවා ලෙස ඉපිද සිටියේ ආනන්ද තෙරුන් බවයි!

පන්සිල්වල බලවත් ම අකුශලය ප්‍රාණඝාතය යි. ආනන්ද තෙරුන් පෙර භවයක එය පවා කර තිබුණත් එම භවයේ ම අභිඥා උපදවා ගැනීමටවත්, දෙව්ලොව ඉපදීමටවත් එයින් බාධාවක් වී නැහැ.

ජාතක පුවත්හි එන මෙවැනි තැන් දක්වමින් පානදුරාවාදයේ දී දාවිත් ද සිල්වා පියතුමන් මතු කළ විවේචනයකට පිළිතුරු දෙමින් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ද මෙලෙස පවසනවා.

තවද මේ පාදිලි තැන බුදුරජාණන් වහන්සේට නින්දා කිරීම පිණිස පරන්තපජාතකයද, සුස්සන්දියජාතකයද, යන ජාතක දෙක ගෙණහැර දක්වා එහිදී බෝධිසත්වයෝ වැරදි කළ බව කීවා මේ ඇත්තන්ට ඇසෙන්නට ඇත. එයින් බුදුරජාණන් වහන්සේටවත් බුද්ධාගමටවත් කිසි අපහාසයක් නැත. මක්නිසාද කෙලෙස් සහිත පුද්ගලයෝ වැරදි කරණවා සත්තකය. කෙලෙස් සහිත පුද්ගලයෙක් වැරදි කළාට නිකෙලෙස් වූ බුදුන්ට එයින් කිසි අපහාසයක් නැත.බෝධිසම්භාරය පුරණ බෝධිසත්වයන්වහන්සේලා වැරදි කරන්නේ නැත” කියා අපි කියන්නේ නැත. බුදුඋනායින් පසු උන්වහන්සේ කිසි වැරැද්දක් කළේ නැත. බුද්ධාගම්කාරයෝ වන අපි සරණ යන්නේ අදහන්නේ වදින්නේ පුදන්නේ බුදුන්ටය. බෝධිසත්වයන් සරණයාමක් අපේ නැත.



2021-09-27

බෞද්ධ සංස්කෘතියට එරෙහි මූලධර්මවාදියෝ

බෞද්ධ ජනතාව අතර සංස්කෘතිකව මුල්බැසගෙන තියෙන ආගමික සිරිත්, ධර්මය විපරීත කිරීමක් විදියට හෙලා දකින එකත් ඒවායෙහි නියැලෙන ගැමි බෞද්ධයන්ට ගරහන එකත් බොහොමයක් නූතනවාදී බෞද්ධයන්ගේ එක සිරිතක්. ඔවුන් කියන්නේ බුදුන් මෙවැනි දේ කරන්න කියා පවසා නැති නිසා ඒවා කළ යුතු නැහැ කියලයි. එය අනවශ්‍ය දෙයක් බවයි. අපි අනෙකුත් ධර්ම, විශේෂයෙන් ම ආබ්‍රහිමික ආගම් ගත්තොත් ඒවා බොහොමයක් තුළ ඒ ඒ වත්පිළිවෙත්, පුදපූජා, ජීවිතයේ සුවිශේෂී අවස්ථාවල කළ යුතු ආගමික සිරිත් ශාස්තෲවරුන් ම නියම කර තිබෙනවා. නමුත් බුදුදහම, ජෛනදහම වැනි ධර්ම තුළ මෙලෙස ගිහිජනතාව ධර්මය පිළිපැදිය යුතු ආකාරය ගැන නිශ්චිත නියම කිරීම් නැහැ. බුදුදහම තුළ එවැන්නක් තිබෙනව නම් තිබෙන්නේ දීඝ නිකායේ සිගාලෝවාද සූත්‍රයෙත්, ඛුද්ධක නිකායේ සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයෙත් පමණයි. (ධම්මික සූත්‍රයේ දී අඹු දරුවන්, ගෙවල් දොරවල් අතහැර පැවිදි විය නොහැකි අප වැනි ය දහම පිළැපදිය යුත්තේ කෙලෙසදැයි විමසූ විට බුදුන් පවසන්නේ දිනපතා පංචශීලයත්, පොහෝදින උපෝසථ ශීලයත් පිළිපදින ලෙස යි.)


එලෙස නිශ්චිත පැනවීම් ගිහිදිවිය සම්බන්ධයෙන් නැත්තේ බුදුදහම ආබ්‍රහිමික ආගම් මෙන් ලෙෳකික ජීවිතය පරිපාලනය කිරීම අරමුණු කරගත් දහමක් (telemachial religion) නොව ඉන් මිදීම (නිවන් අවබෝධය) අරමුණු කරගත් දහමක් වූ නිසයි. නමුත් ගිහියෙකුට බුදුදහමේ ආධ්‍යාත්මික මාර්ගය පිළිපැදිය නොහැකි බවක් මින් අදහස් වන්නේ නැහැ. එය එසේ වූවා නම් බුදුන් ධම්මික උපාසකට දිය යුතු ව තිබුණේ නිශේධනාත්මක පිළිතුරක්.


කිසියම් ජනතාවක් යම්කිසි ධර්මයක් පිළිපදින විට, ඒ ආශ්‍රිත ව සංස්කෘතියක් ගොඩනැගීම ස්වාභාවිකව ම සිදුවෙන දෙයක්. නූතනවාදී බෞද්ධයන්ගේ කෝපය අවුස්සන පෙර කී ආගමික අංග බිහිවන්නේ මේ සංස්කෘතික අවශ්‍යතාවය අනුවයි. නමුත් එම ක්‍රියාදාමය බුද්ධ ධර්මයේ එන ඉගැන්වීම් ම පදනම් කරගනිමින් සිදුවූවක් මිස එයින් පිටමං වෙමින් තමන්ගේ ආසාවට කළ කටයුත්තක් නම් නෙවෙයි. නිදසුන් ලෙස මළගිය ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම අරමුණු කරගත් බෞද්ධ අවමංගල චාරිත්‍රවලට පදනම ඛුද්ධක නිකායේ තිරෝකුඩ්ඩ සූත්‍රයේ සොයාගන්න පුලුවන්. එමෙන් ම බුදුන් වැදීමට අවශ්‍ය පදනම මහා පරිනිබ්බාන සූත්‍රයේ තිබෙනවා. සිල් සමාදන්වීමට ඇවැසි පදනම පෙර කී පරිදි ම සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ තිබෙනවා. ඒ නිසා මේ බෞද්ධ සංස්කෘතිය ධර්මය විපරීත කිරීමක් නො ව අර්ථවත් කිරීමකුයි.

