2021-06-30

සමාජවාදය අසාර්ථක ද?

 

අද සමාජවාදී කියන රටවල් දිහා බැලුවම කෙනෙක් විද්‍යාත්මක සමාජවාදය (මාක්ස් තමන්ගේ මතවාදය හැදින්වුවේ එහෙමයි.) ගැන වැරදි අදහසක් ඇතිකරගන්න පුලුවන්.

එක වැරදි අදහසක් තමයි මාක්ස්වාදය අනුගමනය කළොත් රටවල් දුප්පත් වෙන බව. අපි කලිනුත් කිව්වා වගේ මාක්ස්වාදය කියන්නේ සමාජ ආර්ථික වැඩපිළිවෙළක් හෝ රාජ්‍ය ක්‍රමයක් නෙවෙයි. ඒක ඉතිහාසය විග්‍රහ කරමින් අනාගතය පුරෝකථනය කරගැනීමේ උපක්‍රමයක්, විද්‍යාවක් මිසක් දේශපාලන මතවාදයක් නෙවෙයි. මාක්ස් කිව්වේ සමාජවාදී සමාජයක් බිහිවෙයි කියලයි. සමාජවාදී ආණ්ඩුවක් නෙවෙයි.

කොහොම නමුත් කෙනෙක් අහන්න පුලුවන් මොන විදියෙන් හරි සමාජවාදී (නිෂ්පාදන මාර්ගවල අයිතිය සම ව බෙදී යන) ක්‍රමයක් ගැන ප්‍රාර්ථනාව සමග මාක්ස්වාදය බැදී තියෙන නිසා මේ රටවල් දුප්පත් වීමට ඒ ක්‍රමයත් හේතුවක් වෙන්න ඕන නේද කියලා. ඒක ඇත්ත. හැබැයි අපි පරීක්ෂණයක් කරන්න ඕන සමාන තත්ත්වයන් යටතේ. ඒ කියන්නේ සමාජවාදී රටවල් දුප්පත් ය කියන්න කලින් ඒ රටවලට (උතුරු කොරියාව, කියුබාව) දාල තියෙන ආර්ථික සම්බාධක අහක් කරල ඉන්පස්සෙ නිදහස් තත්ත්වයන් යටතේ ආර්ථිකය නංවාගන්න සැලකිය යුතු කාලයක් දීල, එතකොටත් ඒ රටවල් අර වගේ ම දුප්පත් ද කියල බලන්න ඕන. දැං කියන්න පුලුවන් ඒ රටවලට සම්බාධක දැම්මේ හේතු නැතුව නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම, මානව අයිතීන්, නිදහස සීමාකිරීම නිසා ය කියල. ඇත්ත. මෙතන දි නම් ඒ රටවල් වැරදියි. හැබැයි ඒක මාක්ස්ගේ (හෝ මාක්ස්වාදයේ වරදක් නෙවයි.) මොකද මාක්ස් කීවේ විප්ලවයෙන් ඉක්බිතිව ම නිර්ධන පංතියේ ආඥාදායකත්වයක් තිබිය යුතු යි කියලයි. කම්කරුවන්ගේ ආඥාදායකත්වයත් පුද්ගලයන් කණ්ඩායමකගේ ආඥාදායත්වයත් දෙකක් බව මේ රටවල නායකයෝ තේරුම් නොගත්තට අපිට කරන්න දෙයක් නෑ. ඔවුන් මාක්ස්වාදීන් නෙවෙයි. එච්චරයි අපිට කියන්න තියෙන්නේ.

ඊළගට කෙනෙක් මෙහෙම අහන්න පුලුවන් සමාජවාදී ආර්ථිකය තුළ නිෂ්පාදන මාර්ගවල අයිතිය සම ව බෙදී යාම තරගකාරීත්වයක් ඇතිකරන්නෙ නැහැ නේද ධනවාදයේ වගේ කියල. කෙනෙක් වැඩියෙන් මහන්සි වෙන්නේ (සමාගමක් හරි නව නිෂ්පාදන බිහිකරන්නේ) තමන්ට ලාභ ලැබෙනකොට නේද කියල. පුද්ගලික හිමිකාරීත්වයක් තියෙනකොට නේද කියලා. මේක පල් ම පල් බොරුවක්. ධනවාදී සමාජෙක ඉන්න හැම කෙනෙක් තුළ ම ධනවාදී මානසිකත්වය තිබීම සාමාන්‍ය තත්ත්වයක්. තමන් ඉන්න පරිසරය තුළ යි චින්තනය ගොඩනැගෙන්නේ. ඒ නිසා මේ සමාජය තුළ ඉන්න කවුරුත් හිතන්නේ පෞද්ගලිකත්වය මුල්කරගෙන. කවුරුත් ලාභ හොයද්දි කෙනෙක් දෙන්නෙක් විතරක් වෙනස් වෙලා දිවිනහගන්න කැමති නැහැ. මේ මානසික තත්ත්වය සමාජවාදී සමාජය තුළත් එලෙස ම වෙනවා. ඒ සමාජය තුළත් තමන් තනියෙන් ලාභයක් හොයන්න ගිහින් කොන්වෙන්න කවුරුවත් කැමති නැහැ. මේ ගැන තවමත් සැක කෙනකුට ආත්මාර්ථකාමීත්වය, ලාභයට ගිජුවීම සහජ මිනිස් ගතියක් ය කියන මතය බිදහෙලන සාධකයක් තමයි විකි වෙබ් අඩවි සහ විවෘත කේත මෘදුකාංග