අපි යමක් ධර්මයට එකග නැහැ යි කියන්නේ එය ධර්මයේ විශ්වාස පද්ධතිය සමග ගැටෙනවානම් විතරයි. ආබ්‍රහිමික ආගම්වලට වෙනස් ව බුදුදහම වැනි දහමක ගිහියන්ට තිබෙන නිදහස් බව නිසා ම එවැනි සංස්කෘතියක් නිර්මාණය කරගැනීමේ ඉඩ ගිහියන්ට තිබෙනවා. මේවා කරන්න කියා බුදුන් නොකිව්වා කියමින් බෞද්ධයන්ට සංස්කෘතිය අහිමි කරන්නට හදන අයට පිළිතුර නම් ගිහියන් එවැනි සංස්කෘතියක් සිය ධර්මය වටා ගොඩනැගීම වැරදි බවකුත් උන්වහන්සේ කොහේවත් කියා නැති බව යි. ඒ වෙනුවට එවැනි සංස්කෘතික නිර්මාණයක් උන්වහන්සේ විසින් ද අනුමත වුණු බවට සාධකයි සෑමතැනම හමුවන්නේ.

නිදසුන් ලෙස ආනන්ද බෝධියේ පුවත දක්වන්න පුලුවන්. භික්ෂූන් උදෙසා වස් විසීම බුදුන් පැනවුවෙත් කාලීන සමාජයේ ආකල්පයකට ගරු කිරීමක් ලෙසයි. බුදුන්වහන්සේත් සමාජ සම්මතයන්ට ගරු කරා නම් සැබෑ බුදුදහමේ නියෝජිතයන් ලෙස තමන් ව සලකන මේ නූතනවාදී බෞද්ධයන්ට එසේ කළ නොහැක්කේ ඇයි ද යන්න ගැටලුවක්.

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව මූලධර්මවාදය (fundamentalism) යන්න පහත අයුරින් නිර්වචනය කරන්න පුලුවන්

 

1a form of Protestant Christianity which upholds belief in the strict and literal interpretation of the Bible.


2the strict maintenance of the ancient or fundamental doctrines of any religion or ideology.


මූලධර්මවාදය යනු කිසියම් දහමක් එහි මුල්/ආදිම ස්වරූපයට කොටු කිරීම බවයි ඒ අර්ථ දෙක දිහා ම බැලුව ම පැහැදිලි වන්නේ. කෙනෙක් කිසියම් දහමක් එහි මූලධර්මවලට ම සීමා කිරීමට උත්සාහ ගන්නවා නම් (නවීනත්වය, ඒ ආශ්‍රිත සංස්කෘතිකාංග බැහැර කර ආපසු අතීත තත්ත්වයට යා යුතු ය කියා සිටිනවා නම්) ඔහු හෝ ඇය ආගමික මූලධර්මවාදියෙක්. යම් යම් බෞද්ධ සංස්කෘතිකාංග පසුකාලීන එකතුකිරීම යැයි පවසමින් ඒවා සමාජයෙන් ඉවත් විය යුතු යැයි කෙනෙක් කියන විට ඔහු ඉන්නෙත් මේ වැඩපිළිවෙළ තුළ ම නෙවෙයි ද? මෙයත් ස්ට්‍රික්ට්/ලිටරල් ඉන්ටර්ප්‍රිට්ෂන් එකක් නෙවි ද බුදුදහම ගැන? ගැමි බුදුදහමේ වත් පිළිවෙත් පමණක් නො ව දහම් පාසල, භක්ති ගීත, බෞද්ධ කොඩිය වැනි අංග පවා කතෝලික පිටපත් කරගැනීම් කියමින් බැහැර කරන විට එයත් වැටෙන්නේ මේ ගොඩට තමා. කලක් මා විශ්වාස කළ භික්ෂූන් වනවාසීව ම පමණක් සිටියු යුතු බව. එයත් මූලධර්මවාදී අදහසක්. (ඔව්! ඇදහිල්ල පෞද්ගලික යමක් බැවින් පාසලේ දී උදෑසන පන්සිල් ගැනීමත්, මැටි පිළිම යැයි කියා බුදුපිළිමවලට වැඳීමත් 3 පංතියේ දී ප්‍රතික්ෂේප කළ අයෙක් මම. නමුත් දැන් නම් මාගේ අදහස් වෙනස් වී තිබෙනවා. බලන්න මේ ලිපිය)


ත්‍රිපිටකය වෙනස් වෙලා තියෙන්න පුලුවන්. ඒත් සමස්ත ත්‍රිපිටකය ම කපා කොටා වෙනස් කිරීමක් සිදුවීම ප්‍රායෝගිකව සිද්ධ වෙන්න බැහැ. මොකද එහෙම වුණා නම් නොගැලපීම්, පාලි භාෂා රටාවේ, ශෛලියේ වෙනස්කම් තියෙන්න ඕනා. නමුත් මේ කිව් කාරණා සම්බන්ධ ව එහෙම තැන් නැහැ. ඒ නිසා මෙය මුල්දහම අනුව ම බවයි නිගමනය කරන්න වෙන්නේ. කෙනකුට එහෙම තැන් (පාලි භාෂා රටාවේ වෙනස්කම්, ශෛලියේ වෙනස්කම්, නොගැලපීම්) මුණගැහිලා තිබෙනවානම් අදාල සූත්‍රය, පාඨය සමග පෙන්වා දෙන්න පුලුවන්. එහෙම තැන් හොයානොගෙන ඕක එකතුකරපු, ඒක පස්සේ ලියපු එකක් කිය කියා කට තිබ්බ පලියට කෑගහන එක නම් බුද්ධිමත් යැයි කියාගන්න කෙනකුට සුදුසු නැහැ. මහාචාර්ය රිචර්ඩ් ගොම්බ්‍රිච් කියන්නේ ඔක්ස්ෆර්ඩ් බුදුදහම සහ පාලිභාෂාව සම්බන්ධව මෑත සිටින ඉහළ ම උගතෙක්. විෂය පිළිබද ව  සරසවියේ මහාචාර්යවරයෙක්. ඔහු සමග සමකර්තෘත්වයෙන් තමයි මහාචාර්ය ගණනාත් ඔබේසේකර ප්‍රොතෙස්තන්ත බුද්ධාගම ගැන කියවෙන සුප්‍රකට කෘතිය ලීවේත්. ඉතින් ඒ ගොම්බ්‍රිච් පවා කියන්නේ “the content of the main body of sermons, the four Nikāyas and of the main body of monastic rules ... presents such originality, intelligence, grandeur and—most relevantly—coherence, that it is hard to see it as a composite work.” They are “the work of one genius”, the Buddha. කියලයි.


කෙනෙක් තර්ක කරන්න පුලුවන් ඒ මොනව වුණත් නිවන් අවබෝධයට මේවා අත්‍යවශ්‍ය නැහැ නේද කියා. පැවිදි ව විදර්ශනා වැඩීම හෝ සෝවාන්වීම නේද ඇවැසි කියා. නමුත් බුද්ධ කාලයේ මගඵල ලැබූ බොහෝ දෙනකුගේ පෙර භව පුවත් ගැන කියවන විට පෙනෙන්නේ ඒ මගඵල ලැබීම පෙරභවවල කළ කුසල් නිසා වූවක් බව යි. (උග්ගසේන, අංගුලිමාල) මෙය බුදුදහම සමග මැනවින් පෑහෙනවා. මොකද බුද්ධත්වය ලබන්නට පාරමී පිරිය යුතු යි. ඉහළ ම මගඵලයට පමණක් නො ව පසේබුදුවරයකු වීමටත් පාරමිතා පිරිය යුතු කාලය බුදුන් දක්වා තියෙනවා. එහෙම නම් රහත්බවටත් එවැනි පූර්ව පාරමිතා තිබීම ඇවැසි යි කියා සිතීම වැරදි නැහැ. (නමුත් ඒ කාලය කො පමණ ද කියා බුදුන් නම් දක්වා නැහැ.) ඒ අනුව ගැමි බුදුදහමේ සැදෑ මග බුදුදහමේ ආධ්‍යාත්මික මාවත සමග බැදුණක් මිස ඉන් පිටමං වූවක්, එයට පිටින් එල්ලූ එයට නෑකමක් නැති දෙයක් නෙවෙයි.


තමන් ගැන අධිතක්සේරුවකින් නිවන් දකින්නට ප්‍රමාණවත් පින් තමන් කර ඇතැ යි සිතන ඒ නිසා ම වදින පුදන ගැමියන් ව බුදුදහම වරදවා ගත් මෝඩයන් ලෙස දකින ෂාර්මිනී සේරසිංහලා (බලන්න - ඇය කොළඹ බණ ට ලියූ මේ ලිපිය.) වැනි අයට වඩා මේ භවවල පිං කර බුදුන් දැක නිවන් දකින්නට පතන ගැමි බෞද්ධයන්ගේ දැක්ම යථාර්ථවාදී යි. ආධ්‍යාත්මික විමුක්තිය පැත්තෙන් ප්‍රායෝගික යි.


ඇතැම් අය මේ ඉගැන්වීම් පසුකාලීන එකතුකිරීම් ලෙස දැක්කත් මට නං මේ ඉගැන්වීම්වල බුද්ධ දර්ශනය සමග එකමුතුවක් මිස ගැටුමක් පෙනෙන්නේ නෑ. නිදසුනක් විදියට බුදුන් වැදීම පිං ලැබෙනවා කියන කාරණය ගත්තොත් - පිනක් කියන්නේ යහපත් සිතකින් කරන ක්‍රියාවක්. උසස් පුද්ගලයකුගේ ගුණවත් බව සිහිකිරීමත් එවැන්නක්. ඒ වගේ ම පිනක කාර්යසිද්ධියට අපේ පූජාව ලබන්නාගේ පිළිගැනීම හෝ නො පිළිගැනීම බලපාන්නේ නෑ. මොකද පින කියන්නේ තමන්ගේ චේතනාව මත නිර්ණය වන්නක් නිසා. ඒ අනුව බුදුන් පිරිනිවිලා ද නැද්ද යන්න මත අපි කරන පූජාවන්, වන්දනාමානවල ඵලක් නො වී අරින්නේ නෑ


බුද්ධාගම කියන්නේ ආගමක් නෙවෙයි, දර්ශනයක් යන්නත් නූතනවාදී වගේ ම සාම්ප්‍රදායික බෞද්ධයන් අතරත් ප්‍රචලිත කියුමක් නිසා මේ ගැනත් යමක් කිව යුතු යි කියා හිතනවා. ආගමක් කියන්නේ කිසියම් ආධ්‍යාත්මික අරමුණක් මුදුන් පමුණුවා ගන්න බිහිකෙරුණු මගපෙන්වීමක් කියන්න පුලුවන්. බුදුදහම කියන්නේ නිර්වාණය කියන ආධ්‍යාත්මික අරමුණ සාක්ෂාත් කරගන්නට කියාදෙන ක්‍රමවේදය, මාවත තමයි. ඒ අනුව බුදුදහමත් ආගමක් මිසක් වෙන දෙයක් නෙවෙයි.