දැං සමහරු කියාවි ඔය මොන කතා කිව්වත් ධනවාදේ දිනුම් ය කියල. දියුණු බටහිර රටවල් විතරක් නෙවි දකුණු කොරියාව, ජපානේ වුණත් ඔහොම ඉන්නේ ධනවාදී ක්‍රමයට පින්සිද්ධ වෙන්න නේද කියල. ඔව්. ඒ රටවල් පොහොසත් වෙලා තියෙනවා සමහර රටවල් දුප්පත් වෙලා තියෙන නිසා.

ලෝකේ ගෝලාකාර වුණාට අපිට ඒ බව දැනෙන්නේ නෑ. ඒක අතිවිශාල නිසා. ධනවාදයේ අර්බුදත් බැලූ බැල්මට පෙනෙන්නේ නෑ. (සමාජවාදී රටවල් හදන හෝ හැදෙන කතාවක් මාක්ස් කීවේ නෑ කියල අපි කලින් කීවා.)

බටහිර යුරෝපීය හෝ දියුණු ධනපති රටවල සංවර්ධනයක් තියෙනව නම් ඒක වෙලා තියෙන්නේ ධනවාදී ක්‍රම නිසා නෙවි, රජය ක්‍රියාත්මක කරපු සමාජවාදයෙන් ණයට ගත්තු සුභසාධකවාදී වැඩපිළිවෙළවල් නිසා. එවැනි සුභසාධක නැඹුරුවක් නැති අන්ත ධනවාදී ඇමරිකාව වගේ රටක ධනවාදය කොයිතරම් විෂම ද කියල බර්නි සෑන්ඩර්ස් වගේ කෙනෙක්ගෙන්, ජෝෂප් ස්ටිග්ලිට්ස් වගේ කෙනෙකුගෙන් දැනගන්න පුලුවන්.

මාක්ස් කිව්ව ධනවාදී තරගය තුළ ලාභ ලැබීමේ ඉඩ නිසා වැඩි වැඩියෙන් ධනපතියන්, කර්මාන්ත බිහිවෙනවා කියල. වැඩි වැඩියෙන් නිෂ්පාදන සිදුකරනවා කියලා. තණ්හාව නිසා. මේ විදියට නිෂ්පාදන අතිරික්තයක් ඇතිවෙනවා. නමුත් අතිරික්තය අලෙවි කරගන්න වෙළදපොළක් නැතිවෙනවා. කම්කරුවන් දුප්පත් නිසා ඔවුන්ට ගන්න බැහැ. මේ විදියට අලාභ වුණා ම ඔවුන් කම්කරුවනට ගෙවීම පැහැර හරිනවා/වැටුප් අඩුකරනවා. එතකොට ඔවුන් කැරලිගහනවා. මේ විදියට ධනවාදයේ තරගකාරීත්වයම, ලාභ ලැබීමේ ආශාව ම එය අර්බුදවලට ලක්කරනවා. මෙවැනි අර්බුදවලට තවත් ඔරොත්තු දෙන්න බැරිතරමට තරගය වැඩි වුණා ම ඒ රටේ විප්ලවයක් සිද්ධ වෙනවා. මේ දේ අද මේ විදියට වෙන්නේ නැහැ, රටවල් ඇතුළේ. නමුත් රටවල් අතර වෙන්න පුලුවන්. බලවත්, දියුණු රටවල් ඔවුන්ගේ කාර්මික ඥාණයෙන් හම්බ කරාවි සාමාන්‍ය/දුප්පත් රටවලුත් තාක්ෂණය ජයගෙන තරගයට එනකම්. ඔවුන්ගේ නිෂ්පාදන ඒ රටවල් මිලට ගනීවි එතකම්. පුලුවන් තරම් දුරට ඒ රටවල් දුප්පත් ව තියාගන්න එක ඒ නිසා ඔවුන්ගේ අරමුණ වේවි. එහෙම එන්න එන්න, තරගකරුවන් වැඩිවෙන්න වැඩිවෙන්න කෙනෙකුගේ වෙළදපොළ අර්බුදයට ලක්වෙනවා. නිකමට බලන්න චීනයයි, ඇමරිකාවයි දිහා මේක බොරු ද කියල. මේක මහා පරිමාණව රටවල් සෑහෙන ගණනක් අතර සිදුවුණොත් කොයිතරම් ලොකු ආර්ථික අලාභ , අර්බුද වෙන්න පුලුවන් ද? රටවල් බිදවැටෙන්න පුලුවන් ද? මේ විදියට අර්බුදවලට මුහුණදෙන්න බැරි දවසක් ආ දාට ධනවාදය බිදවැටේවි. ලෝකේ දුප්පත් රටවල් තිනෙකං ධනවාදය ඔහොම ඇදගෙන යාවි.







2021-06-23

මාක්ස්වාදය බිඳවැටුණා ද?

 

සමහරු කියන්නේ සමාජවාදය බිදවැටුණු බව. මාක්ස්වාදය යල්පැනපු මතයක් බව. ඔවුන් එහෙම කියන්නේ සෝවියට් සංගමය බිදවැටුණු නිසා. ඔවුන් කියන්නේ සමාජවාදී රටවල් දුප්පත් බව. ඇත්ත.

සෝවියට් සංගමය බිදවැටුණා තමයි. නමුත් ඒකෙන් කියන්න පුලුවන් ද මාක්ස්වාදය බිදවැටුණා කියලා? හාමුදුරුනමක් (එක්කෝ 1000ක් 2000ක් කියමු) සිවුරු ඇරියම අපි කියනවද බුද්ධාගම බිදවැටුණ කියල? බුද්ධාගමේ මූලික ම (එකම) අරමුණ නිවන් දකින එක. රහත් වෙන එක. කීදෙනෙක් ඒක කරන්න හදල බැරිවෙලා තියෙනවද? මේ කරුණු සැලකිල්ලට ගත්තොත් සෝවියට් සංගමේ බිදවැටීමෙන් මාක්ස්වාදය බිදවැටුණ කියන අයට ඊට කලින් කියන්න වෙනව බුද්ධාගම බිදවැටිල කියල.

මම අදහස් කළේ බුද්ධාගම බිදවැටුණ කියන එක නෙවෙයි. ඔවුන්ගේ තර්කේ දුර්වලකම පෙන්නන්නයි මට වුවමනා වුණේ. ඇත්තටම ඇතැම් මාක්ස්වදී සංකල්ප මට විසිකරන්න වුණෙත් බුද්ධාගම නිසයි.

සෝවියට් සංගමය බිද වැටීමෙන් වුණේ මාක්ස්වාදය බිද වැටුණු එක නෙවෙයි. ඔප්පු වුණ එක!

සමාජවාදී විප්ලවය කිසියම් එක රටක වෙන්න පුලුවන් ද කියන ප්‍රශ්නයට එංගල්ස් උත්තර දෙමින් කිව්වේ "කිසිසේත්ම නොහැක” කියලයි. මොකද පවතින ගෝලීය ආර්ථිකය තුළ එක රටක සිදුවෙන දෙයක් තවත් රටකට නිසැකව ම පැතිරෙන නිසයි. මේ විප්ලවය කිසියම් ප්‍රබල ධනවාදී රටක වුණොත් එය අනිකුත් රටවලටත් ව්‍යාප්ත වෙන බවයි එංගල්ස් කිව්වේ. එක රටක සමාජවාදෙ තිබ්බ රුසියාව බිදවැටුණ එක අහන්නත් දෙයක් ද? එක රටක මේක පවතින්න බෑ කියපු මාක්ස්-එංගල්ස් ඒකට පළි ද? රුසියාවේ සමාජවාදෙ - ඇමරිකාව, ජපානය ඇතුලු හැම ධනපති රටක ම පැතිරුණා නම් අද මොනවගේ තත්වයක් තියේවි ද? අනික මාක්ස් කිව්වේ සමාජවාදී සමාජ ක්‍රමයක් බිහිවීමක් ගැන මිසක් සමාජවාදී ආණ්ඩුවක් ගැන නෙවෙයි. ධනවාදෙ නැති වුණා ම රජයත් නැතිවෙලා යයි කියලයි මාක්ස් හිතුවේ.

නමුත් ඒක වුණේ ප්‍රබල ධනවාදී රටක නෙවෙයි. කෘෂිකාර්මික, වැඩවසම් සමාජ ක්‍රමය තාමත් තිබුණු පසුගාමී රටක් වුණු රුසියාවේ. අනිත් එක වුණේ ඊටත් පසුගාමී පෙරදිග චීනේ. අනික් පුංචි රටවලට වුණ දේ ගැන අපි කතා නොකර ඉමු.