2021-08-16

බුදුදහම සහ බටහිර විද්‍යාව

බුදුදහමේ ඇතැම් සංකල්ප පසුකාලීනව එක්වෙන්නට ඇති කියා ප්‍රතික්ෂේප කරන එක ඇතැම් නූතනවාදී බැතිමතුන්ගේ සිරිතක්. බොහොම වෙලාවට ඔවුන් මෙහෙම බැහැර කරන්නේ භෞතිකවාදයට පටහැනි අධිස්වාභාවිකත්වය හා බැදුණු සංකල්ප, සංසිද්ධි, ඉගැන්වීම්. ඔවුන් ඒ කාරණා බැහැර කරන්නේ ඒ තැන් භෞතිකවාදයට හෝ හේතුවාදයට පටහැනි වීම නිසා බව පැහැදිලි යි. අපාය, දෙව්ලොව, ප්‍රේථ භවයන්, සෘද්ධි ප්‍රාතිහාර්ය ආදී සංකල්ප ප්‍රතික්ෂේප කිරීම, දෙව්ලොව හා අපාය ඇත්තේ මේ මිහිලොව ම බව, මාරයා යනු මරණය/කෙලෙස් සංකේතවත් කිරීමක් මිස පුද්ගලයෙක් නොවන බව, බුදුන් යනු මගඵලයක් ලැබූ අයකු නොව හුදෙක් බුද්ධිමත් මිනිසෙක් බවට, නිවන් දැකීම යනු ධර්මය හොදින් තේරුම් ගැනීම පමණක් බව වැනි අනේක වූ විග්‍රහ කරලියට එන්නේ බුදුදහම භෞතිකවාදයට, හේතුවාදයට එකග දහමක් බවට පත්කරගැනීමේ වුවමනාව නිසයි. බුදුන් වැදීම, පිං අනුමෝදන් කිරීම, සිල් සමාදන් වීම, පිරිත් සජ්ඣායනය වැනි සංකල්ප ඇතැමුන් ප්‍රතික්ෂේප කරන්නෙත් මේ හේතුව නිසා ම යි.

මමත් කාලයක් තිස්සේ (වයස 20ක් 21ක් පමණ වන තුරු ම) සිටියේ මෙවැනි මතවල නිසා මේ මානසිකත්වය ගැන මම හොදින් ම දන්නවා. පහේ පංතිය වැනි වයසක මා මෝඩයෙක් වගේ කොවුර් කරේ තියං හිටි හැටි ගැන (මැටි පිළිම කියා බුදුන් වැදීමත්, මගේ පෞද්ගලික කාරණයක් විය යුතු නිසා පන්සිල් ගැනීමත් ප්‍රතික්ෂේප කළ අයුරු) කලහේ සුමංගලෝදයේ හිටි පංති සගයන් ඇති පදම් සාක්කි දරාවි. සෙසු මතත් කාලයත් එක්ක ඇතිවෙලා තිබුණා.

කොටින් ම කියනව නං පායාසි රාජන්‍ය වගේ. (දීඝ නිකායේ පායාසි සූත්‍රය කියවන්න.)

එය මගේ තර්කානුකූල ගතියක් නිසා ද ඉතාමත් දැඩි හේතුවාදියෙක් වන මගේ පියාගෙන් ළමාවියේ ම ඔලුවට කාන්දු වූ අදහස් නිසා ද කියන්න මම දන්නේ නැහැ.

ඒ කොහොම වුණත් අපි කල්පනා කළොත් ඇයි මම මේ සංකල්ප ප්‍රතික්ෂේප කළේ, ඇයි ඒව ම පසුකාලීනව එක්වුණු දේවල් හැටියට දකින්නේ කියලා ඒකට හේතුව තමයි, මෙවැනි දේවල් ලොව පැවතිය නොහැකි බවට තියෙන විශ්වාසය. විශ්වාසය? ඒක කොහොම ද විශ්වාසයක් වෙන්නේ? විද්‍යාවට අනුව එහෙමනේ. දැඩි ම දැඩි අන්ධ භක්තියකින් ඉන්න කෙනෙක් කියන්න පුලුවන්.

විද්‍යාව කියන්නේ ක්‍රමවේදයක්. භෞතිකවාදය කියන්නේ මතවාදයක්

අපේ ඇසට කනට නොදැනෙන, අතට පයට හසු නොවෙන නිසයි අපි (හේතුවාදීන්) ඒ සංකල්ප විශ්වාස නොකරන්නේ. යමක් ඇත්තට ම පවතිනව නම් අපේ පංචේන්ද්‍රියවලට ගෝචර විය යුතු බව තමයි මේ පිටුපස තියෙන තර්කය. යමක් ලෝකයේ සත්‍ය ලෙස ම තිබෙනවා නම් එය අපේ ඇසට, කනට, සමට, නාසයට, දිවට දැනිය යුතු යැයි සිතන විට අපි ඉන්නේ අපේ ඉන්ද්‍රිය පද්ධතිය අංගසම්පූර්ණ බවට, එනම් ලොව ඇති සෑම දෙයක් ම ග්‍රහණය කරගත හැකි ඉන්ද්‍රියන් අප සතු බවට වූ විශ්වාසයකයි. නමුත් ඇතැම්විට මේ විශ්වාසය වැරදි වෙන්නත් පුලුවනි. මට අහවල් දේ නො පෙනෙන නිසා මම ඒව පිළිගන්නෑ කියල අන්ධයෙක් කීවොත් කොහොම ද? ඒ වගේ තමයි මනස දියුණු කරල (එහෙම පුලුවන් නම්) සාමාන්‍යයෙන් නො පෙනෙන යථාර්ථයක් දැකපු අය කියන දේ එසේ මනස දියුණු නො කරපු අය තමන්ට ඒව නො පෙනීම මත, ඒව නැහැ/බොරු කියල ප්‍රතික්ෂේප කිරීමත්. පායාසි රාජන්‍යයට/සුභ මාණවකට ලැබෙන පිළිතුර

මනසින් පමණක් දැකිය හැකි දේවල් ගැන අහන කොටත් හිනා යන පිරිසක් ඉන්නවා. ඒ අය මේ සංස්කෘතියේ අය නෙවෙයි. බටහිර චින්තනය තුළ මනස ඉන්ද්‍රියක් විදියට නො සැලකුණාට සිංහල-බෞද්ධ චින්තනය තුළ මනසත් ඉන්ද්‍රියක්. ඒ කියන්නේ අනිකුත් ඉන්ද්‍රියන්ට නො දැනී මනසට පමණක් දැනෙන දේවල් තියෙන්න පුලුවන්. නිදසුනක් විදියට නිවණ කියන්නේ මනසට පමණක් දැනෙන දෙයක්. (රහ දැනෙන්නේ දිවට විතරයි. ඇහැට, කනට, නහයට දැනෙන්නෑ කියල දිවට දැනෙන රහ බොරු කියන්නේ නෑනේ අපි, නේද? ඒ කියන්නේ එක ඉන්ද්‍රියකට දැනෙන දේ අනික් ඉන්ද්‍රියන්ට දැනෙන්න ඕනි නැහැ./දැනෙන්නේ නැහැ.) ඒ නිසා බුදුදහම පිළිගන්න කෙනකුට මනස ඉන්ද්‍රියක් විදියට නො සලකන බටහිර විද්‍යාව හෝ භෞතිකවාදය තුළ ඉන්න බැහැ. ඒ නිසා ම මනසට පමණක් දැනෙන දේවල් හුදු මිථ්‍යා ම ලෙස සලකා බැහැර කිරීමත් කරන්න බැහැ, බෞද්ධ චින්තනයකට අනුව. මනස ඉන්ද්‍රියක් වන සංස්කෘතියක දැනුම, මනස ඉන්ද්‍රියක් නොවන සංස්කෘතියක දැනුමින් මනින විට ඔවුන් කරන්නේ එක සංස්කෘතියක් තව සංස්කෘතියකින් මැනීම. කෙනෙක් කියන්න පුලුවන් බටහිර සංස්කෘතියේ දැනුම - මනස ඉන්ද්‍රියක් නොවන බව ඇත්ත බව ඔප්පු වෙලා නේද කියල. මනසත් සිරුරත් අතර සම්බන්ධය ගැන තවම බටහිර විද්‍යාවවත් දර්ශනයවත් නිසි පරිදි දන්නේ නැහැ කියල ඔවුන් ම පිළිගන්නවා. අනික බටහිර විද්‍යාව කියන්නේ සත්‍යය ම නිවැරදි ලෙස දැනගත හැකි මගකුත් නෙවෙයි. මේ ලිපියෙ ම තව මොහහොතකින් උපුටා දක්වන කපිල පීරිස්ගේ ලිපියේ කියුම කියෙව්වා ම ඒ බව පැහැදිලි වේවි.

ඇත්ත. මේ කියන ඒවට මම නලින්ට ණයයි. (මේ අදහස් - තර්ක ඔහුගේ ලිපිවලින්) නලින් බටහිර විද්‍යාව ගැන කරපු විවේචනවලට පින්සිද්ධවෙන්නයි මම හේතුවාදයෙන් මිදුණේ. වම්බැට්ටෙක් වුණු නිසා ම සමාජවාදී ශිෂ්‍ය සංගමය ලියා පළ කළ ක්වොන්ටම් ලෝකයේ දයලෙක්තිකය පොතේ කියන “මොලය මලක් නම් මනස එහි සුවද වැනි ය. මල පරවුණු පසු එහි සුවද නැති සේ මොලය මියැදුණු පසු මනසක් ද නැත.” වැනි තැනකයි මමත් සිටියේ.

නලින් විදුසරට ලියූ ලිපි මාස ගණනක් තිස්සේ කියවලා තිබුණත් මම ඒ විග්‍රහවල නිවැරදිබව දකින්න සමත් වුණේ නැහැ. මට ඔහු ව පෙනුණේ, ඇත්ත ම කිව්වොත් පිස්සෙක් හැටියට. නමුත් මට හොද මිතුරෙක් වගේ ම මතවාදී පසමිතුරෙකුත් වුණු ගයාන් ඒ ලිපිවල මුල් අවධිවල ම ඒ ගැන උන්නේ නිවැරදි තැනක. ඇත්තට ම නලින්ගේ අදහස් ඔහුට ඒතරම් අලුත් වුනේ නැහැ. මට මතකයි ඔහු එදා ඒ අදහස් අනුමත කරද්දි මම වියරුවෙන් මෙන් ගැටුණු හැටි. (ඔහු කොතරම් කිව්වත් එදා මට ව්‍යවහාර ලෝකය සම්මුති සත්‍යයක් වග තේරුණේ නැහැ. මං විතරක් නෙවි තව බොහොමයක් බෞද්ධයෝ ඉන්නේ ක්‍රිස්තියානි චින්තනයක මිසක් බෞද්ධ චින්තනයක් තුළ නෙවෙයි.) ඒ වගේම ඔහු සිනාමුසු ව, මගේ අපරිණතකම ගැන සානුකම්පිතව ඉවසපු හැටිත්. ඔහු මං වගේ බටහිර දාර්ශනිකයන්, මාක්ස්-ලෙනින් හෝ ෆ්‍රොයිඩ් වැනි අය කියවපු කෙනෙක් නෙවෙයි මං දන්න තරමින්. නමුත් මා සතු වුණු/මා ඉහළින් සැලකූ ඒ සියලු දැනුමට වඩා බලගතු දෙයක් ඔහු සතු ව තිබුණා. ඒ ගැමි සිංහල-බෞද්ධ චින්තනය. ඉතින් විය යුතු පරිද්දෙන් ම ඔහු උන්නේ මට වඩා දාර්ශනිකව ඉහළ තැනක.

නලින්ගේ අදහස්වල සත්‍යයතාව මට පෙනුණේ ඔහුගේ විදුසර ලිපිවලින් නෙවෙයි. ඒ කපිල පීරිස් ලියපු ලිපියකින්. නලින්ගේ අදහස්වලින් ආභාෂයක් ලබපු ඒ ලිපියේ බටහිර විද්‍යාව ගැන විවේචනය දක්වපු විදිහෙනුයි මට එය පැහැදිලි ව අවබෝධ වුණේ. ඒ වගේම වැරදි අවබෝධයන්ගෙන් හා ඒ නිසාම සිදුකෙරෙන ප්‍රතික්ෂේපයෙනුත් තොර ව විවෘත ඇසින් ඒ අදහස් දිහා බලන්න පෙළඹුණේ.

මේ තියෙන්නේ මාව මුදවපු, මාව වෙනස් කරපු කපිල පීරිස්ගේ නූතන අනුකාරක ජ්‍යෝතිෂ්‍යය සහ නූතන ඒකාධිකාරී විද්‍යාව නම් ලිපියෙන් ගත් උධෘතයක්.