ඉතින් වැඩවසම් යුගය තවම පහු නොකරපු, ධනවාදය දියුණු නොවුණු (මාක්ස්ට අනුව දියුණු ධනවාදයකින් පසුවයි සමාජවාදය එළඹෙන්නේ. ඒකේ අර්බුද ජයගන්න තවදුරටත් ඒක සමත් නොවුණම ඒක ඒ අර්බුද ජයගනිමින් වෙනත් තත්ත්වයකට පෙරළෙනවා) රුසියාවේ ලෙනින්ට මාර ප්‍රශ්නයක් වුණා. මාක්ස් කිව්වට රුසියාවේ කොහෙන්ද කම්කරු පංතියක්? ඒ නිසා ඔහු කළේ මාක්ස්ගේ තියරිය පොඩ්ඩක් සංසෝදනේ කරපු එක. ඒ ගොවිජනතාවත් විප්ලවයට එකතුකරගන්න පුලුවන් විදියට.

මාක්ස් කිව්වේ විප්ලවය කරන්නේ නිර්ධන පන්තිය කියලයි. නිර්ධනයා කියන්නේ දුප්පතාට නෙවෙයි. ශ්‍රමය ඇරෙන්න වෙන කිසිම ධනයක්/සම්පතක් නැති අයට. ගොවි ජනතාව එහෙම ධනපති පංතියේ ම කොටසක් සුලු වුණත්. ඒකයි ඒ අයට සුලු ධනපතියන් කිව්වේ. ඒ අය විප්ලවවලට සම්බන්ධ වෙන්නේ නෑ. ඒ අයටත් ඕන තමන්ගේ දේපල රැකගෙන තව පොඩ්ඩක් හදාගෙන ඉන්න. ඒත් දරුණුවට පෑගෙන නිර්ධන (කම්කරු) පන්තිය ඕන දේකට ලෑස්තියි. එහෙමයි මාක්ස් හිතුවේ. නමුත් ලෙනින් කිව්වා රුසියාවේ ගොවිජනතාව කම්කරු පන්තියේ විප්ලවයට උදවු කරනවා කියල. දෑකැත්තයි මිටියයි එකතුවෙන්නේ ඒ විදියට. මාක්ස්වාදය, මාක්ස්ලෙනින්වාදය වුණේ එහෙමයි.

ඊළගට විප්ලවේ වුණ චීනේ මාඕට එහෙමවත් කම්කරුවෝ හිටියේ නැහැ. ඒ නිසා ඔහු ඒක ගොවිජනතාව විතරක් යොදාගෙන කළා. ඒකට හරියන්න මාක්ස්වත් කපල හැදුවා.

මාක්ස් හිතුවේ විප්ලවේ ජර්මනිය, ප්‍රංශේ වගේ රටක වෙයි කියලා. මොකද ධනවාදෙ දියුණු වෙලා තිබුණේ එහේ. නමුත් සිද්ධ වුණේ චීනේ, රුසියාව වගේ පසුගාමී රටවල. ඒ රටවල සමාජවාදී ආණ්ඩු බිද වැටෙන්න ඒකත් එක හේතුවක්. මොකද මේ රටවල ධනවාදෙ සම්පූර්ණ වෙලා ඒකේ ප්‍රතිඵලයක් විදියට විප්ලවේ වුණේ නැහැ. ධනවාදී අවධිය ස්කිප් කරල සමාජවාෙදට යන්න බෑ කියල ලෙනින්ට තේරුණා. ඒ නිසා ධනපති පංතියේ කාර්යභාරය රජය ලවා කෙරෙව්වා. රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය කිව්වේ ඒකට. නමුත් පුලුවන් ඉක්මනට ධනවාදෙ කටුවට ඉවර කරලා සමාජවාදෙට යන්න වගේ ගතියක් තිබුණදෝ කියල මට හිතෙනවා. එහෙම වුණා නං ඒකත් සෝවියට් දේශය බිදවැටෙන්න එක හේතුවක්. තව හේතුවක් තමයි සෝවියට් දේශයට අයත් විවිධ රටවල නැගී ආ ජාතිකවාදය. තමන් වෙන ම භාෂාවක්, සංස්කෘතියක්, වාර්ගික සංයුතියක් තිබෙන ප්‍රදේශ කියන පදනම මත කසකස්තානය, කිර්ගිස්තානය, බෙලරුසියාව වගේ රටවල් සමූහාණ්ඩුවෙන් වෙන් වෙලා ගියා. තව හේතු තියෙනවා. ගොර්බචොෆ් පෙරෙස්ත්‍රොයිකා ව ගෙනෙද්දි කිව්වේ මේක නොකළොත් රුසියාව ආර්ථිකමය වසයෙන් නන්නත්තාරයි කියල. ද්‍රෝහියා කියල වම්මු බැන්නට ඒක ඇත්ත. තරගකාරී සමාගම් නොතිබුණු නිසා නිෂ්පාදන ඒකාකාරී වුණා වගේ කතාත් කියනවා. විශේෂයෙන් ම අලුතින් බිහිවුණු තරුණ පරම්පරාවට තිබ්බ සමාජෙ ඇල්ලුවේ නැහැ. ඔවුන්ට ඕන වුනේ ඊට වඩා ලස්සන, නිදහස්, විවෘත, ලෝකයක්.