මුළු බටහිර විද්‍යාව ම රදා පවතින්නේ අතීතයේ සිදු වූ දැ ඒ රටාවන් ඒ අනුව ම ඉදිරියට ද වේ ය යන හිතළු මත ය. සංඛ්‍යාන-සම්භාවිතාව යනු නො දන්නා බවේ විද්‍යාව (අවිද්‍යාව) .

බටහිර විද්‍යාව යනු විකෘති මනසින් සහ ඉන්ද්‍රිය පහ ඇසුරෙන් සහ සෘජු ව ම විකෘති මනසේ හිතළු මත ගොඩනැගුණකි. ඉතින් ඒ විකෘති සීමාව තුළ එමගින් ප්‍රයෝජන ගත හැකි ය. එහි විවාදයක්‌ නැත.

ඇත්තට ම මෙහි දී අප කළ යුත්තේ මනීන්ද්‍රිය වැඩීම ය. එය තවත් ඉන්ද්‍රිය වර්ධනයකි. එවිට අපට ඒ ඔස්‌සේ සෘජු දැනුම ලැබේ. අන්ධයා ඇස වර්ධනය කෙරුම වැනි ය. ඇස, කන, දිව, නාසය, සිරුර ඇසුරු කරගත් දැනුම සහ හිතළු හොඳ ය. එසේ ම මනස ද ඉන්ද්‍රියක්‌ ලෙස වැඩූ විට හිතළු තවත් අඩු වී ප්‍රත්‍යක්‌ෂ ගතිය තවත් වැඩි වේ. අප කළ යුත්තේ හිතළු අඩු කරමින් ප්‍රත්‍යක්‌ෂය කරා යැම ය. පංචෙන්ද්‍රිය සහ හිතළු තුළ සිර වී මනීන්ද්‍රිය අත්දැකීම් ඒ ඔස්‌සේ විග්‍රහ කෙරුමට හෝ ඔප්පු කෙරුමට උත්සාහ ගැනුම කිසිසේත් ම ප්‍රඥගෝචර වන්නේ යෑයි සිතිය නොහැකි ය.

දැනට බටහිර විද්‍යාවේ ඇත්තේ හෙට සිදු වන්නේ කුමක්‌ දැයි නිශ්චිතව කිව නොහැකි තත්ත්වයකි. එහි මහ ලොකු හේතු සෙවීම යනු මුලින් වන දෙය හේතුව ලෙසත් පසුව වන දෙය ඵලය ලෙසත් දැකීම ය. මෙවැනි හේතු ඵලයක්‌ මත නිර්මාණය කළ හිතළු ගොඩකි බටහිර විද්‍යාව. ඉතින් මේවා පිළිබඳ ව සිතීමේ දී වත් මින් ඔබ්බට ගමනක්‌, ඉන්ද්‍රිය වැඩීමක්‌ ගැන නො සිතන්නේ නම් එය විද්‍යාත්මකභාවය ද? විවෘත මනස ද? එසේ නොමැති නම් අමූලික අන්ධ භක්‌තිය ද?

ජ්‍යෙතිෂ්‍යය පමණක්‌ නො ව වෙනත් ඕනෑ ම එවැනි දෙයක සත්‍යාසත්‍යතාව දැනගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ඒ සඳහා ඇති ඉන්ද්‍රිය වර්ධනය කර ගැනුම ය. එවිට හිතළු මත පදනම් වී වාද විවාද කර ගැනුමට අවශ්‍ය නැත. ඉන්ද්‍රිය වර්ධනය නො වන තාක්‌ වනු ඇත්තේ වාද විවාද සිදු වීම පමණක්‌ ම ය. එමගින් කිසි දා සත්‍ය දැකගත නොහැකි ය. සත්‍යය ඇත්තේ තර්කයෙන් ඔබ්බෙහි ය. එය ඉන්ද්‍රිය ගෝචර කරගත යුතු ය. සියල්ල "ගෝචර" වන විට එනම් අවබෝධ (බෝධය) වන විට තර්ක, ප්‍රවාද, හිතළු, දිට්‌ඨි මතවාද කිසිවක්‌ අවශ්‍ය නැත. අප ගත යුත්තේ ඒ මගයි. වර්තමාන බටහිර විද්‍යාව යොදාගත යුත්තේ මේ ඉන්ද්‍රිය නො වැඩුණු තත්ත්වයක්‌ තුළ දැනට ඉතා පටු සීමාවක්‌ සහිත එදිනෙදා වැඩකටයුතු යම් ආකාරයකට හසු කරගැනුමට පමණි. ප්‍රත්‍යක්‌ෂයෙන් දැනගත යුතු දැ මේ විද්‍යාවෙන් දැනගැනීමට, ඔප්පු කරගැනුමට යැම තරම් මුග්ධ බවක්‌ නම් තවත් තිබිය නොහැකි ය.


වත්මන් විද්‍යාවෙන් "ඔප්පු" කළ හැක්‌කේ පංචෙන්ද්‍රිය අත්දැකීම් සහ අදාළ හිතළු එලෙස ම වලංගු වන අතිශය පටු වපසරියක ඇති දැ ය. එය ඒ සීමාවේ සිටින අය සඳහා ය. තර්කයෙන් කිසිවක්‌ අලුතෙන් ඔප්පු කළ නොහැකි ය. තර්කයෙන් කළ හැක්‌කේ දැනට සංවේදී දේ මනසට ගෝචර වන පරිදි දැක්‌වීම පමණ ය. ඉතින් බටහිර විද්‍යාවේ වපසරියෙන් පිටත දැ ඔප්පු කෙරුමට එය යොදාගත හැකි ද? බටහිර විද්‍යාවෙන් පිටත යමක්‌ ඇති බවට එම විද්‍යාවෙන් ම පෙන්විය හැකි ද?


අනෙක්‌ අතට මනීන්ද්‍රියක්‌ ඇත්නම් එය වැඩීමෙන් කළ හැකි දැ (අනාවැකි කීම වැනි) පෙන්වන ලෙස මනීන්ද්‍රිය නො වැඩූ කෙනකු අභියෝග කරන්නේ නම් එහි ද විශාල ගැටලු ඇත. ගොඩබිම ඇවිද ගිය ඉබ්බා තම අත්දැකීම් දියේ මාළුන්ට පැවසූ විට ඒවා දිය තුළ ඔප්පු කරන තුරු තමා නො පිළිගන්නේ යෑයි මාළුවා පැවසුව හොත් තත්ත්වය කෙබඳු වේ ද?