2021-06-16

මාක්ස්වාදය යනු කුමක් ද?

 

මාක්ස්වාදය කියන්නේ මොකක්ද? එක වාක්‍යයකින් කියපං.

පාසල් මිතුරෙක් මට එහෙම කිව්වේ මම මාක්ස්වාදය අදහමින්, විප්ලවවාදී හැගුම්වලින් ඔලුව පුරවාගෙන හිටි යුගයක. ඒ පාසල් වියේ 9-11 වසරවල. (ඉන්පසු ඒ අදහස් නැතිවුණා නම් නෙවෙයි. නමුත් එදා මෙන් 71 ඔලුවේ තියාගත් මතවල නැහැ. තරුණ කාලේ විප්ලවවාදය කියන්නේ දොරවල් නැති සාලාවක් කියල කවුදෝ වැඩිහිටියෙක් කීවා මතකයි.)

මචං මාක්ස්වාදෙ ප්‍රධාන සංකල්ප තුනක් තියෙනවා...

නෑ. නෑ. මේ අපිට ඔච්චර අහන්න ඕන නෑ. එක... වාක්‍යයෙකින් සරල කියපං. ඕක මොකක් ද? කියලා. එච්චරයිනේ...

එදා මට මේ අභියෝගයට මුහුණදෙන්න බැරිවුණා. කොහොමද අර සංකල්ප සියල්ල තනි වචනෙකින් කියන්නේ?

එදා මට පිළිතුරක් නැතිවුණත් මාක්ස්වාදය එක වාක්‍යයකින් කියන්න කිව්වොත් බොහොම සතුටින් දෙන්න පුලුවන් පිළිතුරක් අද මට තියෙනවා.

මාක්ස්වාදය කියන්නේ ඉතිහාසය පිළිබද විද්‍යාවට. ඉතිහාසය විද්‍යාවක් විදියට දකිනවට. ඒ අදහස ලැබුණේ දීප්තිගේ දෙසුමකින්. (බොරු කියන්න ඕන නෑනේ, මට ඔහු කියන වෙන අනං මනං නං තේරෙන්නේ නෑ. නමුත් මේ දේ නම් පැහැදිලියි)

විද්‍යාව කියන්නේ සොබාදහමේ නැවත නැවත සිද්ධ වෙන දේවල රටාව ග්‍රහණය කරගෙන ඒ අනුව අලුත් තත්ත්වයක සිදුවන දේ කීමයි කියන්න පුලුවන්. එක්තරා අරුතකින් හැම විද්‍යාවක ම වෙන්නේ ඒකයි. අවස්ථා ගාණක් බලල එය පැහැදිලි වෙන පොදු සූත්‍රයක්, රීතියක්, න්‍යායක් ගොඩනගනවා. ඉන්පස්සේ එය ආදේශ කරමින් එවැනි වෙනත් තත්වයන් පැහැදිලි කරගන්නවා.

මාක්ස්වාදය තුළත් වෙන්නේ මෙවැන්නක්. ඉතිහාසය පුරා සිදුවුණු දේ නිරීක්ෂණය කරනවා. එතකොට දකිනවා ඉතිහාසය පුරා නිෂ්පාදනය සිදුකළ පහළ ස්ථරයකුත්, ඔවුන්ගෙන් යැපුණු ඉහළ ස්ථරයකුත් සිටි බවත්. ඒ වගේම මේ පහළ ස්ථර තමන්ට ඉහළින් සිටි ස්ථර පෙරළලා දාපු වෙලාවල ඊට වඩා නිෂ්පාදන මාර්ග දියුණු වුණු නව සමාජ ක්‍රම බිහිවුණු බවත්.

අපි පොඩ්ඩකට ජීවවිද්‍යාව දිහාට හැරෙමු. සීලන්ටරේටාවන් බහිස්ස්‍රාවී ඵල පිටකරන්නේ සෛල කෙළින්ම ඒවා බාහිර ජලයට විසරණය කිරීමෙන්. ඔවුන්ට ඒ වෙනුවෙන් පද්ධතියක් තිබුණේ නැහැ. නමුත් ප්ලාටිහෙල්මින්තේස් සතුන් වෙනකොට බහිස්ස්‍රාවී අවයව විදියට සිළු සෛල හටගන්නවා. ඔවුන් තමයි බහිස්ස්‍රාවී අවයව මුලින් ම ඇති වූ සතුන්. ඒ වගේම ඊළග අදියරයක් වෙන නෙමටෝඩාවන් තුළ මුලින් ම මුඛය-ගුදය සහිත සම්පූර්ණ ආහාර මාර්ගයක් හටගන්නවා. ඒ වගේ ම ඊළග අදියර තුළත් දකින්න ලැබෙනවා. වෙන විදියකින් කියනවා මුල් අවධියකට වඩා පසු අවධියක් වඩාත් සංවර්ධනය වෙලා තියෙනවා වගේ ම ඒ සංවර්ධනය ඔවුන් ඊට පසු අවධිවලටත් ගෙනගිහින් තියෙනවා. සෑම ජීවී වංශයක ම බිහි වූ පිළිවෙළින් ඔවුන්ගේ පද්ධති විකසනය අධ්‍යයනය කළොත් මේ බව පැහැදිලි වේවි. හැමවිට ම මෙලෙස ම නොවුණත්.