නූතන අනුකාරී ජ්‍යොතිශය සහ නූතන අධිකාරී විද්‍යාව - කපිල පීරිස් (විදුසර)


**********************

යමක් නො පවතින බව පැහැදිලිව ම ඔප්පු වන තුරු එයට සැකයේ වාසිය දීම වරදක් නෙවෙයි.

තවම හොයාගෙන නැහැ කියන්නේ ඇත්තෙ නැහැ කියන එක නෙවෙයි. පහුවෙනකොට හොයාගන්න පුලුවන් බව. හෙට, අනිද්දට, තව සියවසකින්, තව සහස්‍රයකින් හොයා ගැනෙන්නත් පුලුවන්. සමහරවිට කවම දාවත් හොයාගැනෙන්න බැරි දේවල් තියෙන්නත් පුලුවන්. ඒ අනුව මේවා බොරු බව නිසැක ව ම කිව හැකි දේවලට වඩා ඇත්ත ද බොරු ද කියා හරිහැටි කිව නොහැකි, එසේ කීමට නොදන්නා දේවල්. කෙනෙක් අහන්න පුලුවන් ඉතින් කෝකටත් ඇගට ගුණ නැද්ද ඇත්ත ද කියා හරියට ම නොදන්න දෙයක් විශ්වාස නොකර ඉන්න එක කියලා. ඇත්ත. එදිනෙදා ජීවිතයෙදි නම් මේ ප්‍රතිපත්තිය අතිශයින් ම නිවැරදියි. නමුත් අපි කිසියම් දහමක් වැළද ගන්නේ එය අපට පොරොන්දු වන ආධ්‍යාත්මික සැපය ගැන විශ්වාසය තියලා එය ලබාගැනීමේ පරම අපේක්ෂාවෙන්. බුදුදහමේ නොව ඕනෑම දහමක පසුකාලීනව එක්වුණු ඒවා තිබෙන්න පුලුවන් බව සැබැයි. නමුත් යම් හෙයකින් ඒ සංකල්ප සත්‍ය වුණොත් (එනම් සාම්ප්‍රදායික අර්ථකථනය ම නිවැරදි නම්) සහ ඒ සංකල්ප ඒ ආධ්‍යාත්මික සැපත ලබන්නට අත්‍යවශ්‍ය ම නම් තවම හරි හැටි බොරු බව ඔප්පු නොවී තිබිය දීත් අපි ඒ සංකල්ප අවිශ්වාස කිරීමෙන් කරගන්නේ හානියක්. නමුත් යම් හෙයකින් ඒවා නො තිබුණා කියා විශ්වාස කිරීමෙන් විය හැකි පාඩුවක් නම් නැහැ. මොකද මේ ප්‍රශ්නගත විශ්වාස, විශ්වාස කිරීමෙන්/පිළිපැදීමෙන් අපායෝත්පත්තියකට හේතු විය හැකි සදාචාර විරෝධී ඉගැන්වීම් නොවන නිසා. ඒ නිසා තිබ්බත් නැතත් විශ්වාස කරන එක තමයි බෞද්ධයෙකුගේ කෝණයෙන් නම් ඇගට ගුණ. නිරාගමිකයන්ට නම් ඉතින් මේ කථා අදාල ම නැහැ, නේද? ඒ අයට ඒ නිදහස තියෙනවා.

බුදුදහම සහ විද්‍යාව ගැන කතාකරන විට තව දෙයක් කිව යුතු යි. ඇතැම් බෞද්ධයන් බුදුදහම විද්‍යාත්මක බව පවසනවා. තව සමහරුන් විද්‍යාවේ සොයා ගැනීමුත් බුදුදහමේ ආගමික සංකල්පත් සමපාත කරන්නට තැත් කරනවා.

සමහරු කර්මය නිව්ටන්ගේ තුන්වන නියමය සමග ගලපන්න හදනවා! කර්මය කියන්නේ බොහොම සංකීර්ණ ආධ්‍යාත්මික සංකල්පයක්. මිනිස් සිත/ආත්මය හා බැදුණු දෙයක් වන එය භෞතික වස්තු ගැන නියමයක් වෙන නිව්ටන්ගේ කතා එක්ක ගලපන්න පුලුවන් ද? අනික එවැනි භෞතික කතාවකින්, බටහිර විද්‍යාඥයකුගේ අදහසකින් බුදුන්ගේ සංකල්පයක් සාධනය කරන්න හදනවිට ඒ පිටුපස තියෙන මානසිකත්වය කුමක් ද? බුදුන්ගේ වදනක් පිළිගන්නත් එය බටහිරයකුගේ තියරියක් එක්ක ගැලපෙන්න ම ඕන ද? එහෙම නැතුව පිළිගන්න හිත දෙන්නෙ ම නැද්ද? කර්මය පලදෙන විට එය සිදුවෙන්නේ අපේ සිතේ ඒ ගැන මතකය රැදී තිබීම නිසයි. ඒ නැතුව වස්තුවක් තල්ලු කරාද්දි එහි බලයක් මගේ අතට දැනෙනවා වගේ බාහිර යමකින් නොවෙයි. ඇරත් හොද කර්ම නරක කර්ම විපාකත් එක්ක, ඇතැම් කර්ම අහෝසි වීම/වඩා බලවත් වීම වැනි සංකීර්ණ තත්ත්වයන් එක්ක නිව්ටන්ගේ නියමයේ සමපාත කරන්න තියෙන අංගය මොකක් ද?