මිනිස් ශිෂ්ටාචාරයේ අවධිත් මේ සත්ව පරිණාමය වගෙයි. මුල් ම යුගය වන වහල් යුගයට වඩා පසුව එළඹුණු වැඩවසම් යුගය සංවර්ධිතයි. මොකද ප්‍රවේණිදාසයා වහලා මෙන් මුලු ජීවිතයෙන් ම හිමියකුට බැදෙන්නේ නැහැ. ඔහු බැදෙන්නේ ඉඩමට පමණයි. ඔහු වහලාට සාපේක්ෂව නිදහස් සත්ත්වයෙක් වගේ ම එය නිෂ්පාදන ක්‍රමවේද සම්බන්ධයෙන් පෙරට වඩා දියුණු තත්ත්වයක්. වෙන විදියකින් කියනවා නම් වහල් ක්‍රමය තුළ තිබුණු පුද්ගල බැදීම ප්‍රවේණිදාස ක්‍රමය තුළ දේපල සම්බන්ධ බැදීමකට පෙරලුණා. ඊළග අදියරය වඩාත් සංවර්ධිතයි. ඒ තත්ත්වය තුළ නිෂ්පාදන මාර්ග සංවර්ධනයට පෙර තිබුණු බාධක (ප්‍රවේණිදාසයා ඉඩමට බැදී සිටීම නිසා ඔහුගේ ශ්‍රමය වඩාත් පුළුල් ව භාවිතා කළ නොහැකි වීම සහ එම ක්‍රමය තුළ ඉඩම් විකිණීම සම්බන්ධයෙන් තිබුණු බාධක) ඉවත් වී ඔහු වඩාත් නිදහස් පුද්ගලයෙක් බවට පත්වෙනවා. දැන් ඔහු කිසිවකටත් බැදී නැහැ. එදාට වේල සොයාගත යුත්තේ එදාට ශ්‍රමය සැපයීමෙන්. ඔහු නිර්ධනයෙක්. ශ්‍රමය හැරෙන්නට වෙන කිසිම දේපලක් ඔහු සතු ව නැහැ. ප්‍රවේණිහිමියා වෙනුවට දැන් ඉන්නේ ධනපති කර්මාන්ත හිමියෙක්. එය නිෂ්පාදන මාර්ග සම්බන්ධයෙන් අස්වැන්නෙන් කොටසක් ගත් තත්ත්වයට වඩා දියුණු තත්ත්වයක්.

ඉතින් අපි මේ අදුරගත්ත නියාමය අනාගතයටත් ආදේශ කරනවා. අනාගතයේ සිදුවන දේ ඒ අනුව අපෝහනය කරනවා. මේ සමාජ ක්‍රමය තුළත් විවිධ ප්‍රතිවිරෝධතා තිබෙනවා. ඒවා ජයගන්නට එම සමාජ ක්‍රමය අසමත් වුණු විට එයත් වෙනත් තත්ත්වයක් බවට පෙරළෙන බවයි මාක්ස් කල්පනා කළේ. මේ සමාජයේ තියෙන පන්ති දෙක වන (මේක දැන් නම් අදාල වෙන්නේ නැහැ, අද පංති වගේ අනන්‍යතා වියැකිලා නිසා.) ධනපති හා නිර්ධන දෙකෙනුත් පීඩිත (සහ එනයින් ම විප්ලවීය) පන්තිය වන නිර්ධන පන්තිය නව සමාජ ක්‍රමයක් බිහිකරයි කියලා. එවිට බිහිවන සමාජය දියුණු ම එක විය යුතු යි. ඉතිහාසයේ, මානව ශිෂ්ටාචාරයේ අවසන් අදියර විය යුතු යි. මොකද මීට පෙර සිදුවුණු එවැනි අවස්ථාවල කෙමෙන් කෙමෙන් නිෂ්පාදන මාර්ග දියුණු වීමයි වුණේ. පංති ප්‍රතිවිරෝධතා කෙමෙන් කෙමෙන් අඩු වීමයි වුණේ. ඒ අනුව ඊළඝ එක පන්ති විරහිත සමාජයක් වන බව මාක්ස් නිගමනය කළා.