තවත් සමහරු ආගමික සංකල්ප විද්‍යාත්මක පරීක්ෂණවලින් ඔප්පු කරන්නත් හදනවා. තවත් සමහරු තව දුර ගොස් බුදුන් වහන්සේ විද්‍යාඥයෙක් යැයි කියනවා. බුදුන්වහන්සේ කසිකබල් බටහිර විද්‍යාඥයන්ගේ තැනට පිරිහෙලීම තරම් අපහාසයක් තවත් නැහැ. ඔවුන් කියන්නේ බුදුන් කළෙත් විද්‍යාඥයන් වගේම පර්යේෂණයක් බවයි. බුදුන්ගේ ආර්ය පර්යේෂණයේත් බටහිර විද්‍යාඥයන්ගේ පර්යේෂණ සදහාත් තිබිය යුතු නිර්ණායක සමාන ද? නම එකම වූ පමණින් මතුපිටින් පොඩි සාම්‍යයක් පෙනුණ පමණින් මේවා අතර බරපතල දාර්ශනික වෙනස්කම් තිබෙනවා. බුදුදහමේත් විද්‍යාවක් අවිද්‍යාවක් තියෙනවා. ඒ විද්‍යාව ඉස්කොලේ විද්‍යා විෂය යටතේ උගන්වන විද්‍යාව නෙවෙයි. (එහි උගන්වන කරුණක් දෙකක් උන්වහන්සේ කියා තිබෙන්න පුලුවන්. ඒත් බුදුදහමේත් ඒ විද්‍යාවේත් පරමාර්ථය, සංකල්ප, ශිල්ප ක්‍රම කොතරම් වෙනස් ද?) බුදුදහමේ අවිද්‍යාව කියා නම් හදුන්වලා තියෙන්නේ විද්‍යා විෂයේ දී කෙරෙන දේ තමා. එක්තරා සූත්‍රයක බුදුන් යෙදූ උපමාවෙන් ම කීවොත් පපුවේ හීයක් ඇණී අසාධ්‍යව සිටින කෙනෙක් මේ හීය කොහෙන් ආව ද? මේක හදා තියෙන ලෝහය කුමක් ද? මේක කොතරම් බර ද? ආදී ලෙස කල්පනා කිරීමක් තමයි ඔය කියන විද්‍යාව.

මොරටුවේ සාසනරතන හිමියන්ගේත් නලින් සිල්වාගේත් කියුමක් මේ ගැන දක්වන්නේ මේ අයගේ හිතසුව වෙනුවෙනුයි.

භාරතීය මුනිවරයන් අන්තර් ඥානය යෙදුවේ ඇත්ත දැන ගැනීමට නොවේ. ඇත්ත අවබෝධ කර ගැනීමටයි. ඇත්ත දැනගැනීමට ප්‍රාකෘතක විඥාණය ප්‍රමාණය. පෙරදිග යොගීන් අන්තර් විදර්ශනා ඥානයෙන් දුටු මේ ඇත්ත බටහිර විද්‍යාඥයෝ විද්‍යාඥානයෙන් දැනගත්හයි සමහර විචාරකයෝ තර්ක කරති. එහෙත් බටහිර විද්‍යාඥයන්ගේ මේ විද්‍යා සංකල්පය හා යොගීන්ගේ අන්තර් විර්දර්ශනාඥානයත් එකට ගලපන්නට උත්සහ කිරීම තරමක නිෂ්ඵල උත්සාහයක් විය නොහැකිද?

විද්‍යාඥානය දෘෂ්ඨාන්තයෙන් සාධ්‍ය වූවක් නොව ප්‍රත්‍යක්ෂයෙන් සාධ්‍ය වූවකි. එහෙත් ප්‍රාකෘතක විඥානය මෙන් ම යොගී ඥානයද සාධ්‍ය ස්වරූපයෙන් දෘෂ්ඨාන්තය පිළිගනී.

- මොරටුවේ සාසනරතන, බෝධිචර්යාවතාර පරිවර් තනයේ රූපරේඛාව


අද ඇතැම්හු තම තකතීරු පණ්ඩිතකම ප්‍රදර්ශනය කරමින් බුදු දහම විද්‍යාත්මක දැයි අසති. මේ තකතීරු ප්‍රශ්නය පිටුපස මොන තරම් දීනකමක් පරගැතිබවක් පමණක් නො ව මුග්ධ බවක් ද ඇති බව ප්‍රශ්නය අසන්නෝ නො දනිති. මේ ප්‍රශ්නයට මා දෙන පිළිතුර නම් බුදු දහම බටහිර විද්‍යාත්මක නොවන බවත් බැරි වේලාවත් එ සේ විණි නම් මා බෞද්ධකම අත්හරින බවත් ය.

- නලින් ද සිල්වා, අපේ ප්‍රවාද (පළමු පොත)


මේ ප්‍රවණතා ඇරඹුණේ 19වන සියවස වගේ කාලෙක යටත්විජිත සමය තුළ බටහිරයන්ගේ සිත්දිනාගැනීමේ අරමුණින් බුදුදහමේ-සංකල්ප ඔවුන්ගේ දර්ශනය-විද්‍යාව සමග සැසදෙනසුලු ලෙස ඉදිරිපත් කිරීමේ ව්‍යායාමයෙන්. අවාසනාවකට අනගාරික ධර්මපාලතුමත් එහි ගොදුරක් වුණා. ඔහු පෙනීසිටි බුදුදහම නූතනකරණය කළ, ගිහියන් මුල්කරගත්, ඉංග්‍රීසි උගත් කොළඹ මැද පංතිය වෙනුවෙන් තැනූ එකක් මිස ගමේ හාමුදුරුවන් මූලික කරගත්, දෙවියන්, ප්‍රේතයන් විශ්වාස කළ එනම් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි පානදුරාවාදයේදී පෙනී සිටි පැරණි ගැමියන්ගේ බුදුදහම නෙවෙයි. බුදුදහම බටහිර විද්‍යාව සමග සැසදීම පිටුපස තිබුණෙත් අර බටහිරයන්ගේ ආර්යත්වයේ කරේ එල්ලෙමින් ගැමියන්ට හැදි ගෑරුප්පු හා ටොයිලට් පේපර් ගැන කියමින්, වික්ටෝරියානු සුචරිතවාදය ද කරේ එල්ලාගනිමින් ඔවුන්ගේ තත්ත්වයට පත්වීමට තිබූ පරගැති මානසිකත්වය. බටහිරීකෘත බුදුදහම ගැන වැඩි විස්තර Buddhist modernism විකිපීඩියා ලිපියෙන් දැනගන්න පුලුවන්