නමුත් මේ තුළ ධනවාදය ලබාගත් ජයග්‍රහණ කිසිවක් අහිමි වෙන්නේ නැහැ. ජීවී පරිණාමය තුළ වගේ ම පෙර සංවර්ධන අවධි ලබාගත් ජයග්‍රහණත් රැකගෙනයි සමාජවාදී සමාජ ක්‍රමය බිහිවෙන්නේ. ඒ කියන්නේ දියුණු ධනවාදී රටවල තියෙන ලිබරල් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, තාක්ෂණික ජයග්‍රහණ, අධ්‍යාපන ක්‍රම මේ කිසිවක් සමාජවාදී රටවල් තුළ නැතිවෙන්න බෑ. අද වෙලා තියෙනවා වගේ. නරක දේවල් ටික හැලෙනවා. එච්චරයි.



2021-06-10

ඉතිහාසයේ අසාධාරණය

අපගේ ඉතිහාසය බෙහෙවින් ම අසාධාරණය.කුමක් නිසා ද යත් එය බොහෝ විට ජයග්‍රාහකයා වීරයා බවටත් පරාජිතයා ද්‍රෝහියා බවටත් පත් කර ඇති හෙයිනි. දුවිඩ විමුක්ති අරගලය අසාර්ථක වීමේ වරදට ද්‍රවිඩ විමුක්තිකාමීන්ද (අප විරුද්ධ විය යුතු ව තිබුණේ ඔවුන්ගේ පිටුපස සැඟවුණු අධිරාජ්‍යවාදී අරමුණුවලට පමණි.), ලාංකීය සමාජවාදී විප්ලවය අසාර්ථක වීමේ වරදට රෝහණ විජේවීරද, සිංහල ජාතිවාදී ව ලියැවුණු මහාවංශයට අනුව දුටුගැමුනුගේ බලලෝභීත්වයට එළාරද, අපේ රදළයින් නිසා රට සුද්දන්ට යාමේ වරදට ශ්‍රී වික්‍රම රාජසිංහද වරදකරුවෝ ය.
එපමනක් නොවේ.

බ්‍රෙෂ්ට් තම වැඩකරුවකු ඉතිහාසය කියවයි පැදිපෙළේ ලියූ පරිදි ම වහළකු හෝ වැඩකරුවකු ඉතිහාසය කියවුවහොත් සීසර්ලාගේ ඇලෙක්සැන්ඩර්ලාගේ ජයග්‍රහණ මිස ඒ වෙනුවෙන් හෝ ඊට එරෙහිව සිය රට වෙනුවෙන් දිවි පිදූ සෙබළුන් ගැන සඳහන් නොවේ.

වත්මන් ඉතිහාසය තුළ පරාජිතයින් හා පීඩිතයින් යටපත් වී ඇත. සැබැවින් ම මීට වරදකරු ඉතිහාසය නොව බලලෝභී අරමුණුවලට අනුව ලියූවන් ය. නොපමාව අපගේ ඉතිහාසය වෙනස් කළ යුතු ව ඇත. වර්තමානයේ දී අප සටන් කළ යුත්තේ සාධාරණ ඉතිහාසයක් අනාගතයට උරුම කිරීමටයි.

පන්නරය. තක්සලාව. ලංකාදීප (ඉරිදා). 2012 ජුනි 17

2021-06-09

පිස්සකුගේ හදවත

 


ඒ පිස්සෙක්. වෙනස් කෙනෙක්ව දුටු විට බොහෝදෙනා කියන්නෙ එහෙමයි. වෙනස් විදියට ලෝකය දැකීමේ පව හින්දම සමහරුන්ට ලෝකෙන් ගැහැට විදින්න සිදුවුණා. ඒත් තමන් ස්වාභාවිකයි සාමාන්‍යයයි කියන අය නොදන්න දෙයක් තියෙනව. ඒ තමයි මිනිහ දඩයම නවත්තල එඩේර වුණෙත්, එඩේර ගොවිය වුණෙත්, පිස්සෙක් කියල බැනුම් අහ අහ ම වෙනස් විදියට හිතපු අය නිසා බව. හුගක් අය කියන්නෙ අපිට ඒ දණ්ඩෙ යන්න බෑ කියල. එහෙම කියන අය නොදන්න දේ තමයි ඒ යන්න අමාරු ඒ දන්ඩ වෙනුවට පාලම හැදුවෙ ඔය වෙනස් අය ම බව. මෙහෙම වෙනස් විදියට හිතීමෙ ආදීනව මෙනෙහි කර කර ඉද්දි තමයි එයාල ආවෙ.එයාල තමයි හර්මන් හෙසගෙ ඩේමියන් පොතේ ඉන්න ඩේමියනුයි සිංක්ලෙයාරුයි.
කුරුල්ලා බිජුවටින් එළිබැසිමට සටන් කරයි.බිජුව නම් ලෝකය වන්නේ ය. අලුතින් ඉපදීමට අවශ්‍ය තැනැත්තේ පලමුව ලෝකයක් විනාශ කල යුත්තේ ය.
සිංක්ලෙයා එහෙම කියපු වෙලාවෙ ඉඳන් මම මේ පිළිගත්තයි සම්මතයි කියල කියන දේවල් බිඳල දාල නිදහස් වෙන්න බැලුව. ඒත් එක පැත්තකින් පන්සලේ හාමුදුරුවොයි, අනිත් පැත්තෙන් ඉස්කෝලෙ සර්රුයි, අනිත් පැත්තෙන් ගමේ මිනිස්සුයි ඉද්දි මම කොහොමද සහෝදරය නිදහසේ හිතන්නෙ? ආගම, අධ්‍යාපනය, සංස්කෘතිය කියන දම්වැල් තුනකිම්ම ගැටගහල ඉන්නෙ මම විතරක් නෙවේ කියල දැනගත්තෙ හෙසගෙන්.
කිසියම් මෝඩ සිරිතක් වැරදි බව පෙන්වා දුනහොත් කිසිවකු ඔහුට ගරු නොකරනු ඇත. ආදර්ශයට නොගනු ඇත. ඒ වෙනුවට ගුරුවරයාගේ අසීමිත අධිකාරී බලය මගින් දඬුවම් කෙරෙනු ඇත.පාසලේ දී කියා දුන් කිසියම් වීර චරිතයක් මෙන් ක්‍රියා කිරීමට ගියහොත් ඔහු අමුතු හෝ පිස්සු කෙනෙකු සේ හංවඩු ගසා අපහාසයට ම ලක් කෙරෙනු ඇත.
මටත් ඔය දේ වුණා. මුලු ලෝකෙම තරාදියෙ තියල මනින, නැත්නම් සංඛ්‍යාත්මකව හරි රසායනිකව හරි දකින, විෂයක වටිනාකම වැඩිම වෙන්දේසි මිලට හරි වෘත්තීමය වටිනාකමට හරි සාපේක්ෂව මනින සමාජයක, තාමත් ජුදාස්ලට බ්රූටස්ලට දේවදත්තලට අංගුලිමාලලට වෛර කරන, තස්ලිමාගෙ රුශ්ඩිගෙ හිස ඉල්ලල කෑ ගහන සමාජෙක දාර්ශනිකව කලාත්මකව තර්කානුකූලව නව්‍ය විදියට ලෝකෙ දිහා බලන අයට හිමිවෙන්නෙ පිස්සන්ගෙ තැන වුනත් අනාගත ඉතිහාසය ඒ වැරැද්ද නිවැරදි කරන බව හීනෙන් මතුවෙච්ච අන්ධ ගැලීලියෝල පණ පිටින් පිච්චිච්ච බ්රූනෝල කියල දුන්න. ඒ ඔක්කොම දරාගන්න පිස්සන්ගෙ හදවතට හයිය තියෙනව කියල සල්මන් රුශ්ඩිල, තස්ලිමා නස්රීන්ල, සොක්‍රටීස්ල කියල දුන්න.
අපේ බුද්ධියෙන් ඔබට වැඩක් නැතිවේවි, අපි විකිණෙන්නෙ නැති නිසා. ඒ වගේ ම අපේ හදවතිනුත් ඔබට වැඩක් නැති වේවි, අපි ඔබේ ලෝකයට අමුත්තන් නිසා. නමුත් අපි විශ්වාස කරනවා හුදකලාව තුළ ලැගුම් ගත්, නිහඬ බව අරක් ගත් නාසිසස් කෙනෙක් ළඟට කවදහරි දවසක වීනස් ළංවෙලා දෙවියන් වෙනුවෙන් මම ඔබට සාධාරණය ඉටු කරමි කියල දිවුරාවි කියාත්, ඔවුන්ගේ කඳුළු වලින් පිස්සන්ගේ හදවතේ සිරවුණ ලේ කැටිත්, උගුරේ සිරවුණ බරැති ගුලිත් දියවෙලා යාවි කියාත්.
අප ලෝකය හමුවේ අමුතු හෝ උමතු ලෙස පෙනෙනු ඇත. අපි පිබිදුණෝ වන්නෙමු. නැතිනම් පිබිදෙමින් සිටිනවුන් වන්නෙමු. අන් අයගේ තැත තම අදහස් සිය රැළේ වුන්ට සම කිරීමයි. නමුත් අප උත්සාහ කරනුයේ සොබාදහමේ කැමැත්ත කිසියම් නව මානයකට නවස්ථරයකට හා අනාගතයකට යොමු කිරීමටයි. සෙස්සෝ පවතින තත්ත්වයේ ම දිවි ගෙවීමට වෙර දරති.

(තද කලු අකුරින් ඇති තැන් උපුටා ගත්තේ හර්මන් හෙසගේ ඩේමියන් පොතට මහින්ද පතිරණ එනමින් ම කළ සිංහල පරිවර්තනයෙනි.) ්‍ය

පන්නරය, තක්සලාව, ලංකාදීප (ඉරිදා), 2012 ජුලි 15